Kitabı oku: «ඇන්ඩ්‍රොපොව්ගේ කොවුලා»

Yazı tipi:

Table of Contents

  ඇන්ඩ්‍රොපොව්ගේ කොවුලා

  මෙම කෘතියේ කතුවරයා ලෙස හඳුනා ගැනීමට ඕවන් ජෝන්ස්ට ඇති අයිතිය 1988 ප්‍රකාශන හිමිකම් සැලසුම් සහ පේටන්ට් පනතේ 77 සහ 78 වගන්ති ප්‍රකාරව තහවුරු කර ඇත. කතුවරයාගේ සදාචාරාත්මක අයිතියද තහවුරු කර ඇත.

  ඇන්ඩ්‍රොපොව්ගේ කොවුලා

  මේගන් මාර්කට් සංස්කරණය, බලපත්‍ර සටහන්

  කැපකිරීම

ඇන්ඩ්‍රොපොව්ගේ කොවුලා

ආදරය, කුමන්ත්‍රණ සහ කේ.ජී.බී. වටා ගෙතුන කතාවක්

ඕවන් ජෝන්ස්

විසිනි

පරිවර්තනය

රොෂාන් පෙරේරා

ප්‍රකාශන හිමිකම © අගෝස්තු 14, 2020 ඕවන් ජෝන්ස්

ස්පාඤ්ඤයේ ෆුවෙන්ගිරෝලා හිදී.

මෙම කෘතියේ කතුවරයා ලෙස හඳුනා ගැනීමට ඕවන් ජෝන්ස්ට ඇති අයිතිය 1988 ප්‍රකාශන හිමිකම් සැලසුම් සහ පේටන්ට් පනතේ 77 සහ 78 වගන්ති ප්‍රකාරව තහවුරු කර ඇත. කතුවරයාගේ සදාචාරාත්මක අයිතියද තහවුරු කර ඇත.

මෙම ප්‍රබන්ධාත්මක කෘතියේ චරිත සහ සිදුවීම් සියල්ල කතුවරයාගේ පරිකල්පනයේ මවාපෑමක් හෝ ඒවා මුළුමනින්ම ගෙතූ ප්‍රබන්ධ හෝ වේ. සමහර ස්ථාන පැවතිය හැකි නමුත් සිදුවීම් සියල්ල ප්‍රබන්ධාත්මකය

ඇන්ඩ්‍රොපොව්ගේ කොවුලා

ආදරය, කුමන්ත්‍රණ සහ කේ.ජී.බී. වටා ගෙතුන කතාවක්

ඕවන් ජෝන්ස්

විසිනි

මේගන් ප්‍රකාශන සේවා විසින් ප්‍රකාශයට පත් කරන ලදී

මේගන් මාර්කට් හිදී

මේගන් මාර්කට් සංස්කරණය, බලපත්‍ර සටහන්

මෙම විද්‍යුත් පොත සඳහා බලපත්‍ර ලබා දී ඇත්තේ ඔබේ පුද්ගලික විනෝදය සඳහා පමණි. මෙම විද්‍යුත් පොත පිටපත් කිරීම, නැවත විකිණීම හෝ වෙනත් පුද්ගලයින්ට ලබා දීම ඔබ විසින් නොකළ යුතුය. ඔබ මෙම පොත වෙනත් අයෙකු සමඟ බෙදා ගැනීමට කැමති නම්, කරුණාකර එක් එක් තැනැත්තා සඳහා අතිරේක පිටපතක් බැගින් මිලදී ගැනීමට කාරුණික වන්න. ඔබ මෙම පොත කියවන විට ඔබ එය මිලදී නොගත්තේ නම් හෝ එය ඔබේ භාවිතය සඳහා පමණක් මිල දී ගෙන නොමැති නම් හෝ කරුණාකර මය මේගන් ප්‍රකාශන සේවා වෙත ආපසු බාරදී ඔබේම පිටපතක් එයින් මිලදී ගන්න. මෙම කතුවරයාගේ වෙහෙසට ගරු කිරීම ගැන ඔබට ස්තූතියි.

කැපකිරීම

මෙම සංස්කරණය මගේ බිරිඳ ප්‍රනම් ජෝන්ස් වෙනුවෙන් කැප කර ඇති අතර ඒ මගේ ජීවිතය ඇයට හැකි අන්දමින් පහසු කරවීම වෙනුවෙනි - ඇය ඒ සඳහා විශාල වැඩ කොටසක් ඉටු කරයි.

කර්මය සෑම කෙනෙකුටම කාරුණිකව ආපසු ගෙවනු ඇත.

ප්‍රබෝධමත් කිරීමේ උපුටා දැක්වීම්

ඔබ එය අසා ඇති පමණින් කිසිවක් ගැන විශ්වාස නොකරන්න,

බොහෝ දෙනා ඒ ගැන කතා කළ පමණින් හා කටකතා පැතිරවූ පමණින් කිසිවක් විශ්වාස නොකරන්න,

ඔබේ ආගමික ග්‍රන්ථවල ලියා ඇති පමණින් කිසිවක් ගැන විශ්වාස නොකරන්න,

ගුරුවරුන්ගේ හා වැඩිහිටියන්ගේ අධිකාරය මත පමණක් කිසිවක් ගැන විශ්වාස නොකරන්න,

පරම්පරා ගණනාවක් තිස්සේ පැවත ආ සම්ප්‍රදායන් නිසා ඒ මත කිසිවක් විශ්වාස නොකරන්න,

නමුත් නිරීක්‍ෂණයෙන් හා විශ්ලේෂණයෙන් පසුව, යම් දෙයක් තර්කානුකූලව එකඟ වී එක් කෙනෙකුගේ හෝ බොහෝ දෙනෙකුගේ යහපත සඳහා හිතකර නම්, එය පිළිගෙන ඒ අනුව ජීවත් වන්න.

ගෞතම බුදුන්වහන්සේ

---------

බලවත් ආත්මය, සූළඟේ කටහඬ තිබෙන්නාවූ ඔබ, මට සවන් දෙන්න. මට ශක්තියෙන් හා දැනුමෙන් වැඩීමට ඉඩ දෙන්න.

රතු සහ දම් පැහැති ලෙස හිරු බැස යෑම බලන්නට මට ඉඩ දෙන්න. ඔබ මට දුන් දෙයට මාගේ දෑත් ගරු කරයි.

ඔබ අවුරුදු ගණනාවක් පුරා මිනිසුන්ට උගන්වා ඇති පරිදි, සෑම කොළයක් හා ගලක් යට සැඟවී ඇති රහස් මට උගන්වන්න.

මාගේ ශක්තිය මාගේ සහෝදරයාට වඩා උසස් වීමට නොව, මගේ ශ්‍රේෂ්ඨතම සතුරා වන -මා, සමඟ සටන් කිරීමට මට ඉඩ දෙන්න.

මා හට මේ ලෝකයේ ඇති කෙටි කාලය හිරු බැස යෑම මෙන් මැකී යත්ම, මාගේ ආත්මය ඔබ වෙත ලජ්ජාවකින් තොරව නැවත පැමිණිය හැකිවනු පිණිස, පිරිසිදු දෑතකින් සහ විවෘත හදවතකින් මම සෑම විටම ඔබ ඉදිරියට එන්නෙමි.

(සාම්ප්‍රදායික සියොස් යාච්ඥාවක් මත පදනම්ව)

පටුන

1 විලියම් ඩේවිස්

2 යූයි මිසුකි

3 නටාල්යා පෙට්‍රොව්නා මිර්ස්කි

4 1967 ගිම්හානය

5 යූරි ව්ලැඩිමිරොවිච් ඇන්ඩ්‍රොපොව්

6 යූරිකෝ මෙහෙයුම

7 සැලැස්ම ක්‍රියාත්මකයි

8 කේ.ජී.බී.

9 දිනපතා පීඩාව

10 නිවාඩුව

11 ලුබ්යන්කා

12 ගුලාග් දූපත් සමූහය

13 නව රැකියාවක්

14 ලෙනින්ග්‍රෑඩ් 1978

15 අවුල් වූ මොළය සහ මෘදු වූ ඇස් පෙනීම

16 සෝචි, ක්‍රස්නෝඩර්ස්කයා ක්‍රයි

17 ෆුල් බොට්ල්

18 කොටළු දුම්රිය

19 අවසන් අදියර

20 චෙල්ටන්හැම්

21 අවසාන කොටස

22 පසු වදන

මළවුන්ගේ මධ්‍යස්ථානය - පළමු පරිච්ඡේදය

කර්තෘ ගැන

1 විලියම් ඩේවිස්

“එයා ආපහු එනවා, පීටර්!”

“එයාට යන්න දෙන්න එපා!” ඉතාමත් හොඳින් පුහුණු වූ ඇසකින්, ඇඳට ප්‍රතිවිරුද්ධ දිශාවට ඉහළින් සවිකර ඇති රාක්කවල තිබූ යන්ත්‍ර සහ මොනිටර දෙස ඉක්මනින් බලමින් හෘද ශල්‍ය වෛද්‍යවරයා නියෝග කළේය. "එයාට ආයෙත් සිහිය නැතිවෙන්න ඉඩ දෙන්න එපා, අපි එහෙම කරොත් ඒ අවසාන අවස්ථාව වෙන්න පුළුවන්."

එහි තිබූ සියළු මොනිටර වල නිවි නිවී දැල්වෙන, උඩ පහල යන සහ එක දිගට ගලායන කුඩා විදුලි එළියන්හි ක්‍රියාකාරිත්වය මෙන්ම ඒවායින් නැගුන බීප් බීප් සහ ගුමු ගුමු නාදයන්ද සාමාන්‍ය පරිදි සිදු විය.

“එන්න, විලියම්, දැන් අපිව දාලා යන්න එපා,” ඔහු සිය රෝගියාගෙන් තදින් ඉල්ලා සිටියේය.

“මම උත්සහා කරන්නේ එහෙම නොකරන්න තමයි,” මගේ හිස ඇතුලින් මා පවසන බව මට ඇසුණි, නමුත් මගේ සිතුවිලි කටහඬ බවට පත්කර ලීමට මට නොහැකි විය. ඇත්ත වශයෙන්ම, ස්වල්ප මොහොතකට පෙර මම සිතුවේ පළමු කටහඬ ඇසීමට මිනිත්තු දහයකට පෙර මා මිය ගොස් ඇති බවයි. මගේ අභාවය පිලිබඳ සැක කිරීමට මට තිබූ එකම හේතුව වූයේ මම අධ්‍යාත්මික වාදියෙකු වීමයි. මිතුරන් සහ නෑදෑයන් මැරෙන කෙනෙකු පිළිගැනීමට අනෙක් පැත්තේ බලා සිටිනු ඇතැයි මම නිතරම විශ්වාස කරමි. එහෙත් කිසිවෙකු මා එනතුරු බලා සිටියේ නැත… එයින් අදහස් වන්නේ මට බොහෝ මිතුරන් හෝ නෑදෑයන් මියගියවුන් අතර හෝ ජීවත් වන්නවුන් අතර සිටින බවක් නොවේ, එහෙත් මම දන්නාවූ මට විශ්වාසය තැබිය හැකි එක් අයෙකු සිටිය නිසාය.

මා හට මාව වෛද්‍යවරුන්ගේ දෑතට පත් කර ඔවුන්ගේ හැකියාවන් කෙරෙහි විශ්වාසය තැබීමට සිදු විය. මට ඔවුන්ගේ වචන ඇසෙන බවට සලකුණක් දීමට මට අවශ්‍ය වූ නිසා මම මාගේ අතේ ඇඟිලි මගින් තට්ටු කිරීමටත් කකුලේ ඇඟිලි සෙලවීමටත් උත්සාහ කළ නමුත් ඒවා චලනය වනවාද නැද්ද යන්න ගැන කිසිම අදහසක් මට නොතිබුණි. එලෙසින් මා අනුමාන කළේ, මට උදවු කරමින් සහතික වශයෙන්ම ඇඳ වටා රොක්වී සිටින වෛද්‍යවරුන්ගෙන් සහ හෙදියන්ගෙන් එයට ප්‍රතිචාරයක් නොලැබුන නිසාය.

“එයාගේ ඇස් දෙක ගැහෙනවා, මම හිතන්නේ එයා ඇස් අරින්න උත්සාහ කරනවා”, යැයි ගැහැණු කටහඬක් හැඟීම්බරව පවසනු ඇසුණි. එවැනි දිරිගැන්වීමකින් ධෛර්යමත් වූ මම තව දුරටත් උත්සහා කරමින් සිටිය අතර විනාඩියකට හෝ ඊට පසු කාරුණික පිරිමි මුහුණක් මා දෙස බලා සිනාසෙන අයුරු මගේ ඇසෙහි ඇරී තිබූ කුඩා කොටසකින් මට දැකගත හැකි විය.

“නැවතත් සාදරයෙන් පිළිගන්නවා, විලියම්,” ඔහුගේ අවංකභාවය විද්‍යමාන වන ලෙස ඔහු පැවසු අතර, “අපි හිතුවේ ඔයා අපිව ඒ වෙලාවේ දාලා ගියා කියලයි. ජීවත් වන්නවුන්ගේ ලෝකයට ඔයාව නැවත සාදරයෙන් පිළිගනිමු. මනුස්සයෝ, මට මේ ගැන හරිම කණගාටුයි, නමුත් මම දැන් ඉක්මනට යන්න ඕනේ, ඔයා හොඳින් ඉන්නවා, නමුත් මේ ඉන්න නෝනලයි මහත්වරුනුයි ගොඩාක් දක්ෂයි. මම කළා වගේම ඔයා ගැන බලා ගනීවි. මම ඔයාව පස්සේ හම්බවෙන්නම්.”

ඔහු තමාගේ උපදෙස් අනෙක් අයට රහසින් පවසා පිටව ගියේය.

එය අමුතු දෙයක් වූ අතර, ඔබට ඉතා සුළු ශක්තියක් ඉතිරිව ඇති විට, එය නැවත පැමිණෙන අයුරු ඔබට පහසුවෙන් දැනෙන බවක් තේරුම් යයි. මා සම්බන්ධයෙන් සැලකීමේදී, මම තත්පරයෙන් තත්පරය පුරා ශක්තිමත් වෙමින් සිටියෙමි. ඔවුන් මට ලබා දුන් ඹෞෂධ මොනවාදැයි මම නොදන්නා නමුත්, ඒවා සහ ජීවත්වීමට ඇති කැමැත්ත පුදුම ලෙස ක්‍රියා කරන බව මට වැටහුණි.

“අපි අද රෑ ඔයාව තියා ගන්නම්, විලියම්. නමුත් හෙට ඔයාගේ ලකුණු හොඳ නම්, ඔයාට ආයෙත් ඔයා හිටපු ඇඳටම යන්න පුළුවන්. ඒක හොඳයි, එහෙම නේද?”

මම ඔළුව වනා සිනාසෙන්නට උත්සාහ කළෙමි, නමුත් ඒ වෙනුවට, මගේ වම් ඇසෙන් වැටුණු කඳුළු බිඳුවක් මගේ නළල සහ කන අතරින් ගලා ගොස් මගේ කන ඇතුලට වැටුණි. මම අවුරුදු තුනකට ආසන්න කාලයක් මගේම ඇඳේ නිදාගෙන නැත. නමුත් ඇය ඇත්ත වශයෙන්ම අදහස් කලේ කුමක්දැයි මම දැන සිටියෙමි. ඇය උත්සාහ කළේ කරුණාවන්ත වීමටයි… මාව උද්යෝගිමත් කිරීමටයි, ඇත්තෙන්ම මම එය අගය කලෙමි. ඔබ අවසන් හුස්ම හෙළන බව ඔබට වැටහෙන විට ඔබ සිතන දේ ඇත්තෙන්ම විහිළුවක් පමණි.

මම ධාර්මික කෙනෙකු ලෙස මම පිලි නොගත්තත්, අන් අය එසේ විය හැකි යැයි මම සිතමි. මම සුළුවෙන් විශ්වාස කරන්නේ මරණයෙන් පසු ජීවිතය, පුනරුත්පත්තිය හා කර්මය යන දේ පමණි. එම නිසා, මරණය කිසි විටෙකත් මට කිසිදු බියක් ඇති කර නොමැති අතර, ජීවිත් වීමට තරමක් හෝ කැමැත්තක් ඇත්තේ එය පුළුල් පරාසයක අත්දැකීම් සහ තවත් බොහෝ දේ සඳහා ඉඩ සලසන බැවිනි.

මගේ අවසන් සිතුවිලි කිහිපය ජීවිතය හෝ මරණය ගැන හෝ මගේ මැවුම්කරුවා යලිත් හමුවීම ගැන හෝ නොව, මා ආදරය කළ පුද්ගලයන් ගැන සහ විශේෂයෙන් ගැහැණුන් ගැන විය. මන්ද මම සැමවිටම පිරිමින්ගේ සමාගමයට වඩා ගැහැණුන්ගේ සමාගමයට වැඩි කැමැත්තක් දැක්වූ කෙනෙකු වූ නිසාය. මගේ ජීවිතය මගේ ඇස් ඉදිරිපිටම ආලෝකය විහිදුවමින් වේගයෙන් නැවත ගමන් කරන බව ඔබට තර්ක කළ හැකිය, නමුත් එය සුවදායක වූවා සේම සංස්කරණය කළ අනුවාදයක්ද වූ අතර එය ආලෝකය විහිදුවමින් වේගයෙන් ගමන් නොකළේය. එය දුර්වල, ත්‍යාගවන්ත, සිත්ගන්නා සුළු ආකාරයෙන් සිමින් යන ගමනකින් යුක්ත විය.

සත්තකින්ම, මා සිතූ ආකාරයට හෘදයාබාධයකින් මම මිය ගියා නම් මගේ ජීවිතයේ එම චිත්‍රපටය අවසන් වනු ඇතැයි මම විශ්වාස නොකරමි. එය දිගටම යනු ඇති අතර මමද ශරීරයක් නොමැතිව එහි සිටිනු ඇත - එකම වෙනස එයයි.

මගේ වැඩිහිටි ජීවිත කාලය පුරාම මම විශාලව වැඩුණු, එමෙන්ම ශක්තිමත් මිනිසෙක් වී සිටියේමි: අඩි හයකට වඩා උසකින් සහ ස්ටෝන් දහසය ඉක්මවූ බරකින් යුතුව, නමුත් ඒ සමඟම නිරෝගී සහ සෞඛ්‍ය සම්පන්න විය. මම අසනීප වී සිට ඇති අතර මගේ අස්ථිද බිඳී ඇත, නමුත් ඒ කිසිවක් දිගු කලකට මාව මට්ටු කිරීමට සමත් වූයේ නැත. කෙසේ වෙතත්, ඒ කාලයන් අවසන් වී ඇතැයි මම බිය වීමි. මන්ද ඔබ දුටු ලෙස එය මා සුවය ලැබූ දෙවන හෘදයාබාධය වන අතර, මම සත්‍යය අවබෝධ කර ගැනීමට තරම් යථාර්ථවාදී විය. මෙම වෙහෙසකාරී වළල්ලෙන් ඉවත්වීම සඳහා ලැබෙන තුන්වන ඇමතුම නොසලකා හැරීමට මට නොහැකි වනු ඇත.

සත්‍ය වශයෙන්ම, මට කෙසේවත් එම ඇමතුම නොසලකා හැරීමට අවශ්‍ය වනු ඇතැයි මට විශ්වාසයක් නැත. මට දැන් වයස හැත්තෑ එකක් වන අතර, දකුණු ස්පාඤ්ඤයේ වයසක මිනිසුන් සඳහා වෙන්වූ නිවසක ජීවත් වන අතර මගේ බිරිඳ සහ මිතුරන් සියල්ලෝම මට පෙර මෙලොවින් පිටත්ව ගොස් ඇත. මාව වැරදියට තේරුම් නොගන්න, එය ඉතා සුවපහසු ගිලන් නිවසකි, විශේෂයෙන් මා වැනි ඉංග්‍රීසි කතා කරන වැඩිහිටියන් සඳහා එය ක්‍රියාත්මක වේ. එය ඇත්තෙන්ම හරිම සුන්දර ස්ථානයක් විය, නමුත් එය මගේ නිවස නොවේ. ඔබට එය විශ්වාස කළ හැකි බව මම දන්නා අතර ඔවුන් 'මගේ' යැයි හඳුන්වන ඇඳ, මගේ බිරිඳ අවුරුදු දෙකකුත්, මාස තුනක් සහ දින දාහතකට පෙර මිය යාමට පෙර මා සමඟ බෙදාගත් ඇඳ නොවීය.

ඇත්ත වශයෙන්ම, ඇය අපගේ ඇඳේ සිට රෝහලට ගෙන ගොස් සිහිය නොලබා මිය ගියාය. ඇයගේ පළමු හෘදයාබාධයෙන් ඇය බේරුණේ නැත. එය ලැජ්ජාවට කාරණයකි. මම සිතුවා ඇයට ලැබෙයි කියලා… කාලය පැමිණි විට. එයින් පසු ටික කාලයකට මම හෝටලයක නිදාගෙන පසුව ගිලන් නිවස වෙත පැමිණියෙමි - අපි නිවැසියන් එය හදුන්වන ආකාරයට, දෙවියන් පැමිණෙන තුරු සිටින ස්ථානය!

කෙසේ වෙතත්, මම තාවකාලිකව හෝ මාතෘකාවෙන් ඉවත්වීම ගැන මගේ ආදරණීය පාඨකයා, ඔබ මට සමාව දෙනු ඇතැයි මම විශ්වාස කරමි, මන්ද මහලු මිනිසෙකුගේ මනස ඉබාගාතේ යයි, කියන්නාවූ කියමන සත්‍යයක් බැවිනි. කෙසේ වෙතත්, අවසානය දක්වා මාව දැඩි ලෙස අල්ලා ගෙන සිටීමට ඔබට හොඳ ඉවසීමක් තිබේ නම්, මුළු ලෝකයාගේම දැන ගැනීමට මට අවශ්‍ය කරන්නාවූ කාන්තාවකගේ කතාව මම ඔබට කියන්නෙමි.

වෙනත් කෙනෙකුගේ කතාවක් පැවසීමට උත්සාහ කිරීම ඉතා දුෂ්කර වන අතර, මේ අවස්ථාවේ දී එය කාලයාගේ ඇවෑමෙන් හා මහලු මිනිසෙකුගේ මතක ශක්තියෙන් අපැහැදිලි වී ඇති නමුත් මම කෙසේ හෝ එහි අවසානය දක්වා යන්නෙමි. මම ඔබට ඒ ගැන අවංකවම පොරොන්දු වෙමි.

මම මගේ පවුලේ වැඩිමහල් දරුවා විය, අපගේ පවුලේ මගේ පරම්පරාව තුලද එසේම විය. මම කිව යුතුයි, මගේ ඊළඟ සහෝදරයාට වඩා අවුරුදු තුනක් මම වැඩිමහලු වූ බවත්, එබැවින් දිගු කලක් මම පවුලේ එකම දරුවා මෙන් සැලකුම් ලැබූ බව. මම වාසනාවන්ත විය, මන්ද අපේ නිවස ළඟ පිහිටි ගෙවල් පහේ ළමයින් විශාල ප්‍රමාණයක් සිටියත් වාසනාවකට මෙන් එම දරුවන් නව දෙනාගෙන් අට දෙනෙක්ම ගැහැණු ළමයින් විය. මගේ පෙර පාසල් කාලයේ මම ඔවුන් සියල්ලන්ටම ආදරය කළේ මට මගේම සහෝදරියන් නොසිටි නිසාය… තේ සාදවල දී ඔවුන් අම්මලා වූ පසු තාත්තා ලෙස ඔවුන් සමග මගේ සෙල්ලම් කිරීම ගැන මට ඇත්තේ සුන්දර මතකයකි.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මට වඩා අවුරුදු ගණනාවක් වැඩිමල්ය, එබැවින් පාසල් ගමන ආරම්භ කරන විට ඔවුන් නව මිතුරන් සොයා ගත් අතර අවසානයේදී මමද එසේ කළෙමි. වයස අවුරුදු හයේදී මම ඩෙබී නම් ගැහැණු ළමයෙකු සමඟ ආදරයෙන් බැඳී සිටියෙමි. දිනක්, පාසලෙන් පසු, වයස අවුරුදු හතේදී, අපි ගිගුරුම් හා අකුණු සමග වැටුණු මහා වැස්සක් මැද ඔන්චිල්ලාවක් මත ඉඳගෙන සිටිමින්, අකුණු සැරයකින් අප දෙදෙනාව ආදරබර මරණයක් කරා ගෙන යනු ඇතැයි අපේක්ෂා කළෙමු. ඇත්ත වශයෙන්ම, එය එසේ නොවුනත්, එමගින් අපට ලැබුණේ අපගේ දෙමව්පියන්ගේ බැනුම් පමණි.

සැලී පැමිණියේ අපිට වයස නවය වන විටය. මම ඇයට හොරෙන් ඇයගේ පසුපසින් ගිය අතර ඇය දන්නා තුන්වන කඩවසම්ම පිරිමි ළමයා මා බව ඇය මට පැවසූ විට, මම සිටියේ හත්වන ස්වර්ගයේ ය. පහළොස් වන විය වනවිට ලෙස්ලි සිටියාය. මම ඇයට දුර සිට ආදරය කළ නමුත් කිසි විටෙකත් ඇය සමඟ කතා කර නොමැත. ඒ ආදරය මට වයස අවුරුදු දාහතක් වෙනතුරු පැවතුනි.

ඒ අපූරු ගැහැනු ළමයින්, එලෙසම අපේ අහිංසකකම සහ අප ගතකල ශ්‍රේෂ්ඨ කාලයන්, නැතහොත් මට ගත කිරීමට අවශ්‍ය වූ ශ්‍රේෂ්ඨ කාලයන් මට කිසිදා අමතක නොවනු ඇත.

වයස හැත්තෑ එකේදී, ඔබ මරණ යහනෙන් අලුත් ලෙස නැගිට සිටියදී පවා සමහර දේවල් ඔබට කිසිසේත් පැවසිය නොහැකිය. එලෙසම ඔබට පැවසීමට අවශ්‍ය නැති වෙනත් දේවල්, ඒවා පෞද්ගලිකව අත්දැකීමක් ලෙස රසවිඳීම වඩාත් යෝග්‍යය. මම බොහෝ විට කල්පනා කරන්නේ එම මුල් ආදරවන්තයින්, ඔවුන් ආදරවන්තයින් නොවුනද මා ගැන ආදරයෙන් සිහිපත් කරනවාද යන්නයි. නමුත් මම එය කවදාවත් දැන නොගන්නා අතර සමහරවිට එය හොඳම දේ විය හැකිය. නමුත් ඔවුන් ඒසේ කරනවා ඇතැයි කියා මම නිරතුරු මවා ගනිමි.

ඔබට පෙනෙනවා නේද, මට ඔවුන්ගෙන් ඒ ගැන ඇසිය නොහැකි බව. මන්ද මම සැමදා එහෙ මෙහේ රවුම් ගැසුවා මිස කිසි විටෙකත් සම්බන්ධතාවයක් පවත්වා නොගතිමි. මිතුරන් හා සමීප පවුලේ අය නොමැති වීමට එයද හේතුවක් විය. පළමුවෙන්ම, මම නිවසේ සිට සැතපුම් එකසිය පනහක් පමණ දුරින් පිහිටි විශ්ව විද්‍යාලයට ගිය අතර පසුව මම රාජ්‍ය තාන්ත්‍රික සේවයට බැඳුනෙමි. එයට සංචාරය කිරීමද ඇතුළත් විය… නමුත් මම මට වඩා ඉදිරියෙන් සිටීමට පටන් ගතිමි.

වයස අවුරුදු දහඅටේ සිට විසිතුන දක්වා කාලය තුළ, මා සමඟ පිටතට යන ගැහැණු ළමයින් කාන්තාවන් බවට පත්වීමට පටන් ගත් අතර, එය වඩා සිත් ඇදගන්නා සුළු විය. මට මතකයි ජැනින්, ග්ලෙනිස් සහ ඇන්ඩ්‍රියා… තවත් බොහෝ මිතුරියන් හා පෙම්වතියන් එක හා සමානව. මම ඔවුන්ව නිතරම සිහිනෙන් දුටු අතර එම සිහින මා දුටුවේ මගේ බිරිඳට අගෞරවයක් නොවන අයුරිනි.

හෙදිය පැමිණ ඇත්තේ මාව නින්දට පැමිණවීමටයි… මහලු බල්ලෙකු ලෙසට නොව, ඔබ තේරුම් ගන්න, රෝගී දරුවෙකු ලෙසට. ඇත්තෙන්ම මම භීතියට පත්වන දෙය, මම දරුවෙකු බවට පත්වීමේ අවදානමයි. මගේ කතාව ඔබට ඉක්මනින් කියන්නට අවශ්‍ය වීමට එයද හේතුවක්. මම හෙට ඔබ සමග එය බෙදා ගැනීමට උපරිම උත්සාහයක් දරමි.

∞

උදේ ආහාරය සඳහා මූස්ලි සහ නැවුම් අන්නාසි මතට යෝගට් දමා, ඒ සමගම කහට අඩුවෙන් සැකසූ ඹෞෂධීය තේ කෝප්පයක්. රසයෙන් ඒ කුමන එකක්දැයි මට කිව නොහැක, නමුත් පුරෝකථනය කළ හැකි නම් ඒ සියල්ල ඉතා හොඳ බව කිව යුතුය. මම ටික දවසකට දුවපැන ඇවිදීම සඳහා සුදුසු තත්වයක නොසිටිමි, එබැවින් මට රළු ආහාර විශාල වශයෙන් අවශ්‍යය. තේ බොහෝ විට මෘදු විරේකයක් ද වේ.

කෙසේ වෙතත්, මගේ කතාව යම් දිනකදී ප්‍රකාශයට පත් කිරීමට යන්නේ නම්, එය ලිවීමට හෝ පටිගත කිරීමට අවශ්‍ය බව මම එක් රාත්‍රියකදී තේරුම් ගතිමි. ඩික්ටෆෝනයක් මගින් මා හට දැඩි වෙහෙසකාරී බවකින් තොරව මගේ කතාව පටිගත කලහැකි නිසා මගේ උදේ ආහාරය ගෙන ආ හෙදියගෙන් මම ඉල්ලා සිටියේ ගිලන් නිවසේ කාර්ය මණ්ඩලයට පවසා මා හට එකක් මිලදී ගැනීමට කටයුතු කරන ලෙසයි. පැය අටක් ඇතුළත මම ‘ගෙදර යන’ බව මට මතක් කර දීමෙන් ඇය එම කාර්යයෙන් ඉවත් වීමට උත්සාහ කරමින් පැවසුවේ මා හට ඒ ගැන කාර්ය මණ්ඩලයට පවසන ලෙසටය.

මට ඒ කිසිවකින් පලක් නොවුනි. ‘මට අද හොඳ උනාම මහලු නිවාසයට යනවා කියලා මට අමතක වෙලා නැහැ!’ මම ඇයට කීවෙමි. 'කරුණාකරලා, මම ඉල්ලපු විදිහට මට ඩික්ටෆෝනයක් අරගන්න කියලා ඒගොල්ලන්ට දුරකථන ඇමතුමක් දෙන්න!' ඇය සැරෙන් හුස්ම පිටකර කේන්තියෙන් පිටත්ව ගියාය. නමුත් මගේ වයසේදී අපට වරින් වර තරමක් නුරුස්සන ස්වභාවයෙන් සිටීමට අවස්ථාවක් දී ඇත. එය අපෙන් අපේක්ෂා කරන අතර මහලු විය සඳහා වන වන්දි වලින් එකකි. අවුරුදු හැත්තෑව පසු කල කෙනෙකුට ලැබෙන ත්‍යාගයක් ලෙස, ඔබට එය හැඳින්විය හැකිය.

මගේ පිඟන් කෝප්ප වෙනත් හෙදියක් විසින් ඉවත් කරන විට, මම නැවතත් මගේ ඩික්ටෆෝනය ගැන විමසුවෙමි. මිනිත්තු දහයකට පසු ඇය මගේ ඇඳ අසල ඇති දුරකථනයට කතාකොට පැවසුවේ එය ගිලන් නිවාසයේ සේවකයන් විසින් දැනටත් සලසා ඇති බවය. ඔවුන් සැමදෙනා, සමස්තයක් වශයෙන් මෙහිදීත්, මා ජීවත් වන ස්ථානයෙදීත් ඉතා කරුණාවන්ත අය බව මට වැටහුණි.

ඔවුන් මා 'ගෙදරට' එනම් මගේ ඩික්ටෆෝනය තිබෙන ස්ථානය කරා ගෙන යන තෙක් අපි බලා සිටින අතර මා ගැන තව ටිකක් ඔබට කියමින් කාලය පුරවන්නෙමි. නමුත් කණගාටු නොවන්න, මම එය ඉතා කෙටියෙන් පවසමි. මට ඔබව මගේ කතාවෙන් පීඩා කිරීමට අවශ්‍ය නැති අතර ඔබට පැවසිය යුත්තේ මේ කියන්නට යන සත්‍ය කතාව මා ගැන නොවේ කියාය. පුරාන හිපියන් පැවසූ පරිදි මෙය කොහෙත්ම මමත්වයේ චාරිකාවක් නොවේ.

මම හැත්තෑ ගණන්වලට ආදරය කළ නමුත් හැට ගණන්වලදී විනෝද වීමට නොහැකි තරම් තරුණ විය.

මම උපත ලැබුවේ එක්සත් රාජධානියේ දකුණු වේල්සයේ කාඩිෆ් නමැති පෙදෙසේ කාර්යශීලී කම්කරු පංතියේ පවුලක වැඩිමහල් දරුවා ලෙසය. මගේ පියා ඔහුගේ ජාතික සේවය අවසන් කරන විට වඩු කාර්මිකයෙකු වූ නමුත් වැඩි කල් නොගොස් ඔහුගේම ඉදිකිරීම් ආයතනයක් පටන් ගත් අතර ඔහුටත් මගේ මවටත් ඉතා ඉක්මනින් පිරිමි ළමයින් පස් දෙනෙකුගෙන් යුත් පවුලක් ගොඩනැගීමට හැකිවිය. අපි හැමෝම නිරෝගී, ශක්තිමත් හා සතුටින් හැදී වැඩුනෝය. අපේ දෙමව්පියන් අධ්‍යාත්මිකවාදීන් වූ අතර, සෑම සිකුරාදා රාත්‍රියකම තාත්තා ඔහුගේ ආත්මික සුවය පිණිස පල්ලියට යන අතර අපවද ඔහු සමඟ කැඳවාගෙන ගියේ අම්මාට විශේෂයෙන් අවශ්‍ය වූ විවේකය ලබා දීමටය.

කෙසේ වෙතත්, ඔවුන් ආගම කිසි විටෙකත් අප මත බලයෙන් පැටවුයේ නැත. ඇත්ත වශයෙන්ම, අපේ පාසල වේල්ස්හි පල්ලිය මගින් පැවැත්වූ පාසලක් වූ අතර, පෝතකයින් සහ බාලදක්ෂයින් මෙතෝදිස්තයින් වූ අතර අපගේ සමීපතම නැන්දා කතෝලික ආගම අදහන්නියක් වුවාය. ආගම යන්න අපේ පවුලට හෝ අසල්වැසියන්ට ප්‍රශ්නයක් නොවීය. මගේ මව පැවසූ, මට මතක ඇති පළමු කාරණා දෙක නම්, ඇයගේ වයස අවුරුදු හතළිස් දෙක වීමට පෙර ඇය මිය යන බවත්, මම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විය යුතු බවත් ය. මේ දෙකම සැබෑ විය.

ඉංග්‍රීසි මගේ මව් භාෂාව වූ නමුත් මම වයස අවුරුදු හයේ සිට වේල්ස් භාෂාව ඉගෙන ගත් අතර පසුව ප්‍රංශ, ජර්මානු, ලතින්, ලන්දේසි සහ රුසියානු භාෂාව චතුර ලෙසද චීන හා ස්පාඤ්ඤ භාෂාව සුළු වශයෙන්ද ඉගෙන ගතිමි. රාජ්‍ය තාන්ත්‍රික සේවය මගින් ඔබට කථා කළ හැකි සෑම භාෂාවක් සඳහාම ප්‍රසාද දීමනාවක් ගෙවන අතර එය මට විශාල ආකර්ෂණයක් විය. මගේ වයස අවුරුදු පහළොව වන විට විදේශ සංචාරය කර අධ්‍යාපනය ලබා සිටි බැවින් විදේශ සංචාර පිළිබඳ ඔවුන් දුන් පොරොන්දුව ද ආකර්ශනයක් ගෙනාවේය. මම දහ අටවිය වන විට විදේශ සංචාර සම්බන්ධව දැඩි විශ්වාසවන්ත බවකින් යුත් සංචාරකයෙක් විය.

මම විශේෂයෙන් කැමති වූයේ ගමන් කිරීමේදී මාවතේ ගමන් කරන වාහන මගින් නොමිලේ ගමන් මාර්ගය සලසා ගැනීමෙන් ගමන් කිරීමටය. නමුත් සියලු යෞවනයන් ඒ දිනවල එය කළ අතර එය කිසියම් හේතුවක් නිසා දැන් පවතින තත්වයට වඩා ආරක්ෂිත විය.

මා, අන් කිසිවෙකුට වඩා සංවේදී නිගමනවලට එළඹෙන බව නොකියූවත්, පුද්ගලයෙකු වශයෙන්, මම හුදෙකලා වීමට සහ චින්තකයෙකු වීමට වඩාත් නැඹුරු වීමි. කෙසේ වෙතත්, ඔවුන් මා රාජ්‍ය තාන්ත්‍රික සේවයේ යෙදවීමට එක හේතුවකුත් එයම විය. මම සේවය තුලදී විශිෂ්ඨ ජීවිතයක් ගත කළ අතර එය බොහෝ විනෝදජනකද විය… නමුත් මෙන්න, මම නැවතත් මෙම කථාව නියමිත මාතෘකාවෙන් ඔබ්බට ගෙන ගොස් එය මා සහ මගේ ජීවිතය දෙසට නැඹුරු කෙරුවා... ඔහ්, ඔව්, මට අමතක වුනා… අපි ඩික්ටෆෝනය එනතුරු බලා සිටියා නේද, ප්‍රායෝගික විස්තරය වෙත යන්න, එහෙම නේද?

මම ඒ ගැන සමාව අයදිමි, නමුත් මමත් ඔබ මෙන් නොඉවසිල්ලෙන් සිටිමි. අවංකවම!

රෝහලේ සිට මහලු නිවාසය දක්වා වූ ගමන කිලෝමීටර කිහිපයක් පමනක් වූ අතර ඔවුන් සැපයූ විශාල සුව පහසු ගිලන් රථයෙන් එම ගමනට වැඩි කාලයක් ගත නොවීය. ඇත්ත වශයෙන්ම, අපි උදේ එකොළහට පමණ කිසිම පූර්ව ඇඟවීමකින් තොරව රෝහලෙන් පිටත්ව ගිය අතර, මාබෙලා හි විනෝද බෝට්ටු සඳහා සැකසූ සුන්දර නැවතුම් පලට ඉහළින් පිහිටි වැඩිහිටි නිවාස භූමියේ විශාල සුව පහසු පුටුවක දහවල් දොළහා වනවිට මම වාඩි වී සිටියේ මගේ දිවා ආහාරය එනතෙක් බලා සිටිමිනි.

මම, දැන් තේරුම් ගත්තා ඔබ මේ පොතේ කාරනාව දැන ගැනීම සඳහා සෑහෙන කාලයක් බලා සිට ඇති බව, මට එය අමතක වී නැත, එය සඳහා හරියටම කොපමණ කාලයක් ගත වී ඇත්දැයි මට හරියටම මතක නැතත්, හෙදිය මගේ දිවා ආහාරය ගෙන එන විට, මම නැවතත් මගේ යන්ත්‍රය ගැන ඇයගෙන් විමසුවෙමි. ඇය ඉදිරි පස මේසය නාද කිරීමට ඇගේ ජංගම දුරකථනය භාවිතා කළ අතර පැයක් ඇතුළත එය ලබා දෙන බවට මට සහතික විය. මම සිනාසෙමින්, ඇයට ස්තූති කර මට කෑමට ලබාදුන් තැම්බූ මාළු හා සලාදය කා, ඉන් පසුව නැවතත් යෝගට් අනුභව කොට තේ පානය කළෙමි.

මම එවැනි ආහාර වලට ප්‍රිය මනාප වන නමුත් වේලාසනින් පිසින ලද පෝෂණ ගුණයෙන් අඩු කෑම අනුභව කිරීමට මාගෙන් ඉල්ලා නොසිටින තාක් කල්, මට කුමන ආකාරයකට හෝ පිසූ ආහාර මගින් සතුටු වීම පහසුය. පෙර දිනවලදී, මම ඉන්දියානු හා පසුව තායි ආහාර වලට කැමැත්තක් දැක්වුයෙමි. මගේ පැහැදිලි සර්වකාලීන ප්‍රියතම ආහාරයක් වූ චීස් මෙන් දැන් ඒවාද මට ප්‍රතික්ෂේප වී ඇත. චීස්, නැවුම් මෙන්ම කැඩෙන සුළු පාන් සහ රතු වයින් හෝ බියර් සඳහා මා තුල නිරන්තර ආශාවක් තිබූ අතර ඒවා මේ දිනවල ඉතා දුර්ලභ සංග්‍රහයකි.

කෑම සහ පැය යන දෙකම දැන් අතුරුදහන් වී ඇත, නමුත් මගේ තත්වයට ඇති එකම වෙනස නම් මට නිදිමත දැනීමයි. එය බොහෝ විට මුහුදු සුළඟ නිසා විය හැකිය. ඔවුන් ඉක්මනින් මගේ නව සෙල්ලම් බඩුව ගෙනාවේ නැත්නම්, මම නැවත නිදාගන්නෙමි… මගේ තරුණ කාලයේ මිනිසුන් ගැන සිහින දකිමින්, බොහෝ කලකට පෙර මිය ගොස් ඇති අය ගැන… සමහර විට, මමත් එසේ විය යුතුයි, මම මෙහි ගත කරන්නේ කුමන ප්‍රයෝජනවත් අරමුණක් සඳහාද? කමින්, බොමින් සහ මුදල් වියදම් කරමින්, නමුත් කුමන අවසානයකටද? මාව පණපිටින් තියාගැනීමටද? වැඩිහිටි නිවසේ හිමිකරුවන් හැර කිසිවෙකු මා ගැන සැලකිලිමත් නොවන අතර, මගේ මුදල් ඉවර වුවහොත් එයද ඉක්මනින් නතර වනු ඇත, එය එසේ නොවේ… ආදරණීය බ්‍රිතාන්‍ය රජය මා මියයන තෙක් මා දෙස බලනු ඇත.

කෙසේ වෙතත්, මගේ අනිවාර්ය තවත් මරණයක් හා නැවත ඉපදීමක් මගේ ගමනෙන් මාව වළක්වනු ලැබ සිටියි. මගේ මුදල් වෙනත් තැනක වියදම් කිරීම මෙයට වඩා හොඳ යැයි මගේ සිතට නැගෙන සිතිවිල්ල ගැන මට කිසිවක් කළ නොහැක. මම නැවත පාවී යමි, මට එය දැනේ. මගේ කතාව ඔබට පැවසීමට මම ජීවතුන් අතර සිටිය යුතුය, එය ඇත්ත වශයෙන්ම මගේ කතාව නොවේ, මන්ද එය මා ගැන නොවන නිසාය. මම දන්නවා ඒ ගැන මම මීට පෙර ඔබට පවසා ඇති බව. නමුත් මම මේ කතාව මගේ ජීවිතයේ වැඩි කාලයක් දැන සිටියෙමි. ඒ නිසයි මම ජීවතුන් අතර තවමත් මාව රඳවා ගෙන සිටින්නේ, නමුත් ඒ වෙනුවෙන් පමණක්ම නොවේ.

සත්‍යය දැන ගැනීමට අවශ්‍ය නම්, මගේ ගමනේ ඊළඟ අදියර දක්වා ඉදිරියට යාමට මම උනන්දු වන අතර දැනටමත් වසර දෙකකුත් මාස හතක් සහ දින දහහතරක් මම ගත කර ඇත. මට ඇයව බොහෝ සේ මග හැරී ඇත, මම ඇය ගැන සිතන සෑම මොහොතකම මට ඇඞිය හැකිවේ, මේ මම යයි කියන දැඩි අවජාතකයා හට… මම කියා බොරුවට මවාපාන තැනැත්තා. අවසානයේදී, සෑම කෙනෙකුම චිත්ත රූපය විශ්වාස කරන අතර එය සමඟ දියුණු වීමට ඔබට ඉඩ සලසයි… ඔවුන්ට සැබවින්ම කිරීමට අවශ්‍ය අන්තිම දේ එය බව ඔවුන් වටහා නොගනී. මගේ හැඟීම් පෙන්වීමට මම බිය වෙමි, එයයි සත්‍යය… නමුත් බොහෝ පිරිමින්ද එසේයි.

එහෙත්, දැන් එය වෙනස් කිරීමට ප්‍රමාද වැඩියි… සමහර විට ඊළඟ ජීවිතයේ හෝ ඉන් පසුව අවස්ථාවක් ලැබෙනු ඇත. අනන්තය දීර්ඝ වීම කොපමණ හොඳද, එයින් ඔබගේ වැරදි සහ දුර්වලතා නිවැරදි කිරීමට ඔබට ඕනෑ තරම් කාලය ලබා දෙන අතර, දෙවියනී, මට එය අවශ්‍යය බව ඔබ දනී.

මට විශ්ව විද්‍යාලයේ හමුවූ පිරිමි ළමයෙක් වන රිකී ගැන හදිසියේම අනපේක්ෂිත මතකයක් ලැබෙනවා. ඔහු බැටර්සි හි සිට පැමිණි අතර ආරූඪ කරගත් නැගෙනහිර ලන්ඩනයේ භාෂා උච්චාරණයකින් කතා කළේය. ඔහු කුකුලෙකු මෙන් ඇවිදීමට උත්සාහ කළ අතර, එක් රාත්‍රියකදී ඉන්දියානු ව්‍යංජන අනුභවය සඳහා ඔහුව රැගෙන යන ලෙස ඔහු මගෙන් ඉල්ලා සිටියේය. ඒ මන්ද යත්, ඔහු කිසිදා එවන් ආහාර අනුභව නොකර ඇති නිසාත් ඔහුගේ පෙම්වතිගේ කැමතිම ආහාර වර්ගය ඉන්දියානු ආහාර බව කී පසු ඇය කෙරෙහි පලපෑමක් ඇති කිරීමටත්ය. ඔහු රතු වයින් සහ බියර් පානය කර, වෙරි මතින් ඔහුගේ මුහුණ මදුරාසි කුකුළු මස් ව්‍යංජනයේ දමා ගත්තේය. හා, හා, හා… නියම පැරණි දවස්. වේටර්වරයෙක් සහ මම ඔහුව පිරිසිදු කළ අතර, මම ඔහුගේ පෙම්වතියගේ ගෙදර වෙත ඔහුව ගෙන ගියෙමි. ඇයගේ තට්ටු නිවාසයේ මිතුරිය විසින් ගන්නා ලද නිරුවත් ඡායාරූප වලින් ඇගේ නිවස පිරී පැවතුනි.

මට තට්ටු නිවාසයේ මිතුරියගේ නම මතක නැත, නමුත් ඇය යුදෙව්වෙකු වූ අතර එදින රාත්‍රියේ මට තවත් රතු වයින් පොවා මා සමඟ ඇඳට ගියාය. මට ඇගේ නම මතක නැති නිසා මම දුබල බව මට දැනේ, නමුත් මරියා හෝ මාෂා යන නම මගේ මනසෙහි ඇය ගැන පෙනෙන මුහුණට ගැලපෙන බව හැඟේ. පුදුමයි, මම අවුරුදු පනහකට ආසන්න කාලයක් තිස්සේ එම පුද්ගලයින් තිදෙනා ගැන සිතා නැත.

සමාවෙන්න මට, මම කාරණයෙන් පිටතට සෙමින් ඉවත්වීම ගැන. මගේ පීරිසිය යටින් නෙරා පැමිණි සටහනක් තිබේ: ‘ඔබේ ඩික්ටෆෝනය පිළිගැනීමේ කවුන්ටරයේ ඇත. කරුණාකර නාද කරන්න, එය ඔබ වෙත ගෙන එනු ඇත’. ආදරණීය පාඨකය, මම ඔබ ගැන මෙන්ම මම ගැනද සතුටු වෙමි, මන්ද දැන් මට මගේ පොරොන්දුව ඉටු කිරීමට හැකි වනු ඇති අතර මා පවසන දේ සත්‍යද නැද්ද යන්න ඔබටද තක්සේරු කළ හැකිවනවා ඇත. කරුණාකර, පොඩි මොහොතක් දෙන්න, මට ඇමතුම ගැනීම සඳහා.

“මෙන්න, විලියම්. ඔයා නිදාගෙන ඉන්නකොට මේකේ බැටරි ආරෝපණය කිරීමේ නිදහස මම ගත්තා. ඒකත් එක්ක විනෝද වෙන්න”, එය ලබා දුන් දැරිය පැවසුවාය.

“ඔව්, ස්තූතියි, මම කරන්නම්,” මම සතුටු සිතින් පිළිතුරු දුන්නෙමි, නමුත් ‘මොන තරම් විකාර කෙල්ලෙක්ද!’ කියා සිතුවෙමි. සමහර තරුණ අය අපි හැමෝටම සලකන්නේ අපි වයෝවෘධයන් ලෙසටයි. ඒක මට තරහා යාමට කාරණයක්. අපගෙන් සමහරුන්ට නම් මුළුමනින්ම ඔළුව හොඳ නැතිබව ඇත්ත, නමුත් සියල්ලන්ම නොවෙයි… තවම නැත.

මම නෝකියා එක සමඟ සෙල්ලම් කළෙමි, හුරුපුරුදු ලක්ෂණ සොයමින් එය අතින් අතට හරවා බැලීමි. එය සරල එකක් විය, ඔව් මට අවශ්‍ය දේ… කටහඬින් එය සක්‍රිය කළ හැකිය. මම නවීන තාක්‍ෂණයට අමුත්තෙක් නොවූවත් තවත් හදිසි සිතුවිල්ලක් මගේ මතකයට ආවේය. මම වාර්තා දහස් ගණනක් ලියා ඇත, නමුත් කිසි විටෙක චරිතාපදානයක් ලියා නැත. බොහෝ ඒවා කියවා ඇත, ඔව්, නමුත් ලියා නැත. ආරම්භ කරන්නේ කෙසේදැයි මට සිතා ගත නොහැක. ඇත්තටම! මෙය වඩාත් පීඩාකාරියි. මම, අපි, පැය විසිහතරක් තිස්සේ රෙකෝඩරය බලාපොරොත්තුවෙන් සිටියෙමු, දැන් තවමත් මට එය ආරම්භ කළ නොහැක!

මගේ තේ බී අවසන් කිරීම සඳහා මම මගේ පීරිසිය ගත් අතර, උණුසුම් සුළඟක් මගින් එම සටහන තණකොළ මතට ගසාගෙන ගියේය. මට කියන්නට අවශ්‍ය කථාව, ඇගේ කතාව, වෙනත් සිදුවීම් පළමුව සිදු නොවූයේ නම් එය කිසිදා සිදුවිය නොහැකි බව මට වැටහී ඇත ... හොඳයි, එසේ නම්, ඔබ මෙතෙක් මා සමඟ සම්බන්ධ වී සිටි නිසා, මම ඔබව තව ටිකක් ඉදිරියට ගෙන ගොස් සියල්ල මුලින්ම පටන්ගත් ස්ථානයට, මනුෂ්‍යවූ මට පුළුවන් ලෙසට රැගෙන යන්නම්. මෙම කතාවේ සැබෑ ආරම්භය සිදුවූයේ වෙනත් රටක, මා ඉපදීමට දශකයකට පමණ පෙර ඉතා අසීරු කාලයකදීය.

අවසානය.

2 යූයි මිසුකි

හිරෝටෝ මිසුකි මහතා ටෝකියෝ හි මුදල් අමාත්‍යාංශයේ නිහඬ රැකියාවක මධ්‍යම මට්ටමේ නිලධාරියෙකු ලෙස දිවා කාලයේ දීත්, රාත්‍රි කාලයේදී ස්වදේශ ආරක්ෂක අංශයේ කොටසකත් සේවය කරමින් සිටියේය. 1944 දී, ඔහුට වයස අවුරුදු විසි හතක් වන විට, ඔහු තම කාර්යාලයේ කොරිඩෝවෙහි අනිත් පස වැඩ කරන සගයකු සමඟ ආදරයෙන් බැඳී සිටි අතර, එවිට ක්‍රියාත්මක වෙමින් පැවති ඇමරිකානු ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තේ නම්, ඇයව තම බිරිඳ බවට පත් කර ගැනීමට ඔහු පොරොන්දු විය. හිරෝටෝ සහ ඔහුගේ පෙම්වතිය වන සුසුමේ, සමාන සමාජ පන්තියකට අයත් අය වූ අතර, දෙදෙනාම ෂින්ටෝ දහම ඇදහූවන්ද වූ අතර ඔවුන් දෙදෙනාම හිරෝහිතෝ අධිරාජ්‍යයා දෙවියෙකු ලෙස සැලකූහ. එලෙසම ජපානය මෙම යුද්ධයෙන් පරාජය කළ නොහැකි බව දෙදෙනාම විශ්වාසය ඇති කරගෙන සිටියෝය - ජපානය මෙතෙක් කර ඇති විශාලතම යුද්ධය.

ඔවුන් වැරදි විය හැකි බවට ලැබුණු පළමු සංඥා වූයේ ඔවුන්ගේ ආදරණීය, පුරාණ අගනුවර වන ටෝකියෝහි වීදිවලින් තරුණයන් අතුරුදහන් වීම සහ ටෝකියෝ මතට ඇමරිකානුවන් විසින් අනුකම්පා විරහිතව ගිනි බෝම්බ හෙලීමයි. 1945 මාර්තු 9 වන දින රාත්‍රියේදී ගිනි අවුලුවන බෝම්බ 700,000 කට ආසන්න ප්‍රමාණයක් බිම හෙළීමෙන් මිනිසුන් 100,000 ක් මියගොස් 110,000 ක් තුවාල ලැබූ අතර විශාල වශයෙන් කඩදාසි හා උණ බම්බු මගින් සෑදු ගොඩනැගිලි හරහා වේගයෙන් ව්‍යාප්ත වූ ගිනි ජාලාවන් නිසා නගරයෙන් සියයට හතළිහක් විනාශ වීය.

ඇගේ මනස කම්පනය වෙද්දී සුසුමේගේ ඇදහිල්ල බිඳ වැටෙන්නට පටන් ගත්තේය. ජුලි 20 වන දින තවත් නරක රාත්‍රියකට පසු, විශාල වට්ටක්කා බෝම්බයක් - පැමිණීමට නියමිතවූ පරමාණු බෝම්බවල පූරෝගාමියා - ඇය ජීවත් වූ ඇගේ දෙමව්පියන්ගේ නිවස අසල බිම පතිතවූ විට, ඇය රැගෙන යන ලෙස හිරෝටෝගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියාය. ජුලි 21 වන දින ඇගේ නිවසේ පැවති රැස්වීමකදී ඇයට එය තවදුරටත් දරාගත නොහැකි බව ඇය දණින් වැටී ඔහුට පැවසුවාය. ඔහු ඇයව ඉතා ඉක්මණින් රැගෙන නොගියහොත්, ඇයට තනිවම පිටත්ව යාමට හෝ ‘ඉවතට යා හැකි එකම ගෞරවනීය මාර්ගය’ තෝරා ගැනීමට ඇයට සිදුවනු ඇති බව ඇය පැවසුවාය. ඇගේ දෙමව්පියන් ඔවුන්ට ආශීර්වාද කළ අතර ඉතා ඉක්මන් ෂින්ටෝ විවාහ උත්සවයක් සංවිධානය කරන ලදී.

“නමුත් අපි කොහේ කියලා යන්නද?” හිරෝටෝ ඇසීය. "අපේ මේ රටේ දැන් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා මට පැහැදිලි අදහසක් නැහැ. නමුත් මම හිතන්නේ දකුණ ආරක්ෂිතයි - එයාලා බෝම්බ දාලා සමතලා කරන්න හිතන් ඉන්න ටෝකියෝවෙන් ඈත ඕනෑම තැනකට, ඒ ගොල්ලෝ මිනිස්සු ඉද්දීම එහෙම කරයි වගේ.” බියෙන් තැතිගත් තම තරුණ පෙම්වතියගේ විශ්වාසය ඇති කිරීම සඳහා හිරෝටෝ තම තේ කෝප්පය පානය කළේ තම නොබෙදුණු සැලකිල්ල දැනට ඇති ප්‍රශ්නයට ලබා දෙන බවක් මවා පාමිනි. කෙසේ වෙතත්, ඔහුට කිසිදු හෝඩුවාවක් හෝ පැහැදිලි පිළිතුරක් නොතිබුණි. ඔහුට දැකිය හැකි වූයේ එක් විකල්පයක් පමණි.

“මගේ තාත්තාටයි අම්මටයි දකුණේ සුවපහසු ගොවිපලක් තියනවා”, ඔහු හිතා බලා පැවසීය. “අපිට එහෙට යන්න පුළුවන්… එයාලා ඒ පැත්තේ යුද්ධය කරනවා දැකලා නැහැ.”

"නියමයි නේ!" සුසුමේ ඔහු දෙස ගෞරවයෙන් සහ ප්‍රීතියෙන් බලමින් ප්‍රශංසා කළේය. “ඒක කොහේද, අනේ අපිට කියන්න?”

“හොඳයි, දුම්රිය ධාවනය වෙනවා නම් ඒක පැය දොළහක් විතර දුරින්…” ඔහු පැවසුවේ සිනහ සෙමින්, තම මනාලිය වීමට සිටින කෙනාව විහිළුවට ලක් කරමිනි. “අපිට මෝටර් රථයක් සහ පෙට්‍රල් තියෙනවා නම් ඒක පැය නවයක් පමණ දුරින් තියෙන්නේ, ඒත් ඒ කිසි දෙයක් අපිට තවදුරටත් නැහැනේ...ඉතින් ඔයාට යන්නම ඕනේ නම් එහෙට ඇවිදගෙන යන්න දවස් දොළහක් හරි දහහතරක් හරි ගත වෙයි. ඔයාට තවමත් එහෙ යන්න ඕනෙද?”

"ඔයා මාත් එක්ක ඉන්නවා නම්, මගේ ආදරය, මාසයක් ගියත් මට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඇත්තටම ඒක කොහේද?"

“හිරෝෂිමා ඉඳන් සැතපුම් දහයක් උතුරට. ඒක ලස්සනයි ඒ වගේම හරිම නිහඬයි!” ඔහු පිළිතුරු දුනි. “අපිට එහෙ ආරක්ෂිතව ඉන්න පුළුවන්, අපි එයාලා එක්ක ඉන්න එක ගැන මගේ දෙමාපියන් සතුටු වෙයි. මගේ අනාගත මව සහ මාමණ්ඩිය, ඔයාලත් අපිත් එක්ක එනවාද?”

මහල්ලා තම බිරිඳ දෙස බැලීය.

“නෑ පුතේ. ඔයා අපේ දුවව බලාගන්න, දරුවන් ගොඩක් හදා ගන්න. අපේ ඉරණම, හොඳ හෝ නරක වේවා, පවතින්නේ පාලක අධිරාජ්‍යයා සහ ඔහුගේ අගනුවර මතයි. අපි මෙහි නැවතිලා ඉන්නවා. කොහොම වුනත්, අපට හිරෝෂිමා වලට ඇවිදගෙන යන්න ඕනේ වුනත් අපට යන්න බැහැ, ඒක අපි දෙන්නට ඉතා දුෂ්කර ගමනක් නිසා.”

“යුද්ධය ඉවර වෙලා දුම්රිය ආයෙත් ධාවනය වෙන්න පටන් ගත්තට පස්සේ අපි ඔයාව බලන්න එන්නම්”, සුසුමේගේ මව ඇයව සැනසීමේ අදිටනින් පැවසුවාය.

ඔවුන් ඊළඟ දින හතරේ වැඩ කළ අතර, පසුව ඔවුන් අසනීප බව පවසා ලෙඩ නිවාඩු ගත්තේ තවත් මාසයක වැටුප ඔවුන් දෙදෙනාටම ලබා ගත හැකි වන අයුරිනි. එම නිවාඩු දවස් හිරෝටෝගේ අනවශ්‍ය දේ විකුණා දැමීමටත්, දෙදෙනා විවාහ වී සුසුමේගේ පවුලේ අයගෙන් සමුගැනීමටත් ඔවුන් යෙදවූහ. ඉන්පසු, ගොවීන් ලෙස තමන්ටත් වඩා විශාල ඇඳුම් වලින් සැරසී, අවුල්වූ කෙස් කළඹීන් යුතුව සහ අවශ්‍ය වුවහොත් ඇඳ ගැනීමට ගත් අතිරේක ඇඳුම් අතර ආහාර අඩංගු පැකට් කිහිපයක් සඟවාගෙන, ජුලි 27 වන සිකුරාදා උදෑසනින්, නිහඬ සාමකාමී ජීවිතයක් සඳහා දකුණට යන සරණාගතයින් සමග ඔවුහු පිටත්ව ගියහ.

පාරේ ගතකල ජීවිතය දුෂ්කර වූ අතර, ඔවුන්ගේ මුදල් ඔවුන් සන්තකයේ සඟවා තබාගෙනද, ඔවුන්ගේ ආහාර බෑග්වල සඟවා තබා තිබුනද, අනෙක් බොහෝ අයට එවැනි කිසි දෙයක් නොතිබිණි. කුසගින්නෙන් පෙළෙන දරුවන්ට ආහාර දීම ප්‍රතික්ෂේප කරමින්, අන් අයගෙන් ඉවත්ව වාඩිවී සිටීම ඔවුන්ට මහත් වේදනාවක් ගෙන දුන්නත්, ඔවුන්ට ඒ ගැන කිසිවක් කල නොහැකි වුයේ ඔවුන්ගේ ආහාර අන් අයට දුනහොත් ඔවුන්ටද වැඩි දිනක් නොගොස් ආහාර සිඟා කෑමට සිදුවන බව ඔවුනට වැටහුණු නිසාය. මඟ දිගේ කඩ සාප්පු තිබුනේ නම් තත්වය එතරම් නරක නොවනු ඇත, නමුත් එම දුක්ඛිත හා දූවිලි සහිත පාර දිගේ මිනිසුන් ගමන් කිරීම බොහෝ කාලයක් තිස්සේ පැවති නිසා කිසිවක් ඉතිරි නොවූ අතර ආහාර ඒ වන විටත් හිඟ වූයේ අවහිර කිරීම් සහ බෝම්බ හෙලීම නිසා ය. ඇසට පෙනෙන තාක් දුරට දැකගත හැකි වූයේ අතහැර දැමූ ගොවිපලවල් සහ විනාශ වූ කෙත්වතුය. පශු සම්පත් නොතිබුණි, සතුන්ව ඒ වන විටත් ආහාරයට ගෙන හෝ විකුණා හෝ අනාගතයේ අවශ්‍ය වුවහොත් ඇපකරයක් ලෙස තැබීමට හෝ සඟවා තිබුණි. වාතයේ තිබූ පිරිසිදු බව හැරුනුකොට ගම්බද ප්‍රදේශ හරහා ගමන් කිරීම සැම ආකාරයකින්ම, ටෝකියෝ හි රැඳී සිටීම තරම්ම මානසික අවපීඩනයක් ගෙනදුනි. වාතය පිරිසිදු විය, නමුත් මිහිරි නොවීය.

දවසේ ප්‍රීතිමත්ම මොහොතක් වූයේ පැය විසි හතරක කාලයක් ගත කරා යන හැඟීමයි. කනගාටුදායක අවස්ථාවන් වූයේ ඔවුන් ගමන් ගත් මාර්ගයේ මියගිය අයගේ මළ සිරුරු මඟහැර ඇවිදීමයි. බොහෝ විට මියගිය පුද්ගලයාගේ දේපළ සඳහා රණ්ඩු දබර පවා ඇති වූ අතර, ඔහුගේ හෝ ඇයගේ ඇඳුම් පවා රැගෙන ශරීරය නිරුවතින් පාරේ කුණු වීමට ඉඩ හරින ලදී, නැතහොත් එයින් දැනටමත් නරක සුවඳක් දැනේ නම් සිරුර ඒ අසල ඇති කානුවකට දමනු ලැබිණි. එය ගිම්හාන කාලය වූ අතර උණුසුම දැඩිවූ බැවින් මැස්සන්ට සහ ඉහඳ පනුවන්ට ඔවුන්ගේ බිහිසුණු වැඩ ආරම්භ කිරීමට වැඩි කාලයක් ගත නොවීය. රාත්‍රිය සිසිල් වූ නිසා ඔවුන් සියල්ලෝ වැඩිපුරම ඇවිද ගියේ රාත්‍රියේ වන අතර කළුවර මාවත්හි අතරමග වැටී තිබූ, කුණුවූ මළ සිරුරු මගින් පැටලී ඇද වැටීමේ අවදානමද ඉන් වැඩි විය. මළ සිරුරු සෑම තැනකම පාහේ වැටී තිබූ නිසා එයින් නැගෙන දුර්ඝන්ධයද තව දුරටත් අනතුරු ඇඟවීමක් නොවීය. ඔවුන් ඇවිද ගිය එම කාලය, ඔවුන් දෙදෙනා තම ජීවිතයේ එක්ව ගත කිරීමට යන කාලයෙන් සති දෙකකටත් වඩා අඩු කාලයක් වන බව නිතර මතක් කර ගැනීමෙන් ඔවුහු තම ධෛර්යය වැඩිකර ගත්හ.

දින එකොළහක් පාරේ ගමන් කිරීමෙන් පසු ඔවුන් සිටියේ හිරෝෂිමා වලට ආසන්නවය.

“එන්න, සුසුමේ, දැන් වෙලාව අටයි, අපේ ඉතුරු වෙලා තියන අන්තිම කෑම ටික කමු. අපිට තවත් පැය අටකින් ගොවිපොළේ ඉන්න පුළුවන්. අපිට දුරකථනයක් තිබුණා නම්, අපිට අම්මාට කියන්න තිබුනා අපිව තේ වෙලාවට බලාපොරොත්තු වෙන්න කියලා. ඒක එයාගේ ජීවිතයේ ලොකුම කම්පනය වෙයි! එන්න, අපිට මෙතන ඉඳලා නගරය බලන්න පුලුවන්ද කියලා බලමු.”

පාර අයිනේ පිහිටා තිබූ කුඩා කන්දකට නැගීමට ඔහු ඇයට උදව් කළ අතර ඔවුහු එහි වාඩි වූහ. ඇය වටපිට බැලූවේ ඇගේ ඇඳුම් අතර සඟවා තිබූ කුඩා පාර්සලයක් එලියට ගැනීමට පෙර කිසිවෙකු බලා සිටිනවාද යන්න දැන ගැනීමටයි.

“අපිට ඊයේ බත් ටිකක් තියෙනවා, මගේ ආදරය, ඒ වගේම අන්තිම මාළු ටින් එක. ඔයාට ඔතන ඉඳන් මොනාවත් පේනවාද?”

“නෑ, ඇත්තටම නෑ… මට විශ්වාස නෑ, උදේ මීදුම, ඔයා දන්නවා නේ? එන්න, මෙතෙන්ට එන්න, සූර්යයා ඒක උණුසුම් කලොත්, ඒක ඉක්මනින් ඉවත් වෙලා යයි, එතකොට අපිට යාන්තමට හරි පෙනෙයි.”

සුසුමේ පස් කන්ද මුදුනේ දකුණු පැත්තට ගොස් වාඩි විය. හිරෝටෝ ඔහුගේ ඔරලෝසුව දෙස බැලීය.

“හ්ම්, අටයි දහයයි, තාත්තා දැන් අත් උදවු දෙන අයට කෑගහනවා ඇති එයාලා හරිම කම්මැලියි කියලා. අම්මා මේ වෙලාවට කෑම උය උය, පිරිසිඳු කර කර සේවිකාවට බණිනවා ඇති එයාගේ අපිළිවෙල ගැන. සමහර දේවල් කිසි වෙලාවක වෙනස් වෙන්නේ නැහැ, එහෙම නේද, වස්තුව, සියලු කරදර මැද්දේ උනත්, ජීවිතය තවමත් පැවතෙනවා නේද?”

ඇය බත් වලට උඩින් මාළු තීබු බඳුන හිස් කර ඔවුන් දෙදෙනා අතරින් තණකොළ මත ඇතිරූ රෙද්දක් මත තැබුවාය.

“කන්න” ඇය කීවාය. හිරෝටෝ මාළු හා බත් වලින් කුඩා කොටසක් ඔහුගේ චොප්ස්ටික්ස් මගින් ගනිද්දී ඔහුගේ බිරිඳ “ඒක දිහා බලන්නකෝ, හිරෝටෝ, ඒක මොකක් වෙන්න පුලුවන්ද? ඒක හරිම භයානකයි” යයි පැවසුවාය.

“මොකක් ගැනද ඔයා කියන්නේ, මගේ ආදරය?” ඔහු උඩ බලමින් ඇහුවේය. හත්තක හැඩය ගත් විශාල වලාකුළක්, ක්‍රම ක්‍රමයෙන් විශාල වන කන්දක් මෙන් ඔවුන් ඉදිරියේ තිබෙනු දුටු හිරෝටෝ ගේ මුඛය ඉබේටම මෙන් විවෘත විය. ඔවුන්ට සහජයෙන්ම ලැබී තිබුණු බිය නැමති හැඟීම නිසා එකිනෙකා වැළඳ ගත් අතර එමගින් ක්ෂනිකව පැමිණි දැඩි විදුලි ආලෝකයෙන් ඔවුන් බේරුණු නමුදු දෙවෙනුව පැමිණි සුළඟින් බේරීමට ඔවුනට නොහැකි විය. පළමුවෙන්ම, ආහාරය දමා තිබූ තාවකාලික පිඟාන ආහාරද සමග ගසාගෙන ගිය අතර, දෙවෙනුව එහි බලයෙන් නව යුවළ පස් කන්දෙහි උතුරු බෑවුමෙන් පසුපසට පෙරළී ගියෝය. ඔවුන් පාර අසල තිබූ වාරිමාර්ග අගලේ ගඳ ගසන ජලය මතට පෙරළී ගිය නමුත් එයින් ඔවුන්ගේ ජීවිත බේරුනි.

ඔවුන් පෙරළෙමින් බිම ඇද වැටෙද්දී ඔවුන් සමග සිටි සෙසු සංචාරකයින්ද සුළගින් උඩට විසිවෙමින් බිමට වැටෙන අයුරු යාන්තමින් දුටුවෝය. ඔවුන් දෙදෙනා ඉතා වාසනාවන්ත විය, කැඩුණු ලී කැබලි, උණ බම්බු සහ කුඩා පාෂාණ කැබලි තවමත් සිටගෙන සිටින අය මතට වෙඩි වරුසාවන් ලෙස පැමිණුනි. ඔවුන් වැඩි වේලාවක් ඔවුන්ගේ දෙපයින් නැගී නොසිටි අතර සුළඟ පවා, නිරයෙන් පලා යන බවක් පෙන්නුම් කරමින් උණුසුම්, දරුණු, ශක්තිමත් සහ කෝපයෙන් හමා ගියේය.

ස්වල්ප මොහොතකින් එය අවසන් විය... බියකරු නිශ්ශබ්දතාවයක් මොහොතකට, එනම්, ඔබේ හිස ඔසවා සිදුවූයේ කුමක්දැයි කල්පනා කර විනාශය දෙස බැලීමට තරම් සෑහෙන මොහොතකට, රජ විය. එවිට සුළඟ, එය ගිය තැනින් ආපසු පැමිණියේය, නමුත් ගිය සියල්ල ආපසු පැමිණියේ නැත… එය අඩු දරුණු කමකින්, අඩු උණුසුම් බවකින් හා අඩු කෝපයකින් යුතු විය, එය සිදු කළ විනාශය ගැන ලැජ්ජාවට පත් වූවාක් මෙන් අඩු ශක්තියකින් හැමීය.

ඔවුන්ගේ කන්වල දෝංකාරය පහව යත්ම, පාරේ වැතිර සිටින හෝ ඉලක්කයක් රහිතව ඇවිදින මිනිසුන්ගේ වේදනාව හා බියජනක කෑගැසීම් ඔවුන්ට ඇසුණි. සමහරු නිරුවතින් සිටි අතර තවත් සමහරු ඇඳ සිටියේ වැරහැලි පමණි. ක්‍රීඩා මණ්ඩපයක ක්‍රීඩා කර සිටින ස්පාඤ්ඤ හරකුන්ගේ මෙන් බොහෝ දෙනෙකුගේ ශරීරයන් තුලින් පොලු හෝ කෝටු කැබලි එලියට පැමිණ තිබුන අතර ඒවායින් සිදුවී තිබූ තුවාලද මහත් විය. තවත් සමහරු අන්ධ වූහ... ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අන්ධ බවට පත්වූහ. ඔවුන් එකිනෙකා හා ගැටෙමින්, පාර දිගේ තිබූ වළවල් වල වැටෙමින්, පණ නැති හෝ නැගිටින්නට අසීරු වූ මිනිස් සිරුරු මතින් පැටලෙමින් ගමන් කලෝය.

සුසුමේ දෑස් විවර කර කෑගැසුවාය. කිසියම් ස්ථාවර බවක් ලබා ගැනීමට ඇය මෙතෙක් එල්ලී සිටි දෙයින් ඇය තම මාපටැඟිල්ල ඉවත් කර ගත්තාය - ඒ දින ගණනකට පෙර මියගියාවූ මළ සිරුරක විවෘතවූ මුඛය විය. ඔවුන් වැටුණු අගලේ මෙතෙක් වැටී තිබූ මළ සිරුරු අනාවරණය වූයේ එහි ජලය ගසාගෙන ගොස් හෝ වාෂ්ප වී හෝ ගොස් තිබූ නිසාය. ඇයගේ අනෙක් අත හිරෝටෝ වටා තිබූ අතර, ඔහු ඇයව ඔහුගේ දෑතින් ඔසවා පස් කන්ද මුදුනට ගෙන ගියේය. මුලදී ඉතා පරිස්සම් සහිතව ගෙනගියත්, ඒ වනවිට කුණාටුව පහව ගොස් ඇති බවක් පෙනෙන්නට තිබූ නිසා පසුව ඉක්මනිනුත් ගෙන ගියේය. ඇය කම්පනයට පත්වී වෙව්ලන්නට වූවාය. නමුත් ඇය සමඟ කතා කිරීම හැර ඔහුට කළ හැකි වෙන කිසිවක් නොතිබුණි.

“මො… මො… මොන වගේ යක්ෂයෙක්ද, හිරෝටෝ ඒ?” ඇය ගොතගසමින්, තම දෑස් පීරිසි මෙන් විශාල කරගනිමින් ඇසුවාය.

“මම දන්නේ නැහැ, මගේ වස්තුව. සමහර විට ආයුධ කම්හලක් පුපුරලා යන්න ඇති - කඩාකප්පල් කිරීමක්, බෝම්බ හෙලීමක් හරි හදිසි අනතුරක් හරි. දැන් ඒ ගැන කරදර වෙන්න එපා. වතුර ටිකක් බොන්න”. ඔහු තම ඇඳුමේ ඇතුළත තිබූ ෆ්ලාස්කය ගෙන ඇගේ තොල් මත තබාගෙන සිටියේ, ඇය තණකොළ මත ඇගේ මාපටැඟිල්ලෙන් ‍මනඃකල්පිත කුණු මස් කැබලි පිරිසිදු කරමින් සිටියදීය.

“මගේ අත මොකකද තිබුනේ කියලා ඔයා දැක්කාද?”

“මගේ ආදරණීය කෙල්ලේ, ඒ ගැන හිතන්න උත්සාහ කරන්න එපා”, ඔහු ඇගේ මාපටැඟිල්ලට වතුර බින්දු කිහිපයක් දමා එය වියළීම සඳහා ඔහුගේ ඇඳුම්වල ඇතිල්ලුවේය. “අපි ටිකක් විවේක ගමු, එතකොට අපිට මේ දුක්ඛිත, භයානක මිනිසුන්ගෙන් අයින් වෙලා අපේ ගමන යන්න පුළුවන්.”

ඇත්තෙන්ම, නැගීට සිටිය හැකි අය ඒ වන විටත් ඔවුන් දෙදෙනා සිටි දිශාවට හැර අනෙක් සෑම දිශාවකටම ඉබාගාතේ ඇවිදිමින් සිටි අතර, තවත් සමහරු බිම ඇද වැටෙන තුරු ඇවිද ළදරුවන් මෙන් හඬමින් සිටියහ.

පැයකට පමණ පසු, දකුණු දෙසට ගමන් කරන මගීන්ට මාර්ගය පැහැදිලිව පෙනෙන්නට ගත් අතර දකුණේ සිට ගමනාගමනය වැඩි වීමට පටන් ගෙන තිබුණි. ඇවිදින්නවුන් බොහෝ නොවුනත්, ඔවුන් සියලු දෙනා ඉතා කණගාටුදායක තත්වයේ සිටි අතර, කාර් සහ බස් රථ කිහිපයක්ද මාර්ගයේ ගමන් කෙරිණි. ඉන් සමහරක් තවමත් මාර්ගයේ වැටී සිටින මිනිසුන්, ඔවුන් ජීවත්ව හෝ මියගොස් හෝ සිටියද, වළක්වා ගනිමින් ගමන් කිරීමට උත්සාහ කරමින් සිටියහ.

“මෙතන ඉන්න, සුසුමේ, මම මොකද උනේ කියලා හොයාගෙන එන්නම්. මේක ගන්න”, ඔහු පැවසුවේ තම නිවසේ ආරක්ෂාව සඳහා තිබූ වර්ග 14, වෙඩි 8 කින් යුත් ‘නම්බු’ නමැති අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලය ඇයට භාරදෙමිනි. “මම ඔයාට පේන මානයේ තමයි ඉන්නේ, මට ඕනේ වෙන්නේ මෝටර් රථයක් නවත්තලා අර වලාකුළ මොකක්ද කියලා අහන්නයි.”

“අනේ කරුණාකරලා, ගොඩක් වෙලා ගන්න එපා, මම මේ තැනට කැමති නැහැ. කමී දෙවඟන මෙහෙ ඉන්නේ හරි තරහෙන්, ඒ වගේම හරිම බලවත්. ඉක්මන් කරන්න.”

"මම එනවා ඉක්මනටම, මගේ ආදරය, ඒ ගැන කරදර වෙන්න එපා, නමුත් මට දැනගන්න ඕනේ... මගේ දෙමව්පියන්... ඔයාට තේරෙනවා නේද?"

ඇය එය තේරුම් ගිය බව අඟවා, ඔහුට ඇයව හැරදමා ස්වල්ප මොහොතකට ඉවත්ව යා යුතු බව පිළිගත්තාය.

පාරේ වැටී තිබුණු මළ සිරුරු නිසා උතුරට යන වාහන වේගයෙන් ගමන් නොකළ අතර සමහර ඒවා යාර කිහිපයෙන් කිහිපයට වැටී තිබූ මොළයන් සහ බඩවැල් කොටස් නිසා ඇතිවූ තදබදයටද ලක් විය. කෙසේ වෙතත්, ඔහු සමඟ කතා කිරීම සඳහා නතර කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීය. අවසානයේදී, හමුදා නිලධාරියෙක් වාහනය නවතා, ඔහුගේ ජනේලය පහත් කොට, තම තුවක්කුව හිරෝටෝ වෙත එල්ල කළේය.

ඔහු භීතියට පත් තරුණයෙක් විය, නමුත් ඔහුගෙන් විද්‍යාමාන වූයේ ඔහු මවාපාමින් සිටි නිලධාරියා නොවේ. ඔහු සතුව නිලධාරියෙකුගේ පිස්තෝලයක්, එනම් හීරෝටෝ සතුව තිබූ නම්බු වර්ගයේ පිස්තෝලයක්, සහ ඔහුගේ හිස මත ලුතිනන් වරයෙකුගේ තොප්පියක් තිබූ නමුදු ඔහු ඇඳ සිටියේ සාමාන්‍ය සොල්දාදුවෙකුගේ නිල ඇඳුමකි.

“කිසිම දේකට උත්සාහ කරන්න එපා”, ඔහු නියෝග කළේය, “මම මේක පාවිච්චි කරන්න බය නැහැ, ඔයා දන්නවාද?”

“ඔව්, මට විශ්වාසයි ඔයා බය නැහැ කියලා. මම තවත් ළං වෙන්නේ නැහැ. මම නිරායුධවයි ඉන්නේ. මට දැනගන්න ඕනෙ මොකක්ද උනේ කියලා. මගේ දෙමාපියන් පදිංචි වෙලා ඉන්නේ එහේ…”

“එයාලා තවදුරටත් එහේ ඉන්නවාද කියලා මට සැකයි, සර්. කිසිම කෙනෙකු එහෙ ජීවතුන් අතර නැහැ… මුළු හිරෝෂිමා වම අතුරුදහන් වෙලා… සැතපුම් පිට සැතපුම් ගණන් කිසිම දෙයක් නැහැ… කිසිම දෙයක් නැහැ, අළු සහ දුම හා මළ සිරුරු විතරයි… මෙහෙ තියනවාටත් වඩා!” ඔහුගේ පිස්තෝලය වනමින් පාරේ තිබු මළමිනී පෙන්වා ඔහු පැවසීය. “එහෙට සාපේක්ෂව මෙතන දරුවන්ගේ විනෝද චාරිකාවක් ගිය තැනක් වගෙයි නේ.”

“මොකක්ද වුනේ? ආයුධ කම්හලක් හරි වෙඩි උණ්ඩ ගබඩාවක් හරි පුපුරලා ගියාද?”

“මම දන්නේ නැහැ, පුපුරලා යන බෝම්බයකින් ඒ වගේ වලාකුළක් හැදෙයි කියලා හරි ගොඩාක් මිනිස්සු මැරෙයි කියලා හරි මම කවදාවත් දැකලා නැහැ. ඒක මොන වගේ දෙයකින් උනත් ඒක හරිම කුරිරුයි, ඒ වගේම ඒක හදපු පුද්ගලයාත් එහෙමයි.”

“කිසීම දෙයක් ඉතුරු වෙලා නැහැ කියලා ඔයාට විශ්වාසද?”

“නගරයෙන් පිට සැතපුම් විස්සක් විතර යනකම් කිසිම දෙයක් නැහැ, සර්, දැන් මම යන්න ඕනේ. වාසනාවක් වේවා, සර්!”

“ඉන්න ... ඉන්න, මගේ බිරිඳටයි මටයි ඔයත් එක්ක එන්න පුළුවන්ද? අපි ජීවත් වන්නේ ටෝකියෝවල… අපි මගේ බිරිඳගේ දෙමව්පියන්ගේ නිවසට ගියාම ඔයාට මුදල් ලබා දෙන්න පුළුවන්… අපි මෙහෙට ආවේ හිරෝෂිමා නගරයෙන් පිට ජීවත් වෙන…ජීවත්වුණු මගේම දෙමව්පියන් බලන්නයි.” ඔහු තම බිරිඳ දෙස බලා ඇයට එන ලෙසට සංඥා කල අතර ඇය කන්ද දිගේ රූටා පහලට පැමිණියාය. “දැන් ඉස්සරහට යන එකේ වැඩි තේරුමක් නම් නැහැ, අපි දැනට දවස් දහයක් හරි එකොළහක් හරි ඇවිදිනවා. මෙන්න මගේ නෝනා, අපිට ඔයත් එක්ක ටික දුරක් හරි යන්න පුළුවන් නම් ඒක එයාට ලොකු සැනසිල්ලක් වෙයි.”

“හරි, එහෙනම් නගින්න, ඒ උනත් ඉක්මන් කරන්න, මේ හැම දෙයක්ම මට පුළුවන් ඉක්මනින් පුළුවන් තරම් මගේ පිටි පස්සෙන් තියන්න ඕනේ. වාහනයේ තෙල් ටැංකිය සම්පූර්ණයෙන් පිරිලා තියෙන්නේ. ඒ නිසා එයා අපිව ගොඩාක් දුරකට අරගෙන යයි, නමුත් මම යන්නේ කොහෙද කියලා මට තාමත් විශ්වාස නැහැ. නමුත් මේ පිස්සු තැනින් පුළුවන් තරම් ඈතට කියලා නම් දන්නවා.”

නාගසාකි වෙත තවත් විශාල පරමාණු බෝම්බයක් දමා ඇති බව නිවේදනය කළ දිනදී, එනම් 9 වන දින දී ඔවුන් ටෝකියෝවට පැමිණියෝය. සතියක් ඇතුළත හිරෝහිතෝ අධිරාජ්‍යයා යටත් වූ අතර ජපානයේ දූෂණය කිරීම්, කොල්ලකෑම් සහ පැහැරගැනීම් ඉතා උනන්දුවෙන් ආරම්භ විය.

හිරෝටෝගේ නිවාසය නොමැති වූ නිසාත්, නිවාසයක් නොමැති පවුලක් එම ස්ථානයේ බිම පදිංචිවී සිටි නිසාත් මිසුකිවරු සුසුමේගේ දෙමව්පියන් සමඟ පදිංචියට ගියහ. ඔහුගේ හිසට සැබෑ වහලක් තිබුන බැවින්, තම නිවස තිබූ ස්ථානයේ පදිංචිව සිටි පවුල ඉවත් කිරීමට ඔහුට හදවත නම්මවා ගැනීම අපහසු විය. ඉන්පසු ඔවුන් 13 වන සඳුදා නැවත සේවයට පැමිණියේ කිසිවක් සිදු නොවූ ලෙසිනි. නමුත් ඔවුන් එසේ කළේ ඔවුන්ගේ කැළඹිලි සහිත ජීවිත සඳහා අවශ්‍ය මුදල් සහ ස්ථාවරත්වය එයින් ලැබුණු බැවිනි. කෙසේ වෙතත්, සත්තකින්ම, මුලික යමක් වෙනස් වී තිබුණි.

ඔවුන් ඊනියා දෙවියන් ලෙස සැලකූ තම රජු කෙරෙහි මෙතරම් අන්ධ විශ්වාසයක් තැබීම කෙතරම් මෝඩකමක් දැයි මිසුකිවරුන්ට විශ්වාස කළ නොහැකි වූ අතර ඔවුන්ට නැවත කිසි දිනෙක යුද්ධයක් දැකීමට අවශ්‍ය නොවීය. ජපානයේ කොමියුනිස්ට් පක්ෂය වෙතට ඔවුන් ඇදී ගියේ, 'ලෝක කම්කරුවනී එක්වන්න!' වැනි, ඔවුන් පාවිච්චි කල පාඨයන්හි තිබූ ආකර්ශනීය බව නිසාත් හිරෝහිතෝගේ මෝඩකම ඔවුන් කෙරෙහි ඇති කළ බලාපොරොත්තු සුන්වීම සහ මෝඩ ඇමරිකානු සොල්දාදුවන් සැමදා වාගේ සිදුකල කුරිරුකම් නිසාය.

ජපානයේ යුද්ධය අවසන් වී වසර හතරකට පසු, එනම් 1949 අගෝස්තු 14 වන දින සුසුමේ ගැහැණු ළමයෙකු බිහි කළාය. ඔවුන් ඇයට යූයි ලෙස නම් තැබුවෝය. ඔවුන් ඇයව වෙනත් ජපන් ගැහැනු ළමයින් මෙන් හදා වඩා ගත් අතර ඇගේ ආච්චිලා සීයලා ඇයට ෂින්ටෝ දහම ඉගැන්වූ නමුත් ඇගේ දෙමව්පියන් ඇයට කොමියුනිස්ට් ආචාර ධර්ම ඉගැන්වූහ. එලෙසම ඔවුන් ඇයට පැහැදිලි කලේ, සිදුවීම් පිළිබඳ පුවත්පත්හි තිබූ නිල පැහැදිලි කිරීම කිසි විටෙකත් පැහැදිලි එකම දෙය නොවන බවත් බොහෝ විට නිවැරදි නොවන බවත්ය.

කෙසේ වෙතත්, ඔවුන් සිය ජීවිතයේ ‘සාම්ප්‍රදායික නොවන’ ජපන් පැත්ත රහසිගතව තබාගත්තේ මිසුකිවරුන් ඔවුන්ගේ ප්‍රාදේශීය කොමියුනිස්ට් පක්ෂ නායකයින් හැර වෙන කිසිවෙකු විශ්වාස කිරීමට මැලි වූ බැවිනි. මැක්ආතර්ගේ රුචි අරුචියන් පරිදි මිසුකි පවුලේ වාසනාව වෙනස් වූ නිසා යුද්ධයෙන් පසු මුල් අවදියේදී ජීවිතය බෙහෙවින් වෙනස් විය, නමුත් ජපානයේ කොමියුනිස්ට් පක්ෂය (සී.පී.ජේ.) රුසියානු මවගේ පරිත්‍යාග මගින් ඔවුන් රැකබලා ගත් අතර මිසුකිවරුද හොඳ පිළිගත හැකි රැකියාවල නිරත වූහ. ඇත්තෙන්ම ඔවුන් බොහෝ දුරට ඔවුන්ගේ සමකාලීනයන්ට වඩා හොඳ තත්වයක සිටියෝය.

ඔවුන් තම දේශපාලන උපකාර කරන්නාට ත්‍යාගයන් ලෙස කුඩා තොරතුරු සැපයූ අතර ඒවා සියල්ල මොස්කව් වෙතට යවන ලදි.

1967 දී යූයි ටෝකියෝ විශ්ව විද්‍යාලයට භාෂා - ඇයගේ ප්‍රියතම විෂයන් වූ ඉංග්‍රීසි, රුසියානු සහ චීන- හැදෑරීම සඳහා ඇතුළත්වූ අතර ඇගේ පියා විසින් අමාත්‍යාංශයේ රැකියාවක් සඳහා ඇගේ නම පොරොත්තු ලේඛනයට ඇතුලත් කරන ලදී. රැකියාව සඳහා අවශ්‍ය අල්ලස් දීමට තරම් මුදල් රැස් කිරීමට ඔවුන්ට වසර තුනක් තිබුණද ඔවුන් ඒ ගැන තැකීමක් කළේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ ඇයට රාජ්‍ය තාන්ත්‍රික සේවය සඳහා විභාගයට පෙනී සිටීමට විකල්පයක් ඇති විදේශ කටයුතු කාර්යාලයට යාමට හැකිවීම පමනකි.

යූයි, විශ්ව විද්‍යාලයේ අවසන් මහා විභාගය සමත් වුවහොත් ඇයගේ අනාගතය පිලිබඳ සහතිකයක් තිබිණි. ඇය කිසි විටෙකත් කිසිවෙකුට ඇගේ කොමියුනිස්ට් නැඹුරුව පිලිබඳ හෙළි නොකලාය. ඇගේ දෙමව්පියන් ඇයට ඔවුන්ගේම අවවාද දී තිබූ අතර, ඔවුන්ගේ උපාය මාර්ගයේ ඇති ඥානවන්තභාවය ඇය දැක තිබුනාය. එසේ වුවද, ඇය මහජනතාව සමග සමහර සී.පී.ජේ. රැස්වීම්වලට සහභාගී වූ අතර සමහර විට වේදිකාවේ සිටින නායකයින්ගෙන් ඔවුනට අපහසුතා ඇතිවන, කලින් තීරණය කළ ප්‍රශ්න ඇසීමෙන් යක්ෂයාගේ නීතිවේදියා චරිතයද රඟපෑවාය.

කෙසේ වෙතත්, සී.පී.ජේ. හි සමහර ඉහළ සාමාජිකයින් ඇය කවුදැයි දැන සිටි අතර ඇගේ දෙමාපියන් දිගටම ක්‍රියාශීලී සාමාජිකයින් වූ නමුත් රහසිගත කාර්යභාරයක් ඉටු කළහ. ඇයගේ වරප්‍රසාද ලත් ස්ථානය තිබියදීත්, යූයි සැබවින්ම ආශාවෙන් බලා සිටියේ ඇයට රැකියාවක් කළ හැකි, තම දෙමාපියන්ට අවශ්‍ය ඕනෑම ආකාරයකින් උදව් කිරීමට හොඳ මුදලක් උපයා ගැනීමට හැකි සහ ජපානයේ සම්ප්‍රදායන්ගෙන් හා පැරණි දේවලින් ගැලවීමට එයින් පිටතට යා හැකි දිනයක් පිළිබඳවයි. ඇය ගැළපෙන අදහස් ඇති නූතන කාන්තාවක් වූ අතර, ඒ නිසා ඇයට තම රට තුළ ජීවත්වීම මහත් අපහසුවක් ලෙස දැනුණි.

ඇයට තෝරා ගැනීමේ සැබෑ ආශාවක් නොතිබුණද එක්සත් රාජධානිය, කැනඩාව හෝ ඇමරිකා එක්සත් ජනපදය ආරම්භයක් සඳහා හොඳ තෝතැන්නක් වන බව වැටහුණි. ඇය හැදී වැඩුනු පරිසරය හා ඉගෙනගත් දර්ශනය නිසා ඇය එම රටවල සහ තම රටේ සිටි ධනවත් ප්‍රභූ පැලැන්තියට වෛර කළාය. එලෙසම කොමියුනිස්ට්වාදියෙකු ලෙස ඇය එම රටවල ජීවත් වූ සාමාන්‍ය කම්කරු පන්තියට දොස් නොකීවාය.

ඇයට එම ඉලක්කය සපුරා ගනිමින් ඇගේ දෙමාපියන්ට ගෞරව කරන්නේ කෙසේදැයි ඇය නොදැන සිටියද, මුදල් අමාත්‍යාංශයට බැඳී විදේශ කාර්යාලයට මාරු වී රාජ්‍ය තාන්ත්‍රික සේවයේ තනතුරක් සඳහා ඉල්ලුම් කිරීම ඇයට ඉදිරියට පැමිණීමට හැකි හොඳම මාර්ගය බවද තෙරුම් ගත්තාය. ඇයගේ අභිලාෂය සාක්ෂාත් කර ගැනීමට උදව් කිරීමට ඇගේ දෙමාපියන් සැමවිටම කැමැත්තෙන් සිටියහ.

යූයි තම ඔළුව නමා එක් වරකට එක් බාධකය බැගින් ජය ගැනීමට සිතූ නමුත් ඇය සතුටින් නොසිටියාය.

3 නටාල්යා පෙට්‍රොව්නා මිර්ස්කි

1941 සිට 1945 දක්වා වූ මහා දේශප්‍රේමී යුද්ධය අතරතුර, සෝවියට් රජයේ ප්‍රධාන පරමාර්ථය වූයේ තම බටහිර මායිම් මත පැමිණි ජර්මානු ආක්‍රමණය පලවා හැරීම වූ අතර පියොටර් ඉලිච් මිර්ස්කි මැන්චූරියාවේ ජපන් ජාතිකයින් සමඟ සටන් කරමින් සිටියේය. මෙම සටන අවසන් වූයේ 1945 සෝවියට්-ජපන් යුද්ධයේදී ජපාන හමුදා පරාජයට පත්වීමත් සමඟය. එය දෙවන ලෝක යුද්ධය ගෝලීය වශයෙන් අවසන් කිරීමට උපකාරී විය. ඔහුට ලැබුණු කෙටි විවේක කාලයේදී, සෑම වසරකට වරක් කරන්නා සේ, ඔහු එවකට කසක් සෝවියට් සමාජවාදී ජනරජයේ අගනුවර වූ අල්මා අටා වෙත ගියේ ඔහුගේ ළමා කාලයේ සිට පෙම්වතිය වූ මරීනා ඇන්ටොනෝවා බැලීමටය. ආයුධ කර්මාන්ත ශාලාවක වැඩ කිරීම සඳහා මරීනා හට යුද්ධය පවතී කාලසීමාව තුලදී, ඇය දේශීය විශ්ව විද්‍යාලය තුල හැදෑරු ජපන් භාෂාව පිළිබඳ උපාධිය සීමා කිරීමට සිදු වූ අතර ඇය දේශපාලන අධ්‍යාපනය පිළිබඳව කම්කරුවන්ට, ප්‍රදේශවාසීන්ට සහ සංක්‍රමණිකයින්ට දේශීය කර්මාන්තශාලා තුලද ළමයින්ට ඔවුන්ගේ පාසල් තුලද දේශන පවත්වමින් සිටියාය.

අල්මා අටා පළාතට යුධ හානියක් සිදු නොවුනද, යුද්ධය පැවති කාලය ඉතා දුෂ්කර වූ අතර ප්‍රදේශයේ ගොවීන් බොහෝ සංඛ්‍යාවක් සිටියද ආහාර හිඟ විය. ජනගහනයේ විශාල වැඩිවීමක් හේතුවෙන් එම ගැටලු පැන නැගුනි. බටහිර දිග සෝවියට් සංගමයේ සියලුම යුරෝපීය කාර්මික මධ්‍යස්ථාන අල්ලා ගන්නා බවට නාසි හමුදා තර්ජනය කළ පසු බොහෝ යුරෝපීය සෝවියට් පුරවැසියන් සහ රුසියාවේ කර්මාන්ත බොහොමයක් යුද්ධ කාලයේදී කසකස්තානය වෙත ගෙන යන ලදී. ක්‍රිමියානු ප්‍රදේශයේ ටාටාර් වරු, උතුරු කොකේසස් කලාපයේ ජර්මානුවන් සහ මුස්ලිම්වරුන් විශාල කණ්ඩායම් කසකස්තානයට පිටුවහල් කරනු ලැබුවේ, ඔවුන් සතුරා සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයි යන බිය නිසාත්, එලෙසම 1939 දී සෝවියට් සංගමය විසින් ආක්‍රමණය කළ නැගෙනහිර පෝලන්තයෙන් පෝලන්ත වැසියන් මිලියනයක් පමණද, කසකස්තානයට පිටුවහල් කරන ලදි. එලෙස පිටුවහල් කලවුන්ගෙන් අඩක් පමණ එහිදී මියගිය බව ගණන් බලා තිබේ. කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් ඔවුන්ගේ සොච්චම් ආහාර සලාක සාගින්නෙන් පෙළෙන ආගන්තුකයන් සමඟ බෙදාගැනීම නිසා ප්‍රසිද්ධියට පත් වූ අතර නගරයේ පදිංචිකරුවන් 52,000 කට වැඩි පිරිසකට ‘ඔබේ ස්වයං ප්‍රතික්ෂේප කිරීමේ ශ්‍රමයට කෘතඥතාවය’ යන පදවි නාමය ලැබුණි. එපමණක් නොව, පදිංචිකරුවන් හතළිස් අට දෙනෙකුට ‘සෝවියට් සංගමයේ වීරයා’ යන පදවි නාමය ප්‍රදානය කරන ලදී.

1945 දී ඔහු සක්‍රීය හමුදා සේවයෙන් ඉවත්ව, නැවත දේශීය ඉංජිනේරු සමාගමක තමා කරමින් සිටි රැකියාවට පියොටර් ගිය නමුත්, රාත්‍රී පාසැල් වලට සහභාගී වී තාක්ෂණික චිත්‍ර ඇඳීම විෂය ඉගෙනීමෙන් ඒ තුළින් තමාට වඩා හොඳ අනාගතයක් සාදා ගැනීමට හැකිවන බවට අදහසක් තිබුණි. ඔහුට අවශ්‍ය වූයේ කුඩා කාර්මීක උපකරණ සෑදීමට වඩා ඒවා නිර්මාණය කිරීමට ය. මේ අතර, මරීනා නැවත විශ්ව විද්‍යාලයට ගිය අතර ඔවුන් දෙදෙනාම නැවත ඔවුන්ගේ ආශ්‍රය ආරම්භ කළහ. අහස තරු වලින් බරවී තිබූ එක් සැන්දෑවක, අවසාන විභාගය සමත් වූ පසු ඔවුන් දෙදෙනා විවාහ වීමට එකිනෙකාට පොරොන්දු දුන්හ.

කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකාවක් සහ දේශපාලන ක්‍රියාකාරිනියක ලෙස මරීනා බොහෝ විට පියොටර්ව 'තමාව දියුණු කර ගැනීමට' තිබූ ධනපති පන්තියට ලැදි ආශාව නිසා ඔහුව යම් පමණකට නියාමනය කළාය. මක්නිසාද යත්, නිර්මාණකරණය නිෂ්පාදනයට වඩා උසස් නිසා, එමගින් පන්ති භේද ඇති වීමේ සහ සමාජයේ බෙදීම් ඇති වීමේ සම්භාවිතාවක් තිබූ බැවිනි. පෞද්ගලිකව ඇය ඔහුගේ අභිලාෂයට සහයෝගය දැක්වුවද, ඇයගේ පක්ෂයේ ප්‍රතිපත්ති එලෙස විය. ඇයට ස්ටාලින්වාදී ක්‍රීඩාව කිරීමට සිදු වූයේ ඔවුන් භයානක කාලවල ජීවත් වන බව සියලු දෙනා දැනසිටි බැවිනි. යුද්ධයට පෙර සිදුවූ මහා සුද්ධ කිරීමේ ක්‍රියාවලිය මගින් අවම වශයෙන් පුද්ගලයින් මිලියනයක්වත් ඝාතනය කර මිලියන පහක් පමණ පුද්ගලයින් ‘නැවත පදිංචි කරවීම’, හෙවත් බලහත්කාරයෙන් කම්කරු කඳවුරුවලට ගාල් කිරීමේ ක්‍රියාවන් කිසිවෙකුට අමතකව නොතිබුනි.

මරීනා යථාර්ථවාදියෙක් විය. මෙවන් සිද්ධි සිදු වූ බව ඇය දැන සිටියත් ඇයට එවැනි දෙයක් සිදුවනවාට ඇය අකැමති විය. එබැවින් ඇය තම පවුලේ අය සහ පෙම්වතා සම්බන්ධයෙන් වුවද පක්ෂයේ නියමයන් වලින් පිට නොගියාය.

1948 අගෝස්තු මස සතියේ දිනකදී, ඔවුන් දෙදෙනාම අවසන් විභාගය සමත් වී ඇති බවට දැන ගැනීමට ලැබීමෙන් පසු, ඔවුන් නගර මධ්‍යයේ පිහිටි රෙජිස්ට්‍රාර් කාර්යාලයට ගොස් විවාහ වූහ. අවුරුද්දක් ඇතුලත, නිවැරදිව කිවහොත්, අගෝස්තු 14 වන දින ඔවුන්ට දියණියකගේ සුරතල් බැලීමට ආශීර්වාදය ලැබුණි, නැතහොත් අවම වශයෙන් සෝවියට් සමාජයේ ඉහළ පෙළේ අයට ඔවුන්ට ආශීර්වාද කළ හැකි දෙවියෙකු ගැන විශ්වාස කිරීමට ඉඩ දුන්නේ නම්, ඔවුන් එසේ ප්‍රකාශ කරනු ඇත.

නටාල්යා පෙට්‍රොව්නා මිර්ස්කි මෙලෙස උපත ලැබුවද, ඇයගේ වයස පැය විසිහතරක් ඉක්ම යාමටත් පෙර ඇය තම මවට නටාෂා සහ ඇගේ පියාට ටාෂා විය.

මරීනා දියුණු වීමට දැඩි ආශාවකින් යුතු, සුපරීක්ෂාකාරී සහ පක්ෂයට ඉතා විශ්වාසවන්ත කෙනෙකු වූ අතර පක්ෂයේ සාමාජිකාවක වීම සහ උපාධිය ලබා ගැනීම නිසා ලැබුණු නොයෙකුත් වරප්‍රසාද ඇය භුක්ති වින්දාය. එහි හිලව්වට, යමක් කිරීම සඳහා පක්ෂය ඇයගෙන් ඉල්ලා සිටි විට වෙන කිසිම කරුණක් ඇයට එතරම් අදාළ නොවීය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, පියොටර් හට ටාෂා සමඟ ගුවන්විදුලිය ඉදිරිපිට බොහෝ රාත්‍රී කාලවල සෙල්ලම් කිරීමට සිදුවූ අතර, ඔහුගේ බිරිඳ ඒ අතරතුරදී ක්‍රියාකාරීන් සමඟ පිටතට ගොස්, ස්ටාලින් පියාගේ නැතහොත් කෘෂ්චෙව් සහෝදරයාගේ නවතම වචන ‘පාලන නීති ලිහිල් කිරීමේ පියා’ යනුවෙන් ජනතාව වෙත පතුරුවා හැරියාය.

මුලදී පියෝටර් හට, මරීනාගේ තත්වය නිසා ඔවුන්ට හිමිවූ වරප්‍රසාදයන් පිළිගැනීම පිලිබඳ අපහසුතාවයක් දැනුන නමුත් ඔහු රැකියාව කල සමාගම තුළ ඔහුගේ තත්වයද ඉහළ යාමත් සමඟම ඔහුට අමතර ආහාර, අමතර බීම සහ සමාගමේ වියදමින් රාත්‍රී භෝජන සංග්‍රහ ඔහුගේ බිරිඳද සමග භුක්ති විඳීමට ආරාධනා ලැබුණි. ඔහුට වසරකට එවැනි ආරාධනා හයක් පමණ සහ මරීනාට ඔහුට මෙන් ආරාධනා දෙගුණයක් පමණ ලැබෙමින් තිබුණද, ඔහුට දැනුනේ අවම ලෙස ඔහු යම් ආකාරයකින් ඒවාට ගෙවන බවය. එවැනි අවස්ථාවන්හිදී සහ ඔවුන් දෙදෙනාම වැඩ කරන විට, ආච්චිලා සීයලා විසින් පළමු වසර පහ ඇතුලත නටාෂා රැකබලා ගැනීම සඳහා එකඟතාවයෙන් යුතුව ක්‍රියා කල නමුත්, ඇය වයසින් මුහුකුරා ගිය විට, ඇයව ළදරු පාසලට ඇතුළත් කර ගන්නා ලදී - පක්ෂයේ අනුග්‍රාහකත්වයෙන්, නගරයේ තිබුණු හොඳම පාසැල ඇයට ලැබිණි.

'ඒක බලාපොරොත්තු වෙන්න ඕනේ දෙයක්' යැයි මරීනා, පියොටර් සනසමින් කිවේ ඔහු ඒ පිළිබඳව සැක පහළ කළ විටය. 'පක්ෂයේ ඉහල තලයේ නිලධාරීන්ගේ හැම දරුවෙක්ම යන්නේ හොඳම පාසල්වලට, මොකද එයාලගේ දෙමව්පියන්ට දරුවන්ගේ ඉගෙනීම ගැන කරදර නොවී එයාලගේ රැකියාව දිහාවට අවධානය යොමු කරන්න පුළුවන්නේ එතකොට’ මරිනා වැඩි දුරටත් පැවසුවාය. තම දියණියට හොඳම දේ අවශ්‍ය නිසා පියොටර්ද මරීනා නිදහසට පැවැසූ කරුණු පිළිගත්තේය. නමුත් පෞද්ගලිකව ඔහු කල්පනා කළේ හොඳම ආහාර සහ පාන, පක්ෂ නිලධාරීන් හට ඔවුන්ගේ කාර්යයන් වඩාත් හොඳින් කරගෙන යාමට උපකාරී වූයේ කෙසේද යන්නයි. ඔහු බොහෝ විට මරීනා සමඟ මෙම විෂය ගැන කතා කිරීමට සිතුවද ඇයට ඒ සඳහාද පිළිතුරක් ඇති බව දැන සිටියේය.

ඇයට සෑම දෙයකටම සෑම විටම පිළිතුරක් තිබුණි.

ඇත්තෙන්ම, ඔහු ඇයට විරුද්ධව සිටීමට අකමැති වුයේ, ඔහු ඇයට තරමක් බියෙන් සිටි නිසාය. ඇගේ අභිලාෂයන් සහ ඇගේ අධිෂ්ඨානයන් ගැන ඔහු බිය විය. ඒ අතර පළමුවෙන්ම තම නාගරික කොට්ඨාශයේ පක්ෂ නියෝජිතයෙකු ලෙස පත් වීම, පසුව අල්මා අටා කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිතුමිය ලෙසත්, පසුව කසක් ජනරජයේත්, අවසානයේ එක්සත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ ඉහළම සංවිධානය වන පක්ෂ කොන්ග්‍රසයේ කොටසක් බවට පත්වීමත් ඇයගේ අභිප්‍රාය විය.

වෙනත් කිසිවෙකු ඉදිරියේ නොවුනත්, ඇය පියොටර් ඉදිරියේ බොහෝ දේ පිළිගත්තාය. නමුත් ඇයට ඔහුට පවා පැවසීමට නොහැකි දෙයක් වූයේ මධ්‍යම කාරක සභාවේ අසුන් ගැනීමත් ඉන්පසු දේශපාලන මණ්ඩලයේ පළමු කාන්තා සාමාජිකාව බවට පත්වීමටත් ඇති ඇගේ සිහිනයයි. ඇය නිතරම ගියේ, ඇයගේ වීරවරිය සහ ඇය නිතරම ආදර්ශයට ගත් චරිතයක් වන, 1917 සහ 1918 දී මධ්‍යම කාරක සභාවට තේරී පත් වූ එලේනා ස්ටාසෝවා ගේ අඩි පාරේය. නමුත් මරීනාගේ එම ඉලක්කය, ඇත්තෙන්ම උසස් ඉලක්කයකි.

ඇත්තෙන්ම මරීනාට පවා එම සිහිනය ගැන සිතීමේදී අසුන් ගැනීමට සිදු විය. මන්දයත් ඒ ගැන සිතීම පවා ඇයව වෙහෙසට පත් කළ කරුණක් වූ අතර, නමුත් අවුරුදු පහළොවක් හෝ විස්සක් තුළ ඒ සියල්ල කළ හැකි යැයි ඇය සිහින මැව්වාය. සමහර විට දේශපාලන මණ්ඩලයට යාමට වසර තිහක් පමණවත් ගතවිය හැකි නමුත් ඇය තවමත් විසිතුන් හැවිරිදි වියේ පසුවූවාය. ඇයගේ ජීවිතය තුල ඇය මෙවන් සිහින සමගින් ජීවත් වෙන බව පියොටර් දැන සිටියේ නම්, ඒකාන්තයෙන්ම ඔහු භීතියට පත්වනු නොඅනුමානය.

නටාෂා ඉතාමත් ලස්සන, හොඳ අධ්‍යාපනයක් ලැබූ, මනා හැසිරීමක් ඇති යෞවනියකු ලෙස හැදී වැඩුණත්, ඇයගේ මව සහ ඇය ඉගෙනුම ලබන විශේෂ පාසැල් වලින් ඇයට යම් යම් දේ පිළිගැනීමට උගන්වන ලද බව පැවසීම සාධාරණය. ඇයට සහ ඇය සමග අධ්‍යාපනය හැදෑරු සෙසු සිසුන්ට සමාජවාදී ජනරජයන්ගේ සෝවියට් සංගමයට පක්ෂපාතී බවට දිවුරුම් දීමටත්, ධජයට ආචාර කිරීමටත්, දේශප්‍රේමී ගීත සහ පැරණි සටන් ගීත ගායනා කිරීමටත් සෑම උදෑසනකම පන්තියට යාමට පෙර කිරීමට සිදුවිය. නමුත් එය ඇත්ත වශයෙන්ම බටහිර හා නැගෙනහිර වෙනත් බොහෝ රටවල මෙන්ම රජය හා පල්ලි මගින් පාලනය වූ පාසල්වල සිදු වූ ආකාරයට වඩා වැඩි වෙනසක් නොවීය.

තම සමාජ පංතියේ ඵෙතිහාසික අරගලය සැලකිල්ලට ගනිමින් වර්තමාන හා අතීත සිදුවීම් විශ්ලේෂණය කිරීම සඳහා ඔවුන් පුහුණු කරන ලද නමුත් ඔවුන්ගේ දේශපාලන ක්‍රමයේ දුර්වලතා ඔවුන්ට කිසිදා නොපෙන්වීය. කෙසේ වෙතත්, නටාෂා එය දැන සිටියේ නැත. ඇය ඉගෙනීමට දක්ෂ වූ අතර හොඳින් වැඩ කටයුතු කිරීම පිළිබඳව ඇගේ දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ ප්‍රශංසාව සැමවිට භුක්ති වින්දාය. ඇය නිරන්තරයෙන් තම පංතියේ පළමු ස්ථානය ලබාගත් අතර, ඇගේ පළමු වචනය කතා කළ දා සිට ඇයට ජපන් භාෂාව උගන්වන ඇයගේ මව සේම ඇය ද භාෂාවන් කෙරෙහි සුවිශේෂී ඇල්මක් දැක්වූවාය. නටාෂාට වයස අවුරුදු හතක් වනවිට ඇගේ ජපන් භාෂා චතුරත්වය ඇගේ රුසියානු සහ ඇගේ මව් භාෂාව වන කසක් තරමට උසස් විය. එබැවින් ඇයගේ මව පවුලට ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා පෞද්ගලික උපදේශකයෙකු කුලියට ගත්තාය. නටාෂා එය ඉගෙනීමට ගියේ, තාරාවෙකු වතුරට දමන්නාක් මෙන් ය. ඇයට ඉදිරිපත් කළ ඕනෑම පාඩමක් සමඟ ඇය මෙලෙස කළ බව පෙනෙන්නට තිබුණි. කෙසේ වෙතත්, පියොටර් එයට එතරම් උනන්දුවක් නොදැක්වූ අතර වැඩි කල් නොගොස්, ඉතා සාර්ථක වීමට හැකියාවන් ඇති දෙදෙනාගේ අධ්‍යයන කටයුතු වලින් ඔහු ඔවුන්ව වළක්වා නොගත්තේය.

කෙසේ වෙතත් එය ඔහුගේ නිදහසට ඔහු විසින් ඉදිරිපත් කල කරුණ විය.

වයස අවුරුදු දහය වන විට නටාෂා භාෂා හතරකින් චතුර ලෙස කතා කළ අතර ඒවායින් ලියවුණු පොත්පත් ද කියවුවාය. ඇයට පෝලන්ත භාෂාවද සාමාන්‍ය ආකාරයෙන් කථා කළ හැකි විය. සමාජවාදී අධ්‍යාපනයේ උදාහරණ ලෙස ලොවට පෙන්වීම සඳහා හොඳම සිසුන් සොයන පාසලක මෙය අවධානයට ලක් නොවී නොතිබිණි. නටාෂා තම ඉගෙනීම ආරම්භ කළේ ලතින්, ප්‍රංශ සහ ජර්මානු යන භාෂාවලිනි. එහි අදහස වූයේ ලතින් සහ ප්‍රංශ යන භාෂා ඇයට සියලු දකුණු යුරෝපීය භාෂාවන්ට අවශ්‍ය විශිෂ්ට පදනමක් ලබා දෙන අතර ලතින්, ඉංග්‍රීසි සහ ජර්මානු භාෂා මගින් ඇයට උතුරු යුරෝපයට දොර විවර කරනු ඇත. ඒ හා සමානව, රුසියානු භාෂාව සෝවියට් ජනරජයේ භාෂාවලට පිවිසීමේ ස්ථානය වනු ඇත.

දැනටමත් ඔප්පු කර ඇති මෙම උපාය මාර්ගය යළිත් ක්‍රියාත්මක වූ අතර නටාෂා ඉතා ඉක්මණින් ඇගේ වේගවත් මනස හා නිරවුල් ප්‍රායෝගික බුද්ධිය භාවිතා කරමින් ඇය ඉගෙන ගන්නා භාෂාවලින්, ඇය මීට පෙර කිසිදා එම වචන දැන නොසිටියත්, වචන අනාවැකි කීමට උත්සාහ කළාය. අනිත් පුද්ගලයන් හට, ගැළපෙන හෝ ගැටෙන වර්ණ ඉතා පහසුවෙන් පෙනෙන ආකාරයට, වචන හා භාෂාවල රටා ඇයට පහසුවන් දැකගත හැකි විය. මීට පෙර ඇගේ ගුරුවරුන් කිසිවෙකුට එවැනි දක්ෂ ළමා භාෂාවේදියෙකු හමු වී නොතිබුණි.

දහහතර විය වන විට ඇගේ ප්‍රංශ, ජර්මානු සහ ලතින් භාෂා ඕනෑම උසස් පාසැල් ගුරුවරියකට ඇයට ඉගැන්විය හැකි ඉහල මට්ටමක පැවති නිසා ඇය විශ්ව විද්‍යාලයේ පන්තිවලට සහභාගී වීමට පටන් ගත්තාය. ලතින්, ප්‍රංශ, ඉතාලි සහ ස්පාඤ්ඤ භාෂා අතර සමානකම් මීට පෙර ඇය දුටු නමුත් ඒ පිළිබඳව කිසිවක් කිරීමට ඇයට හැකියාවක් එවකට නොතිබුණි. කෙසේ වෙතත් දැන් ඇයට විශ්ව විද්‍යාල පුස්තකාලයට සහ එහි නවතම භාෂා විද්‍යාගාරයට ප්‍රවේශ වීමේ හැකියාව ලැබී තිබුන බැවින් ඇය ‘තමන්ම ඉගෙන ගන්න’ නමැති පාඨමාලාව තෝරාගෙන ස්පාඤ්ඤ බස වැඩිදුරටත් හැදෑරුවාය. ඇය එයට ආසා කලේ පාසැලේදී ඇය ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ගැන ඉගෙන ගෙන සිටි බැවිනි.

ඇයට හාස්‍යය පිළිබඳ දක්ෂතාවයක් ද තිබූ අතර ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ වචන උච්චාරණ හා හැසිරීම් අනුකරණය කිරීමට ද ඇය ප්‍රිය කළාය. ඇයගේ අනුකරණයෙන් ගැලවුණු එකම දෙදෙනා ස්ටාලින් සහ කෘෂ්චෙව් විය. කිසිම ආකාරයකින් ඇගේ මව විසින් ඇයට ඔවුන් දෙදෙනාට විහිළු කිරීමට ඉඩ ලබා නොදුන්නාය. නමුත් මරීනා නිවසේ නොසිටින විට ඇගේ පියා ඇගේ රංගනයන් භුක්ති වින්ද අතර, එය බොහෝ විට සිදුවූයේ මරීනාගේ පක්ෂය සමග තිබූ බැඳීම් නිසාත්, ඇය සෝවියට්-ජපන් කටයුතු පිළිබඳ කසකස්තානයේ ප්‍රමුඛතම විශේෂඥවරිය වූ නිසාත්, වැඩි කාලයක් ඒ වෙනුවෙන් වැය කිරීමට ඇයට සිදුවූ නිසාත්ය. එබැවින් ඇයට ජපානයේ කාලය ගත කිරීමට සිදුවූ අතර ඒ සඳහා ඇයව දිරිමත් කිරීමට විශේෂ දීමනාවක්ද ගෙවන ලදී. සමහර අවස්ථාවන්හීදී එය දින කිහිපයකට සීමා වූවත්, සමහර විටක සති කිහිපයක කාලයක් ගතවූ අවස්ථාවන්ද විය.

ඔවුන් සෑම විටකම ‘සංස්කෘතික නියෝජිතයන්’ ලෙස වෙස්වලා ගෙන පෙනී සිටියද, ඔවුන් මහා කාර්ය භාරයක් ඉටු කෙරුවෝය. ඒ කාර්යයන් අතරට ජපානයේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින්ව ධෙෙර්යමත් කිරීම සඳහා ඔවුන් සමග කතා බහේ යෙදීම සහ ජනතාවගේ මනෝභාවය විනිශ්චය කොට තේරුම් ගැනීම සඳහා පියා ස්ටාලින් හෝ කෘෂ්චෙව් වෙතින් විශේෂ පණිවිඩ ගෙන ඒමද ඇතුලත් විය. මෙම කාලය තුලදී ජපානයේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වයේ විශාල වර්ධනයක් සිදුවූ අතර එයට හේතු ලෙස, දීර්ඝ කාලයක් පුරා ජපානයේ රැඳී සිටින ඇමරිකානු හමුදාවන්හි පැවැත්මට ප්‍රතිචාරයක් වශයෙන් සහ ජපානයේ ඇතිවූ සිවිල් නොසන්සුන් තත්වයන්ට ප්‍රතිවිරුද්ධ බලයක් ලෙස ඇමරිකානුවන් එය දිරිමත් කිරීමත් දැක්විය හැකිය. ඇය ටෝකියෝ සහ අනෙකුත් විශාල නගරවල පැවැත්වූ දෑවැන්ත රැලි ඇමතුවේ ඔවුන්ගේම ජපන් භාෂාවෙනි.

1963 වර්ෂයේදී එවැනි එක් සංචාරයකින් පසු ඇය අල්මා අටා කොමියුනිස්ට් පක්ෂයට යෝජනා කළේ ජපානයේ වඩාත් ප්‍රබල කොමියුනිස්ට් පක්ෂ ක්‍රියාකාරීන් පිරිසකට සතියක වැටුප් සහිත නිවාඩුවක් සඳහා අල්මා අටා හි නැවතී සිටීමට එන ලෙසට ආරාධනා කරන ලෙසයි. ඇයගේ මෙම අදහස ඔවුන් ඉතා සුපරීක්ෂාකාරීව සලකා බලා එයට අවශ්‍ය අවසන් තීරණය ගැනීමට එය මව් පක්ෂයේ නිලධාරීන් වෙත යැවුහ. කෘෂ්චෙව් විසින්ම අනුමත කරන ලදුව දේශපාලන මණ්ඩලය විසින් රබර් මුද්‍රා තබන ලද තීරණය නැවත ඔවුන් වෙත පැමිණියේය. මරීනා සිය මතක සටහන් බහාලුමට එම ලිපියේ ඡායාරූපයක් ලබා ගත් අතර එහි මුල් පිටපත රාමු කොට අල්මා අටා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාර්යාලයේ බිත්තියේ එල්ලා තැබුවාය. මරීනාට වැටහුනේ මව් පක්ෂයේ ක්‍රියාකාරීන් හට ඇයව නිරීක්ෂණය වූ බවත්, තමාගේ ඉහලට යාමේ ඉණිමඟේ තවත් එක් ඉනිමං පත්තක් නැගගත් බවත්ය. නමුත් 1957 දී මව් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පළමු කාන්තා සාමාජිකාව ලෙස පත්වීමට යෙකැටෙරිනා ෆර්ට්සෙවා නම් තවත් කාන්තාවක් සමත් වූවද තමාගේ ඉහල නැගීමද ස්ථිර බව ඇය දැන සිටියාය. ෆර්ට්සෙවාගේ සෑම පියවරකම මරීනා විසින් අධ්‍යයනය කරමින් හැකි සෑම විටම අනුකරණය කරමින් සහ සහාය අවශ්‍ය සෑමවිටම එයද ලබා දුන්නාය.

මොස්කව් වෙතින් මෙම සංචාරය සඳහා අරමුදල් ලබා දුන් අතර විනිවිද භාවයකින් තොර වුවත් එම මූලික කටයුතු සාර්ථකව අවසන් විය. සංචාරය පිලිබඳ ශුභාරංචිය දීමටත්, එහි කටයුතු සඳහා විධිවිධාන සහ අරමුදල් ලබා දීම සඳහාත් මරීනාව ජපානයට පිටත් කර හරින ලදි.

“ඒක මේ වගෙයි”, ඇය සී.පී.ජේ. හි ඉහල සාමාජිකත්වයට පැහැදිලි කළාය, “අපි, ඒ කියන්නේ කෘෂ්චෙව් සහෝදරයායි දේශපාලන බල මණ්ඩලය යි, ඇමරිකානුවන්ව විශ්වාස කරන්නේ නැහැ. ඇමරිකානුවන් නිතරම කියන්නේ ජපානයේ කොමියුනිස්ට් පක්ෂයේ දියුණුව දැකලා එයාලා සතුටු වෙන බවයි. ඒ වුනාට එයාලා ඔය ගොල්ලන්ටයි අපිටයි දෙගොල්ලන්ටම ආරක්‍ෂාවක් තියනවා කියලා බොරුවට පෙන්නලා එහෙම හැඟීමකට අපිව ඇද දාලා උත්සාහ කරන්නේ අපි ගැනයි අපේ සාමාජිකයන් ගැනයි වැඩි විස්තර දැනගන්නයි. ඒ නිසා සහෝදරවරුනි, හැම වෙලාවකම අපේ වැඩ සම්බන්ධව උපරිම මට්ටමක ආරක්ෂාවක් වගේම රහස්‍යභාවයක් තියා ගන්න එක ඉතාම අවශ්‍යයි.”

“අල්මා අටා වල අපේ ‘සමුළුවට’ ඔයාලගේ නියෝජිතයින් දහ දෙනෙක් තෝරා ගන්න ඔයාලට උපදෙස් දෙන්න බලය මට දීලා තියනවා. එහෙට යන අයට එයාලගේ සහකරු හරි සහකාරිය හරි අරගෙන එන්න පුළුවන්, නමුත් කාලත්‍රයාවත් දැඩි ලෙසත් සූක්ෂම ලෙසත් පරීක්‍ෂා කරලා අවසරය දෙන්න අපිට සිද්ධ වෙනවා. සහෝදරවරුනි, ඔයාලා මාව තේරුම් ගත්තාද? උපරිම දැඩි විදිහටත් සූක්ෂම විදිහටත්! ගෞරවනීය ජපානයේ කොමියුනිස්ට් පක්ෂයත්, ඒකෙ ඉන්න නිර්භීත සහෝදරයන්ගේ අනාගතයත්, සතියක සම්මන්ත්‍රණයක් නිසා අවදානමට ලක් කරන්න අපට අවශ්‍ය නැහැ. ඔයාලා මම කියන දේ අදහස තේරුම් ගන්න ඇති නේද, සම්මන්ත්‍රණය එච්චර අමාරු නැහැ.”

“ඒ නිසා, කෘෂ්චෙව් සහෝදරයා නිර්දේශ කරලා තියනවා, දකුණු කොරියාවේ තියන මේ හෝටලයේ ඔය ගොල්ලෝ ඔක්කොටම එක සැරේ කාමර වෙන් කිරීමක් කරලා වෙනස් වෙනස් ගුවන් ගමන් වලින් විවිධ වේලාවල් වලට එහෙට පියාසර කරන්න කියලා. ඔයාලා සෝල් අගනුවර ගුවන් තොටුපලට පියාසර කරලා, දේශ සීමාවට කිට්ටුවෙන් තියන මේ හෝටලයට කුලී රථයක් අරගෙන එන්න පුළුවන්. අගෝස්තු මාසයේ දෙවෙනි ඉරිදා වෙනකොට ඔයාලගේ කණ්ඩායම එක්රැස් වෙන්න ඕනේ. හෝටලයේ අයිතිකාරයා අපේ අරමුණු වලට අනුකම්පා කරන කෙනෙක්. එයා ඔයාලාව පරිස්සමින් දේශ සීමාව හරහා උතුරු කොරියාවට යවයි. උතුරු කොරියාවේ ඉඳන් අපි ඔයාලව කෙලින්ම අල්මා අටා වලට ගුවනින් අරගෙන එනවා. මේ විදහට ඔයාලගේ ගමන් බලපත්‍ර වල සෝවියට් සමාජවාදී ජනරජයේ හරි උතුරු කොරියාවේ හරි ඇතුල්වීමේ සටහනක් නොතබා වැඩේ කරගෙන යන්න පුළුවන්.”

“ඔය ගොල්ලෝ සංචාරය කරන සතිය ඉවර උනාම, අපි මුලින් කරපු ක්‍රියා පටිපාටිය ආපහු අනිත් පැත්තට හරවලා ක්‍රියාත්මක කරනවා. ඔයාල අපිත් එක්ක ඉන්නකොට, අවශ්‍ය වුනොත් හෝටල් අයිතිකාරයා ඔයාලා වෙනුවෙන් ආවරණය කරනවා. නමුත් අපි කිසිම කරදරයක් අපේක්ෂා කරන්නේ නැහැ. අපි මීට ඉස්සර කීප සැරයක්ම මේ මාර්ගය භාවිතා කරලා තියනවා. ඕගොල්ලෝ ජපානෙට ආයෙත් ආවම, ඔයාලා මෙහෙන් යන්න ඉස්සර කියපු දේවල් වලට අමතරව වෙනත් දේවල් කළා කියලා ඔයාලව සැක කරන්න කාටවත් හේතුවක් නැහැ.”

“අවසාන වශයෙන්, ඔයාලගේ ගමනේ හැම වියදමක්ම පියවා ගන්න, ඇමරිකානු බැංකුවකට බැඳී තියෙන බැඳුම්කරයක් මෙතන තියනවා.”

“මේකෙන් ඇත්තෙන්ම ඔයාගේ ත්‍යාගශීලී බව පෙන්වනවා, මරීනා ඇන්ටෝනෝවා සහෝදරිය, මම...අර් අපි ඔයාටයි කෘෂ්චෙව් සහෝදරයා සහ සෝවියට් සංගමයේ ශ්‍රේෂ්ඨ ජනතාවටයි මෙම ගෞරවයටත් ඒ වගේම ඔයාගේ ත්‍යාගශීලීභාවය වෙනුවෙනුත් කොහොම ස්තූති කරන්නද කියලා දන්නේ නැහැ, ඔයාට අපි මත සම්පූර්ණ විශ්වාසය තියන්න පුළුවන්.”

එම සංචාරය ඔරලෝසුවක් වැඩ කරන්නාක් මෙන් සුමටව සිද්ධ වූ අතර ඉන්පසු එය වාර්ෂික සිදුවීමක් බවට පත්විය. මරීනා ජපාන කොමියුනිස්ට් පක්ෂයෙන් පැමිණි දූත පිරිසට සත්කාරකත්වය සැපයූ අතර විශ්ව විද්‍යාලයේ ජපන් භාෂාව හදාරන සිසු සිසුවියන් අමුත්තන් හට මග පෙන්වන්නන්, කුඩා සත්කාරක කණ්ඩායම් සහ සේවිකාවන් ලෙස කටයුතු කළහ. ඔවුන් උදෑසන කාලයේදී දේශපාලන දේශන වලට සවන් දුන් අතර, දහවල් කාලයේදී වටාපිටාවේ දර්ශන නැරඹීමේ චාරිකා හෝ සංස්කෘතික උත්සව සඳහාද රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු සවස් කාලයේදී තවත් වැඩිදුර සංස්කෘතික උත්සව වලටද සහභාගී වූහ. මෙම සංචාරයන් ඉතා සාර්ථක වූ අතර සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය සහ මරීනා ඇන්ටෝනෝවා විසින් නිල නොලත් ලකුණු රාශියක් උපයා ගත්හ.

මරීනාට තමාගේ ඉලක්කය ක්‍රම ක්‍රමයෙන් ලඟා වන බවක් දැනෙන්නට විය. නමුත් එයට තවමත් බොහෝ දුරක් තුබූ බවද ඇයට පසක් වුනි. කෙසේ වෙතත්, ඇය තවමත් ජපානයේ තරමක් දුෂ්කර තත්වයන් යටතේ ජීවත්ව සිටින ඔවුන්ගේ ජපන් සහෝදරවරුන් ඉදිරියේ, සියල්ල සපයා දිය හැකි මහත්මියගේ චරිතය රඟපෑමට ප්‍රිය කළාය. එයින් අදහස් කලේ ඇය ඔවුන්ට පෙන්වා දුන් ආකාරයට සෝවියට් සංගමය ඒ වනවිට සියලු සැපෙන් සුඛිත මුදිත වී සිටියා යන්න නොවේ. නගරයේ තදාසන්න ප්‍රදේශවල සංක්‍රමණිකයන් හෝ සාමාන්‍ය ගොවි ජනතාව වෙනුවෙන් ඉදිකර තිබූ අඳුරු ජරාවාස කොන්ක්‍රීට් මහල් නිවාස සහ පැල්පත් පේළි දැකීමට අමුත්තන්ට අවශ්‍ය නැති නිසා ඇයට ඇගේ ගමනාන්ත, ඔවුන් ඒවා නොදකින ලෙස තෝරා බේරා සැකසීමට වගබලා ගත්තාය.

වසරක පමණ කාලයක් ගතවත්ම, මෙවන් එක් සංචාරයකදී, ඇයට හිරෝටෝ සහෝදරයා සහ ඔහුගේ බිරිඳ වන සුසුමේ සහෝදරිය කෙරෙහි විශේෂ ඇල්මක් ඇති විය. ඔවුන් දෙදෙනා ගැන එක් රැස් කර ගොඩනගා තිබූ ලේඛන අනුව, ඔවුන් ඔත්තු ලෙස ලබා දෙන්නේ වටිනාකමින් අඩු බොහෝ සුළු කාරණා වලට අදාළ තොරතුරු බව දැනගෙන සිටියාය. ඇයට ඉහලින් අණ ලැබී තිබුනේ ඔවුන්ගෙන් ඉහළ ශ්‍රේණියේ වටිනා තොරතුරු ලබා ගැනීමේ අදහසින් ඔවුන් සමග කිට්ටු ආශ්‍රයක් පවත්වා ගන්නා ලෙසටය. කෙසේ හෝ අවංකවම ඔවුන්ට ඇය තුල කැමැත්තක් ඇති බව ඇය තේරුම් ගත් අතර, එමගින් ඇගේ රැකියාව තව තවත් පහසු විය.

ඔවුන්ගේ සංචාරය අතරතුර කිහිප වතාවක්ම, සවස් වරුවේ සියල්ලන්ගේ විනෝදාස්වාද කටයුතු අවසන් වූ විට, ඇය ඔවුන් දෙදෙනාව රාත්‍රියේදී කෑම බීම දිගටම කරගෙන යා හැකි, අන් පුද්ගලයන්ට ඇතුළුවීමට අවසර නොතිබූ වඩාත් සීමිත ස්ථාන කරා රැගෙන ගියාය. අවාසනාවකට මෙන්, පියෝටර් ජපන් භාෂාව කථා නොකළ අතර මිසුකිවරුද රුසියානු භාෂාව කතා නොකළෝය. ඔවුන් ඉංග්‍රීසි භාෂාව යම් පමණකට කතා කළත්, කිසිවක් ඉගෙන ගැනීමට පෙර පියොටර් ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමද අත්හැර දමා තිබූ බැවින් ඇය ඔහුට ආරාධනා කිරීමට කරදර නොවූවාය.

මරීනා නිරතුරු සිතු වේ ඔහු බොහෝ විට සමාජ ආශ්‍රයන් වලදී තරමක් කම්මැලි පුද්ගලයෙකු බවය. එබැවින් තම සහකරු, තම වෘත්තිය කෙරෙහි උනන්දුවක් දැක්විය යුතු යැයි අපේක්ෂා කළ අවස්ථාවන් සඳහා පමණක් ඔහුව කැඳවාගෙන ගියාය. පියොටර් ඒ ගැන දැන සිටියත් එය කිසිසේත් මායිම් නොකළේය. ඒ සියල්ල ඔහුගේ චර්යාවට හොඳින් ගැලපුණි.

නටාෂා සමහර අවස්ථාවන්හිදී සංස්කෘතික අංගවලට සහභාගී විය. නිදසුනක් ලෙස, ඇය ගායනා කණ්ඩායමේ සිටිමින් ගායනා ඉදිරිපත් කරනු හෝ වීශ්ව විද්‍යාල කණ්ඩායමේ සිටිමින් සාම්ප්‍රදායික නැටුම් ඉදිරිපත් කිරීම හෝ කෙරුවාය. නමුත් පොදුවේ ගත් කල සංස්කෘතික හුවමාරු වැනි නොවැදගත් ක්‍රියාකාරකම්වල යෙදීමට ඇයට කාලය නොමැති බව සලකනු ලැබීය. ඒවා පහත් මට්ටමේ ක්‍රියා බව එයින් අදහස් නොවන බවත්, ඇය වෙනුවෙන් වෙනත් අරමුණු දෙමවුපියන් ලෙස ඔවුන් සැලසුම් කර ඇති හෙයින් බවත් ඇයගේ මව ඇයට පැවසුවාය. නමුත් එම සැලසුම් මොනවාදැයි කිසිවෙකු තවමත් දැන නොසිටියෝය. එහෙත්, දරුවන් ගැන දන්නා ඕනෑම අයෙකු දැන සිටියේ, ඇය විශේෂ බවත් ඇයගේ භාෂා කුසලතා අතිවිශිෂ්ට බවත් ය.

ඔවුන්ගේ පැත්තෙන්, මිසුකිවරු මරීනාට කැමති වූහ. ඔවුන් ඇයගෙන් විහිදෙන්නාවූ බලයට ගරු කළහ. නමුත් ඔවුන් සිතුවේ සෑම දෙයක්ම බරපතල ලෙස නොගෙන ‘ටිකක් සැහැල්ලු’ වියයුතු බවයි. ඇය සෑම විටම රහසින් කුමන්ත්‍රණය කරමින් හෝ එම කුමන්ත්‍රණ සඳහා සැලසුම් කරමින් හෝ නැතහොත් දැනට සිදුවෙන කුමන්ත්‍රණ සහ ඒවාට සැලසුම් සොයමින් හෝ සිටින බවක් පෙනෙන්නට තිබුණි. ජනාධිපති ආරක්ෂකයෙකු සැමවිටම ඔහුගේ මනසින් ‘වෙනස් තැනක’ සිටිනවා සේ මරීනා සෑම විටම අඩක් සවන් දෙන බවක් පෙනෙන්නට තිබුණි. ඔවුන් නොදැන සිටි දෙය නම්, ඒ දිනවල රුසියානු සමාජයේ තිබූ, ඔබ විශ්වාස නොකරන කෙනෙකු සමග ඔබ සංවාදයේ යෙදෙන්නේ නම් එම තැනැත්තා දෙස ඇස යොමු කර තබා ගැනීම වැදගත්ය යන පොදු පිළිගැනීමයි. ඔබ ඔවුන්ව විශ්වාස කළේ නම්, ඔබේ සංවාදයට වෙනත් අයෙකු සවන් දීමට උත්සාහ කරන්නේ දැයි බැලීමට ඔබට නිදහස තිබේ. සෝවියට් සමාජයේදී ඔබ කෙරෙහි විශ්වාසය නොතැබූ අයගේ දෑස් දෙස බැලිය යුතුය. මනස පිරිසිදු කිරීමේ ගුරුවරු, සෑම කෙනෙකුටම එම පාඩම ඉගැන්වූහ.

මිසුකිවරු තම පළමු ‘අගෝස්තු කසක් චාරිකාව’ ගියපසු සෑම වසරකම ඒ සඳහා පිටත් වුහ. ජපාන කොමියුනිස්ට් පක්ෂයට සැමවිටම ඔවුන්ට අරමුදල් සැපයිය නොහැකි වූ අතර එවන් විටක ඔවුන් තමන්ගේ අරමුදල් සපයා ගත්හ. නමුත් මරීනා සෑම විටම ඔවුන් වෙනුවෙන් යහපත් වචනයක් ඉදිරිපත් කිරීමට උත්සාහ කළ අතර සෑම විටම ඔවුනට අවධානය, සෙනෙහස පෑමටද නොපැකිලුනාය. ඒ හා සමානව, මරීනා ටෝකියෝවට ගිය විට, ඔවුන් අවම වශයෙන් එක් වරක්වත් රාත්‍රී ආහාරය සඳහා පිටතට ගියහ. නැතහොත් සුසුමේගේ දෙමව්පියන්ගේ නිවසේදී පිසූ ආහාර වේලක් සඳහා හමුවූහ. පනස් ගණන්වල මැද භාගය වන විට ඔවුන් දෙදෙනාට තමන්ගේම නිවසක් තිබුනද, මරීනා සමඟ ඔවුන්ගේ මිත්‍රත්වය සමෘධිමත් වෙමින් තිබියදී, ඔවුන් ඇමරිකානු ඔත්තුකරුවන්ගේ සැකයට භාජනය වී ඇය සමඟ ඔවුන් සම්බන්ධකම් පවත්වන බව පෙන්වීමට ඔවුන් බිය විය. නමුත් අහම්බෙන් දකින්නාවූ නිරීක්ෂකයෙකුට මරීනාව පෙනුනේ ජපන්, හෝ කොරියානු හෝ අර්ධ ජපන් අර්ධ කොරියානු කෙනෙකු ලෙසය. ඇය ජපානයේ සිටියදී නිරතුරුව දෝෂ රහිත ජපන් භාෂාවෙන් කතා කළාය. ඇය පාවිච්චි කල ඇඳුම්ද ප්‍රාදේශීය මධ්‍යම පාන්තික කාන්තාවක අඳින පළඳින ඇඳුම් වලට සමාන විය.

මෙය අහම්බයෙන් සිදුවූවක් නොවේ, අල්මා අටා හි බොහෝ දෙනෙකුට වෙනත් ජාතීන් වශයෙන් පෙනීසිට, විශේෂයෙන් ආසියාතික සහ යුරෝපීය යන මහද්වීප දෙකෙහිම සිටින පුද්ගලයින්සේ නිරූපණය කොට ගැලවී යාමේ හැකියාවක් තිබුණි. එය ඉතා විශ්වීය නගරයක් වූ අතර එය සියවස් ගණනාවක් පුරා පැවතුනි. ක්‍රි.පූ 1000 දී පමණ පැවතියාවූ ලෝකඩ යුගයේදී පළමු පුද්ගලයින් එහි පදිංචි වී ඇති බවට සාක්ෂි ඇති අතර ක්‍රි.ව. 1000 සිට එය සේද මාවතේ වැදගත් වෙළඳ, ශිල්පීය හා කෘෂිකාර්මික මධ්‍යස්ථානයක් වූ අතර ගණුදෙනු සඳහා ඔවුන්ගේම කාසි භාවිතා කරන ලදී. එය සියවස් ගණනාවක් තිස්සේ ජාතීන්ගේ නිල නොලත් වෙළඳ මධ්‍යස්ථානය විය.

ඇත්ත වශයෙන්ම, මරීනාගේ සහ පියොටර්ගේ දැනට භාවිත නාමයන් ඔවුන් ඉපදුණු නම් නොවීය. ඔවුන් දෙදෙනාම පෙනුමෙන් ආසියානුවන් වූ අතර ඔවුන්ගේ දෙමව්පියන් වෙනත් බොහෝ අය මෙන් ඔවුන්ගේ නම් රුසියානු කරණය කිරීමේ පූර්වාරක්ෂාව ගෙන තිබුනේ කසකස්තානය රුසියානු කොලනියක් කිරීමේ චේතනාවෙන් එය වෙත එවනු ලැබූ දස දහස් ගණනින් වූ සැබෑ රුසියානුවන් සමඟ වඩා හොඳින් මුසුවීම සඳහාය.

රජය වසරකට වර්ග මීටර් 300,000 ක පමණ වාසස්ථාන ඉදිකරමින් සිටි අතර, මෙම කාලය තුළ ඒවායින් බොහොමයක් ගොඩනගන ලද්දේ කසකස්තාණු නොවන අය සඳහා වන අතර එම වාසස්ථාන භූමිකම්පා වලට ඔරොත්තු දෙන අන්දමින් සාදන ලද නිවාස විය. පුවත්පත්වල එය හැදින්වූ අන්දමට කෘෂ්චෙව්ගේ ‘නොකිලිටි ඉඩම් ව්‍යාපාරයේ’ එක් ප්‍රතිඵලයක් වුයේ, 1970 වන විට මුල් ආදිවාසී ජනගහනය සුළුතරයක් වූ එකම සෝවියට් ජනරජය කසකස්තානය වීමයි.

බොහෝ පවුල් විසින්, ඉදිරියට පැමිනිය හැකි මේ ව්‍යසනය තේරුම් ගෙන ඔවුන්ගේ මුල් කසකස් නම් අතහැර දමා තිබුණි. බොහෝ දෙනෙකුට එය නරක දෙයක් විය. නමුත් මරීනා සහ ඇය වැනි තවත් අය හැරෙන්නට භාෂාව සහ සංස්කෘතිය යන අංග දෙකම සම්පූර්ණයෙන් අතහැර දැමීම භයානක දෙයක් විය.

පියොටර් නොසන්සුන් වීමට හේතුවූ මරීනාගේ තවත් පැතිකඩක් වූයේ එයයි.

4 1967 ගිම්හානය

විශේෂ දහඅටවන උපන්දින සංග්‍රහයක් ලෙස හිරෝටෝ සහ සුසුමේ විසින් සැප්තැම්බර් මාසයේදී ඇය විශ්ව විද්‍යාලයට යාමට පෙර යූයි හට ඔවුන් සමඟ නිවාඩුවක් ගත කරන ලෙසට ආරාධනා කළහ. ඇය ජීවිතයේ පළමු වතාවට විදේශගත වීමේ අවස්ථාව ලබා ගත්තාය.

“ඔයාලා කොහෙටද යන්නේ?” ඇය ඇසුවාය, “ආයෙත් දකුණු කොරියාවටද?”

ඔවුන්ගේ සැබෑ ගමනාන්තය සෝවියට් සංගමය බව ඇය හෝ මිසුකිගේ සී.පී.ජේ. නොවන මිතුරන් කිසිවෙකු හෝ දැන සිටියේ නැත. ඔවුන් සැබවින්ම සෝවියට් දේශයට යන බව දැනගත් යූයි අතිශයින් ප්‍රීති වුවාය. ඒ ඇයගේ රුසියානු භාෂාව එහිදී භාවිතා කරමින් වඩා හොඳින් පුහුණු වීම් කළ හැකි නිසාය. ඇගේ දෙමාපියන් දකුණු කොරියාවේ එකම හෝටලයකට නැවත නැවත ගියේ ඇයි දැයි ඇය බොහෝ විට කල්පනා කර තිබුනි. එසේ යාම අතිශයින් ඒකාකාරී සිත් ඇදනොගන්නා කාරණයක් බවද ඇය සිතුවාය. කෙසේ වෙතත් දැන් මේ දැනගත්තාවූ දෙය අතිශයින්ම සිත් ඇදගන්නා සුළු විය.

“යූයි, ඔයාව මීට වඩා පුදුමයට පත් කරන්න අපිට බැහැ. ඒ උනාට අල්මා අටා ගැන කිසිම කෙනෙකුට දැනගන්න තියන්න ඔයාට බැහැ. අපි ආයෙත් දකුණු කොරියාවට යනවා කියලා කවුරු හරි ඇහුවොත් කියන්න.”

“මට තේරෙනවා තාත්තේ. මම කාටවත් මුකුත් කියන්නේ නැහැ. ඔයාට මා ගැන විශ්වාසය කරන්න පුළුවන්.”

“සොඳුරිය, අපිට ඔයාව විශ්වාස කරන්න පුළුවන් කියලා අපි දන්නවා”, සුසුමේ පැවසුවාය. “ඉතින් ඒ නිසාම තමයි අපි ඔයාව එක්කන් යන්නේ. අනික ඔයා දැන් වයසිනුත් වැඩියි, ඒ වගේම ඔයාට ඔයාව පාලනය කර ගන්නත් දැන් පුළුවන්නේ. මේ ගමන ඔයාට හොඳ අත්දැකීමක් වගේම හොඳ නිවාඩු කාලයකුත් වෙයි කියලා අපි හිතනවා.”

ඔවුන් මුලින් ම මරීනා සමඟ ඔවුන්ගේ ගමන් සැලසුම් පවසා පරීක්ෂා කර ගත් අතර, ඇය එම යෝජනාව ඇගේ කමිටුවට ඉදිරිපත් කළාය. නමුත් කමිටුවේ සෑම කෙනෙකුම එය අපූරු අදහසක් ලෙස සිතුවේ තමන්ගේ අරමුණු ඉටුකර ගැනීම සඳහා තවත් කෙනෙකු, විශේෂයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන තරුණ කෙනෙකු තමන් වෙතට හරවා ගැනීමට ලැබෙන අවස්ථාවක් ලෙස සලකා ගෙනය. මෙවන් හරවා ගැනීම් සඳහා මධ්‍යම කාරක සභාව නිරතුරු තම කාර්ය මණ්ඩලය උනන්දු කරවුවෝය. උපාධිධාරී සිසුන්ට හොඳ රැකියා ලැබුණු අතර විදේශ රටක හොඳ රැකියාවක යෙදී සිටින, තමන් වෙනුවෙන් වැඩ කරන පුද්ගලයෙකු සිටීම යනු එම රටේ රජයේ හෝ වාණිජමය හෝ වේවා බල කඳවුරකට ඇතුළු වීම හා සමාන වීමයි. ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන අරගලයේදී මාතෘ භූමියට භාවිතා කළ හැකි රහස් මෙම රාජ්‍ය සහ වාණිජ අංශ දෙකෙහිම තිබුණි.

1967 වසර යනු මිසුකිවරුන්ට සෝවියට් ගමන සඳහා තමන් වෙනුවෙන් මුදල් ගෙවිය යුතු වසරක් වූ නමුත් ඔවුන් සී.පී.ජේ. විසින් තම දියණිය වෙනුවෙන් මුදල් ගෙවනු ඇතැයි කිසිසේත් අපේක්ෂා නොකළෝය. ඔවුන් තිදෙනා සඳහාම වියදම් ඔවුන් දැරුවද, වියදම් කල මුදලට සාපේක්ෂව එය තවමත් ලාභදායක නිවාඩු කාලයක් විය, මන්ද ඔවුන්ට ගෙවිය යුතු වූයේ සෝල් නගරය වෙත ගොස් නැවත පැමිණීමට අවශ්‍යවූ ගුවන් ගාස්තුව පමණක් වූ බැවිනි.

මරීනා උතුරු කොරියාවේ පිහිටි හමුදා ගුවන්තොටුපලේදී ජපානයෙන් පැමිණි පිරිස මුණගැසී ඔවුන් සමඟ නැවත අල්මා අටා වෙත පියාසර කළ අතර එහි ඔවුන් වෙනුවෙන් බස් රථයක් සුදානම්ව තිබුනේ ඔවුන්ගේ හෝටලයට ඔවුන්ව රැගෙන යාමටය. යූයි මුළු ගමනම අතිශයින්ම සිත් ඇදගන්නා සුළු බව දැන ගත්තාය. සැබවින්ම, ඇය කියා සිටියේ ටෝකියෝ ගුවන්තොටුපළේ ඔවුන්ගේ ගුවන් යානය එනතෙක් බලා සිටීම තමා මෙතෙක් අත්විඳින ලද වඩාත්ම සිත්ගන්නා සුළු දෙය බවයි. පසුව ඇය ගුවන් ගමන ගැනත්, හෝටලයට පැමිණි කුලී රථ ගමන ගැනත්, හෝටලයේ තමාගේම කාමරයක් තිබීම ගැනත් එයාකාරයෙන්ම පැවසුවාය.

දේශ සීමාව හරහා උතුරු කොරියාවට හොරෙන් ගෙන යන විට ඇයට දැනුණු ප්‍රමෝදය ඇයට දරාගත නොහැකි තරම් විය. එලෙසම විදේශීය රටකදී ප්‍රභූවරයකු ලෙස සැලකුම් ලැබීම, එය වෙන කිසිම රටකදී නොව එක්සත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව මගින්ම ලැබීම! තම දියණියගේ මුහුණෙහි දිගින් දිගටම තිබුනාවූ ප්‍රීතියේ හැඟීම් දැකීමෙන් හිරෝටෝ සහ සුසුමේ ප්‍රාර්ථනා කළේ ඔවුන් මීට පෙර ඇයව ඔවුන් සමඟ රැගෙන ආ යුතුව තිබුන බවය. යූයි සම්බන්ධයෙන් ගත් කල, විදේශයක ජීවත්වීමට සිහින මැවූ අවුරුදු පහළොව යුක්ති සහගත බව ඇයට හැඟුණි. ඇය වෙන කවරදාටත් වඩා අධිෂ්ඨාන කර ගත්තේ ජපානයෙන් පිටව යාමටය, නමුත් ඇය දැනට මේ සම්බන්ධව ඇගේ දෙමාපියන්ට පැවසීම විචක්ෂණශීලී නොවේ යැයි සිතුවාය.

ඔවුන් සියල්ලන්ම ඔවුන්ගේ කසක් හෝටලයට ඇතුළුවී ලියාපදිංචි වූ පසු, මරීනා සුසුමේගේ අත අල්ලාගෙන, එක් ආඩම්බර මවකගෙන් තවත් මවකට ලෙස පැවසූවේ, “මම අවුරුදු ගණනාවක් පුරාවට යූයිගේ ඡායාරූප දැකලා තියනවා, නමුත් ඒ පින්තූර එයාට සාධාරණය ඉටු කරලා නැහැ. ඇය මගේම දුව වගේම තමයි, ඉතාමත් රූමත් තරුණියෙක්”. ඇය තමාගේ ඔරලෝසුව දෙස බැලුවාය. “මගේ දුව මේ වෙලාවේ ළමා නිවාසයකට උදව් කරනවා, ඒ වුනත් මම අද සවස එයාව මාත් එක්ක අරගෙන එන්නම්. මට විශ්වාසයි අපේ දුවලා දෙන්නා හොඳම යාළුවන් බවට පත්වෙයි කියලා. මම ඔයාව හතට බලන්න එන්නම්, මට දැන් ඉක්මනින් යන්න ඕනේ, බයි-බායි.”

නටාෂා මහත් ආශාවෙන් බලා සිටියේ ඇගේ පළමු විදේශිකයා හමුවීමේ බලාපොරොත්තුවෙනි. නමුත් පියෝටර් එම ගමන යන්නට එතරම් උනන්දුවක් නොදැක්වීය. සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ එක් ප්‍රධාන සටන් පාඨයක් වූයේ ‘ලෝක කම්කරුවන් එක්වව්!’ බව ඔහු දැන සිටියේය. ඔහුද පක්ෂයේ එම දැක්මට එකඟ වූ නමුත් ඔහු මැන්චූරියාවේදී ජපන් ජාතිකයින්ට එරෙහිව සටන් කර ඇති අතර ඔහුගේ මිතුරන් හා සහෝදරවරුන් බොහෝ දෙනෙක් ජපනුන් විසින් ඝාතනය කරනු ලැබුහ. ඕනෑම යුද්ධයකදී සිදුවිය හැකිවාක් මෙන්, ඉන් සමහරු බිහිසුණු ලෙස මරණයට පත් වූ අතර තම පරණ සතුරා සමග ආශ්‍රය කරමින් තමන් සමග එකට සටන්කොට මියගිය තම සහෝදරයන්ට අගෞරව කිරීමට ඔහුට අවශ්‍ය නොවීය. කෙසේ වෙතත්, තම දියණිය හට වෙන රටකින් නව මිතුරෙකු හමුවීමේ වැදගත්කම වටහාගත් ඔහු ඇයට සහාය දැක්වීමට ගියේය.

“මට නම් මේක හරිම කම්මැලි දෙයක් වෙයි, මරීනා, එහෙම නේද? මම කිව්වේ, අපිට පොදු භාෂාවක් නැහැ නේද?”

“නැහැ, පියොටර්, ඒ උනාට දුක් වෙන්න එපා, ඔයාට කියන්න තරම් රසවත් දෙයක් ගැන හිතන්න පුළුවන් නම්, ඔයාගේ දුව හරි මම හරි ඒක ඔයා වෙනුවෙන් පරිවර්තනය කරන්නම්.” ඇය විහිළු කිරීමට උත්සාහ කළ නමුත්, එම විහිළුව මගින් ඔහුට රිදුන අතර ඔහුගේ ගමන ගැන තිබූ නොකැමැත්ත වැඩියෙන් දැනෙන්නට විය.

“කමක් නෑ තාත්තේ, මම ඔයා වෙනුවෙන් පරිවර්තනය කරන්නම්, හිතලා බලන්න, ඔයාට බලන් ඉන්න ලස්සන කාන්තාවන් හතර දෙනෙකු ඉන්නවා, අම්මාටයි මටයි බලන් ඉන්න වෙන්නේ වයසක පිරිමි දෙන්නෙක් දිහා තමයි.”

හාස්‍යය ඇති කිරීම සඳහා වූ ඇයගේ එම උත්සාහය සාර්ථක වූ අතර එමගින් ඔහුගේ මුවට සිනහවක් නැගුණි. ඒ නිසා ඔහු තම හොඳම ජැකට්ටුව ඇදගෙන පහළ තට්ටුවට ඔවුන් පසුපස ගියේ මරීනා හට වරප්‍රසාදයක් ලෙස ගමන වෙනුවෙන් ලැබුණු කුලී රථයටය. අවම වශයෙන් පළමු රාත්‍රිය එතරම් බරපතල නොවනු ඇතැයි ඔහු සිතුවේ, සංචාරකයින් සියලු දෙනාටම පොදු දෙයක්වූ මහන්සියෙන් අමුත්තන්ද සහතික ලෙස පීඩා විඳින නිසා, ඔවුන්ට ඉක්මනින් නින්දට යාමට අවශ්‍ය වනු ඇති නිසාය. මෙම ස්ථානය නගරයේ ඉහළම අවන්හලක් වූ අතර එහි ස්ථානයක් සවස් වරුවේ පක්ෂය විසින් ඔවුන් වෙනුවෙන් වෙන් කර තිබිණි. විධිමත් ලෙස පිළිගැන්වූ කොටස් හතරකින් යුත් රාත්‍රී භෝජන සංග්‍රහයක් ඔවුන් භුක්ති වින්ද අතර සාම්ප්‍රදායික සංගීත කණ්ඩායම් දෙකක්, එනම් රුසියානු සහ කසකස් සංගීත කණ්ඩායම් දෙකක් මගින් සංගීතය වාදනය කරන ලදී.

මරීනා, ඇයගේ පවුලේ අය, අමුත්තන් විසිතුන් දෙනා සහ පක්ෂයේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ භාර්යාවන් දිගු මේසයක වාඩි වී සිටියහ. මරීනා මේසයේ මැද හිඳ සිටි අතර ඇයගේ දකුණු පසින් ඇයගේ පවුලේ සාමාජිකයින් දෙදෙනාද, වම් පසින් අල්මා ආටා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් දෙදෙනාද අසුන් ගත්තෝය. ඔවුනට ඉදිරිපසින් මේසයේ වාඩිවී සිටියේ මිසුකිවරුය. මරීනාගේ පළමු කාර්යය වූයේ තම උසස් නිලධාරීන් එකිනෙකාව අමුත්තන්ට හඳුන්වා දීම වූ බැවින්, ඇය ඔවුන්ව මේසය වටා ගෙන ගොස් හැඳින්වීම් කළාය.

මරීනා සිය පිළිගැනීමේ කථාව ඉතා කෙටියෙන් කලේ, එම කතාව ජපන් භාෂාවෙන් සහ ජපන් වචනයක්වත් කතා නොකළ කාමරයේ අසුන්ගෙන සිටි සියයක් පමණ වූ තම පක්ෂයේ සෙසු සාමාජිකයන්ගේ පහසුව පිණිස රුසියන් භාෂාවෙන්ද කලයුතු වූ බැවිනි. ඔවුන්ගේ සත්කාරකයන්ට ස්තූති කරමින් කෙටි පිළිතුරු කථාවක් සී.පී.ජේ. හි සභාපති විසින් ලබා දුන් අතර තවත් රුසියානු නිලධාරීන් කිහිප දෙනෙක් කෙටියෙන් කතා පැවැත්වූහ. නමුදු ඒ කිසිවක් කිසිවෙකු විසින් පරිවර්තනය නොකළේය. සිරිත් විරිත් කටයුතු අවසන් වූ විට, ආහාර ගැනීම ආරම්භ වූ අතර මිනිසුන් විවේකී ස්වභාවයෙන් සිටියෝය.

හිරෝටෝ විසින් මිර්ස්කි වරුන් පුදුමයට පත් කළේ ඉදිරියට නැමී කැඩුණු රුසියානු භාෂාවෙන් පියොටර් සමඟ කතා කරමිනි. හිරෝටෝගේ තදබල උච්චාරණ ශෙෙලිය නිසා පියොටර්ට ඔහු කිවූ දේ තේරුම් ගැනීම අපහසු විය, නමුත් ඔහු හිරෝටෝ දැරූ උත්සාහය අගය කළ අතර වයින් සහ වොඩ්කා පාවිච්චිය වැඩිවත්ම ඔහු තදබල උච්චාරණයට පුරුදු වූ අතර සන්නිවේදනය පහසු විය. මරීනා තමා සිතාසිටි ප්‍රමාණයට වඩා පියොටර් හට උදව් කළ නමුත් එය ඇය බලාපොරොත්තු වූවාට වඩා අඩු ප්‍රමාණයක් විය. එසේ වූයේ මරීනාට නොකියා, ඇයව තම ඊළඟ චාරිකාවේදී පුදුම කරවනු පිණිස මිසුකිවරු පසුගිය මාස දොළහක කාලයක් තිස්සේ රුසියානු භාෂාව ඉගෙන ගෙන තිබූ නිසාය.

ගැහැනු ළමයින් දෙදෙනාගේ සංවාදය ආරම්භ වූයේ එකිනෙකා දෙස බලා තම දෙමව්පියන්ගේ අමුතු උපායන් දෙස විහිළුවෙන් සිනාසෙමිනි.

“යූයි, ඔයා කතා කරන්නේ මොන භාෂාද?” නටාෂා අයගෙන් ඇසුවාය.

"රුසියානු, ජපන් සහ ඉංග්‍රීසි, ඒවා වලින් ඕනෑම එකක් මට පුළුවන්, නටාල්යා, ඔයා කැමති ඕනෑම එකකින් කතා කරන්න."

ඔවුන් ජපන් හා රුසියානු භාෂාවන් අතර පහසුවෙන් කතාබහ කළ අතර, විශේෂිත සූක්ෂමතාවයක් ලබා ගැනීමට, විලාසිතාවක් ලෙසට හෝ සුදුසු යැයි හැඟුණු විට ඉංග්‍රීසි වචන කිහිපයක් ඒ අතර භාවිත කළෝය.

“ඔයා ඉංග්‍රීසි කතා කරන්නේ ඇමරිකානු උච්චාරණයකින්” කියා නටාෂා පැවසුවාය.

“ඔව්, ජපානයේ ඇමරිකානු සොල්දාදුවන් සහ සංචාරකයින් විශාල ප්‍රමාණයක් ඉන්නවනේ. ඉංග්‍රීසි භාෂා රූපවාහිනී චැනල් එක ඇත්තෙන්ම ඇමරිකානුයි.”

“මටත් ඉංග්‍රීසි උච්චාරණයක් තියනවා. මගේ ඉස්කෝලේ බීබීසී ලෝක සේවයේ ඉන්න අය කතා කරන විදිහට කතා කරන්නයි උගන්නනේ. නමුත් ඒක අමාරුයි, මොකද අපිට ගෙදරදී ඒකට ඇහුම්කන් දෙන්න එපා කියලා කියන නිසා. අපේ කථිකාචාර්යවරු සුදුසු වැඩසටහන් පටිගත කරලා, ඒවා සංස්කරණය කරලා තමයි අපිට පුරුදු වෙන්න දෙන්නේ.”

“යම් විදිහක වාරණයක්, එහෙම නේද ඔයා අදහස් කළේ? ඔයාලට මෙහෙ වාරණ දාලා තියෙනවාද?”

“මම හිතන්නේ එහෙම තමයි. නමුත් ඒක අපේම යහපතට තමයි. බටහිර ධනේශ්වර ආණ්ඩු වල අවයව ප්‍රචාරක කටයුතුවල යෙදිලා ඉන්නවා. එයාලා ඒවාට ලේසියෙන් රැවටෙන අයව අල්ලගන්නයි නිතරම බලන් ඉන්නේ. ශිෂ්‍යයන් වගේ අයගේ තරුණ මනස පහසුවෙන් එහා මෙහා යන්න පුළුවන් නිසා එයාලව ආරක්ෂා කරන්න ඕනේ. ඔයා ඒකට එකඟ වෙනවා නේද?”

“මගේ දෙමව්පියන් නං මට කියන්නේ ඇමරිකානු සහ ජපන් මාධ්‍යවලින් මං අහන හැම දෙයක්ම විශ්වාස කරන්න එපා කියලයි. මොකද, එයාලා කියනවා කියන්න ඕනෙ දේ මොනාද කියලා පාලනය කරන්නේ ඇමරිකානුවන් කියලා.”

“ඔව්, මම හිතන්නේ එයාලත් හරි කියලයි, යූයි. බොරුවලින් ඔයාව ආරක්ෂා කරන්න පුළුවන් බුද්ධිමත් වගේම ඔයා ගැන සැලකිලිමත් වෙන දෙමාපියන් ඔයාට ඉන්න එක වාසනාවක්. ඔයාගේ දෙමව්පියන්ට වගේම හැම ජපන් ජාතිකයෙකුටම අධිරාජ්‍යවාදීන් එක්ක සමීප සම්බන්ධතා එක්ක අත්දැකීම් තියනවා. ඒ නිසා එයාලා තමන්ගේ දරුවන්ට උපදෙස් දෙන්න සුදුසු තැනක ඉන්නවා. නමුත් සෝවියට් දෙමව්පියන්ට එහෙම සම්බන්ධතාවයක් නැහැ. මෙහිදී දී රජය අපි වෙනුවෙන් ඒ රාජකාරිය කරනවා, නමුත් ප්‍රතිඵලය දළ වශයෙන් සමානයි. ඔයා ඔයාගේ දෙමව්පියන්ගේ කැමැත්තට අනුව වැඩ කරන්නේ නැද්ද?”

“ඔහ්, මම එයාලට ඇහුම්කන් දෙනවා. මම දකින හරි කියවන හරි හැම දෙයක්ම ගන්නේ ලුණු ටිකක් හැන්දකින් ගන්නවා වගේ, ඔයා කරදර වෙන්න එපා… ”

“ඇත්ත ප්‍රකාශය ‘ලුණු කුඩු ස්වල්පයක්’ නේද?” නටාෂා ඇසුවේ සිනහ සෙමිනි.

“මම ජීවත් වන තැන නෙමෙයි, නටාල්යා, මම ඉන්න තැන නොවෙයි!” ඔවුන් දෙදෙනාම සිනාසෙන්නට පටන් ගත්හ. ඔවුන්ගේ මව්වරු පෙරදිග ආකාරයෙන් දෑත් පිටුපස තබාගෙන සිනාසෙන ගැහැණු ළමයින් දෙස බලා එකිනෙකාට සිනාසෙමින්, ඔවුන් දෙදෙනා ඉතා ඉක්මනින් කුළුපග වීම ගැන සතුටු වූහ.

මෙම පවුල් දෙක එම සවස් යාමයේ ඉතා පහසුවෙන් කතාබහ කළ අතර වැඩි කාලයක් යන්නට මත්තෙන් ඔවුන් එකිනෙකාගෙන් වෙන්ව යාමට කාලය පැමිණියේය. ගැහැණු ළමයින් දෙදෙනා රුසියානු චාරිත්‍රානුකූලව වැළඳ ගත් අතර එය පෙනුමෙන් අමුතු විය. නමුත් යූයිට එය හොඳ යැයි හැඟුණු අතර පසුව නටාෂා පාසැලේදී ඉගෙන ගත් ජපන් සම්ප්‍රදායට අනුව මඳක් නැමී දෙදෙනා ආචාර කලෝය.

ඔවුන් නිවසට පැමිණි විට නටාෂා තම මවගෙන්, ඇය ප්‍රසිද්ධියේ විමසීමට එඩිතර නොවූ කාරණය විමසුවාය. “යූයි සමහර වෙලාවලට මගේ කාමරයේ නිදා ගත්තාට කමක් නැද්ද අම්මේ?”

“ඇත්ත වශයෙන්ම කමක් නැහැ, එයාගේ අම්මලා ඒකට කැමති වෙනවා නම්. එහෙම අකමැති වෙන්න තරම් කිසිම හේතුවක් නම් තියෙන්න විදිහක් නැහැ.”

ඉතින්, ඊළඟ දින හය හා රාත්‍රිය තුළදී ගැහැනු ළමයින් දෙදෙනාව එකිනෙකාගෙන් වෙන් කළ නොහැකි විය. නටාෂාගේ කාමරයේ රාත්‍රි තුනක් සහ යූයි ගේ කාමරයේ රාත්‍රි තුනක් ලෙස ඔවුන් ගත කළෝය. හෝටලයේ ගතකල පළමු උදෑසන නටාෂා අවදි වූ පසු යූයි සහ ඇගේ මව සතුව තිබූ වේශ නිරූපණ කට්ටලය දැක විශ්මයට පත් විය.

“මේක අපිට තියනවාට වඩා හොඳ වේශ නිරූපණ කට්ටලයක්, යූයි, බලන්නකෝ මේකේ තෝරගන්න තියන දේවල්! මොන එක ගානවද කියලා තෝර ගන්න ඔයාගේ මනස හදා ගන්නේ කොහොමද? මම ඔයාට ඊර්ෂ්‍යා කරනවා. මම දුක්වෙනවා අපිට මේ වෙළඳ නාම මෙහෙ නැති එකට.”

යූයිට එය අවුල් සහගත හැඟීමක් වූ බැවින් ඇය “ටෂ්” යැයි කීවාය. ඇය එය නටාල්යාගේ පියාගෙන් ඉගෙනගත් නටාල්යාට ආමන්ත්‍රණය කරන වචනය වූ අතර එය පාවිච්චි කිරීමට කැමති වුවාය. “අපි දෙන්නා කොච්චර සමානද කියලා ඔයා දැකලා තියනවාද?”

"ඔව් මම දැකලා තියනවා. කොන්ඩෙයි, වචන උච්චාරණය කරන විදිහයි, ඉරියව් වගේ ප්‍රධාන වෙනස්කම් නම් අපිට හදා ගන්න පුළුවන්, ඒ වගේම මේ තියන වේශ නිරූපණ කට්ටලයෙන් අපේ මූනේ තියන සුළු සුළු වෙනස්කමුත් ලේසියෙන්ම හංගන්න පුළුවන්.”

“ටෂ්, අපි එහෙනම් පොඩ්ඩක් විනෝද වෙමුද? අපිට එකිනෙකා මෙන් පෙනී ඉඳලා අපේ දෙමව්පියන්ට අපිව වෙන් කරලා අඳුරගන්න පුලුවන් වෙයිද කියලා බලමුද! මොකක්ද ඔයා ඒ ගැන කියන්නේ?"

“ඔහ්, මම දන්නේ නැහැ… මම නම් මගේ කොණ්ඩේ ඔයාගේ වගේ කපන්නේ නැහැ, සමාවෙන්න. තරහක් නැහැ, නමුත් මම මගේ දිග කොණ්ඩෙට ආසයි… ඒක මේ විදිහට වවා ගන්න මට අවුරුදු දහඅටක් ගියා. ජපන් ගැහැනු ළමයි කොණ්ඩෙ කපන්නේ ඇයි?”

“නැහැ, ඔයා හරි, ඒක ලස්සනයි. මට ඉස්කෝලේ යනකොට ඒක කපන්න වුණා. නමුත් මම ලබන මාසයේ විශ්ව විද්‍යාලයට යන්න පටන් ගත්තාම කොණ්ඩේ වවන්නයි ඉන්නේ… මම දන්නවා, අපිට තොප්පි අඳින්න පුළුවන්නේ! මේ ළඟ කඩයක් තියනවාද අපිට ලාබෙට තොප්පි හරි කැප් හරි ගන්න පුළුවන්?”

“ඇත්තෙන්ම තියනවා! අල්මා අටා හරි ප්‍රසිද්ධයි ලාභ තොප්පි වලට” ඇය විහිළු කළාය. ඉතින්, ඔවුන් උදේ ආහාරය ගත් පසු, පක්ෂය මගින් සංවිධානය කර තිබූ, නමුත් ඔවුන් දෙදෙනාට යාමට අවශ්‍යතාවයක් නොතිබූ යුද ස්මාරකයක් නැරඹීමේ චාරිකාව මගහැර ඔවුන් සාප්පු සවාරි ගියෝය. ඔවුන් පැය කිහිපයකට පසු තමන් මිලදී ගත් භාණ්ඩ දැමූ බෑග් රැගෙන ආපසු පැමිණියහ. නමුත් එක් දෙයක් යූයිට තේරුම් ගියාය, එනම් භාණ්ඩ සඳහා මොනයම් ආකාරයකවත් තෝරා ගැනීමක් නොතිබූ බවයි. එය ඇත්තෙන්ම නටාෂා කිවූ තත්වයට වඩා නරක බව ඇයට වැටහුනාය.

මෙතරම් විශාල නගරයක තිබූ විශාලතම දෙපාර්තමේන්තු සාප්පුවක පවා අසතුටු දායක මට්ටමේ තිබූ වේශ නිරූපණ භාණ්ඩ කවුන්ටරය දැක ඇය කලකිරුනාය. ඔවුන් සතුව තද-රතු තොල් ආලේපන සහ ලා-රතු තොල් ආලේපන තිබුණත් තෙල් සහිත රසයෙන් හා මාළු සුවඳින් යුත්වූ එය ඇත්තෙන්ම අප්‍රසන්න විය. එලෙසම එහි නියපොතු ආලේපන ද තිබුණි. ඒවා රෝස හෝ පැහැදිළි වර්ණයන්ගෙන් පමණක් සමන්විත විය. නටාෂා තේරුම් කලේ පැහැදිලි වර්ණයේ නියපොතු ආලේපන මිලදී ගැනීමට සැමවිටම නොහැකි වන්නේ ආණ්ඩුවට රටෙහි ඇති හිඟ සම්පත් ප්‍රයෝජනයට ගැනීමේදී ප්‍රමුඛතාවය අනුව කටයුතු කල යුතු නිසා බවය. සාමාන්‍ය, දේශීය සාප්පු වල තේරීම ඊටත් වඩා නරක තත්වයක තිබිණි.

වලූටා සාප්පු වල තත්වයද හොඳ නොවීය - විදේශ මුදල් භාවිතා කරමින් පමණක් වෙළඳාම් කළ විශේෂ වෙළඳසැල් වලූටා නමින් හැදින්විණි. විදේශ මුදල් තමා සන්තකයේ තබා ගැනීම රුසියානුවන්ට නීති විරෝධී විය. ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන්ද එය එසේම විය.

“ආයෙත් බඩු හිඟයන් තියනවා වගෙයි”, නටාෂා සමාව යදින ස්වරූපයකින් කිවූ නමුත් යූයි ට ඒ මොහොතේ තේරුම් ගියේ ඇයට සමාජවාදී හෝ කොමියුනිස්ට් රටක ජීවත් වීමට අවශ්‍යතාවයක් නොමැති බවය. කෙසේ වෙතත්, ඇය ආචාරශීලී, සංවේදී හා බුද්ධි ගෝචර වෙමින් ඇගේ නව හොඳම මිතුරියට පවා තම අදහස් ප්‍රකාශ කිරීමට මැලි වුවාය.

ඔවුන් සවස් කාලය ගත කළේ බොහෝ සිනාසෙමින්, ඇඳුම් අඳිමින් සහ ඔවුන් දෙදෙනාගේම දෙමුහුන් චරිත බවට පත්වීමෙනි. මිසුකි මහතා සහ මහත්මිය ඔවුන්ගේ සංචාරයෙන් ආපසු පැමිණි පසු, මුලින්ම ඔවුන් දුටුවේ නටාෂා ඇයගේ වෙස්වළාගත් ස්වරුපයෙන් රූපවාහිනිය නරඹමින් සිටින ආකාරයයි. නමුත් ඇය ඔවුන් දෙස හැරී නොබලා ‘හෙලෝ’, යනුවෙන් ඇයගේ හොඳම උච්චාරණය ශෙෙලිය අනුකරණය කරමින් පවසා සිටියාය.

“අලුත් ඇඳුම්, නේද ආදරණීය දුවේ? අලුත් නව වේශ නිරූපණයකුත්! ඔයා හරිම ලස්සනයි, යූයි!” ඇගේ මව ඇය ඇඳසිටි කබාය ගලවා එය එල්ලන ගමන් පැවසුවාය. “එයා ලස්සන නැද්ද, තාත්තේ?”

හිරෝටෝ එයට එකඟ වී පිළිතුරු දීමට ආසන්නව සිටි මොහොතේම යූයි ඇගේ නිදන කාමරයෙන් එළියට ආවාය.

“එයා එහෙම නේද අම්මේ?”

එම අවස්ථාවේදී, නටාෂා ඔවුන් දෙසට හැරී සිනාසුණු අතර මව්පියන් දෙදෙනාම දෙවරක් හුස්ම ගෙන, ඔවුන්ගේ මුඛයන් වීවෘතවී විස්මයට පත්වුහ.

“අම්මෝ ඒක අදහන්න බැරි දෙයක්! ඔයාලා දෙන්නා සමාන නිවුන් දරුවන් වගේ පේන්නේ! ගැහැනු ළමයින් දෙදෙනා එකිනෙකා සමීපයට ගොස් එකිනෙකාගේ උරහිස වටා දෑත් තබාගෙන කණ්නාඩිය තුලින් පෙර පුරුදු කළ සිනහවෙන් ඔවුන්ට සංග්‍රහ කළෝය. එවිට ඔවුන් සියල්ලෝම සිනාසෙන්නට පටන් ගත්හ.

“මට බැහැ, ඔයාල දෙන්නව වෙනම කියන්න මට බැහැ. දැන් උනත් මම දන්නවා… මට හිතෙනවා ඒක අද්භූත දෙයක් කියලා. සමහර විට මට ගොඩාක් බලයක් තියන කණ්නාඩි දෙකක් ඕනේ වෙයි වගේ”, හිරෝටෝ සිය ඇස් කණ්ණාඩි ගලවා ඒවා දෙස බලා සිටියද, එයින් කිසිදු වෙනසක් සිදු නොවීය.

නටාෂා ඇය මෙතෙක් පැළඳ සිටි කර්නාබි-වීදියේ නම්‍යශීලී තොප්පිය ගලවා දමා ඇගේ කොණ්ඩය කඩා වැටෙන්නට ඉඩ හැරියාය.

“මිසුකි මහත්මයා, දැන් ඔයාට ලේසිද?”

“ඒක බොරු කොණ්ඩයක් වෙන්න පුළුවන්” ඔහු සිනාසෙමින් විහිළු කළේය.

“අපි ඒ ගැන හිතුවේ නැහැ, එහෙම නේද?” යූයි නටාෂා දෙස බලා පිළිතුරු දුන්නාය.

සතියේ ඉතිරි කාලය තුළදී, ඔවුන් එකම වර්ගයේ ඇඳුම් පැළඳ නිවුන් දරුවන් ලෙස ක්‍රියා කරමින් තම කණ්ඩායමේ සෙසු මිනිසුන් විනෝදයට පත් කළහ. අවසාන රාත්‍රියේ සමුගැනීමේ ප්‍රසංගයේදී ඔවුන් ඉංග්‍රීසියෙන් ‘සහෝදරියන්’ නැමති යුගල ගීතය ගායනා කළෝය. බලා සිටි සියල්ලෝ මහත් ප්‍රීතිමත්ව අත්පොඩි ගසමින් සිනාසෙමින් ඒ බව ප්‍රකාශ කලෝය.

නටාෂා තම මව සහ අමුත්තන් සමඟ උතුරු කොරියාවට පියාසර කිරීම සඳහා විශේෂ අවසරයක් ඉල්ලා ලබා ගත් අතර, ඇයද යූයි මෙන් ම සැබෑ ගමනාන්තය ගැන අන් අයට නොකීමේ කූට උපායෙන් විනෝද වූවා ය. නමුත් ඇයගේ මව පසුගිය වසර කිහිපය තුළ එම උපායන්ගේ කොටසක් වී ඇති බව ඇය නොදැන සිටියාය.

යූයි නැවත බස් රථයෙන් හෝටලයට යාමට පෙර ඔවුන් බදාගෙන සිටියදී නටාෂා පැවසුවේ, “ඒ සතිය නම් හරිම ඉක්මනට ගියා, යූයි. ඔයාට දැන් මගේ ලිපිනය තියනවා නේද? ඔයා මට ලියනවාද? අපිට පෑනේ මිතුරන් වෙන්න පුළුවන්! අපි හම්බ උන නිසා දැන් ඉතින් එකිනෙකා එක්ක සම්බන්ධතාවය තියා ගන්න ඕනේ. අයෙත් ඔයාව දකින්නේ නැතුව, කතා කරන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා මට දරාගන්න බැහැ. මට හිතෙනවා ගොඩාක් කාලයක් තිස්සේ මට නැතිවෙලා හිටිය මගේම සහෝදරියක් මට ආයෙත් හම්බ වෙලා කියලා. ඔයාගේ විශ්ව විද්‍යාල ගමනට මගෙන් සුභ පැතුම්.”

යූයිගේ සංස්කෘතිය විසින් ඇයට හැඟීම් බරවීමට හෝ ඒ බව පෙන්වීමට ඉඩ හැරියාට වඩා නටාෂා බොහෝ හැඟීම්බර වූවාය. නමුත් ඇයට අවශ්‍ය වූයේ ඇගේ නව මිතුරිය සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමටය. “අපේ නිවාඩුව ඉතා ඉක්මණින් ගෙවීලා ගියා… සහෝදරියන් ගැන ඔයා අදහස් කරන්නේ මොකක්ද කියලා මම දන්නවා. ඒක විහිළු දනවන දෙයක්, අපි දෙන්නාට සහෝදර සහෝදරියන් නැහැ… එත් දැන් එක් කෙනෙක් හමුවීම සතුටක්… මම නැවත ටෝකියෝවට ගිය ගමන්ම ඔයාට ලියන්නම්!” ඇය පොරොන්දු වුවාය.

ඇය එසේ කළ අතර නටාෂා ද පිළිතුරු ලිපියක් හැරෙන තැපෑලෙන් එව්වාය. වසර පුරාම, ලිපි අතර පැය විසිහතරක විවේක කාලයක් නොතිබෙන තරම් වේගයකින් ඔවුන් එකිනෙකාට ලිවුවෝය.

සෝවියට් සමූහාණ්ඩුවේ ඒ කාලයේ කම්කරුවන් කළ රැකියාව කුමක් වුවත් වැටුප් තරමක් සමාන විය. මිනිසුන් අතර වෙනස් කමක් ඇතිකරනු ලැබුවේ ඔවුන් භුක්ති විඳින වරප්‍රසාදයන්හි ප්‍රමාණයයි. මරීනාට බොහෝ වරප්‍රසාද තිබුණි. ඇය සිය ඊළඟ ‘සංස්කෘතික මෙහෙවර’ සඳහා ජපානයට යන බව ප්‍රකාශයට පත් කළ විට, නටාෂා ඇයවද මේ ගමනට සහභාගී කරගන්නා මෙන් තම මවගෙන් අයැද සිටියාය. තම දියණියගේ පියාසැරිය සඳහා ගෙවීමට මරීනාට මුදල් නොතිබුණද, අවසානයේදී නටාෂා හට ජපානයේ කොමියුනිස්ට් පක්ෂය සමඟ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ පුහුණුවක් ලැබෙනු ඇතැයි යන පදනම මත, ඇයගේ ඉල්ලීම අනුමත කරන ලෙස ඇයගේ ඉහළ නිලධාරීන්ට ඒත්තු ගැන්වීමෙන් පසු අවසානයේදී ඒ සඳහා මුදල් ගෙවීමට පක්ෂය පොළඹවා ගැනීමට ඇය සමත් වුවාය. ජපානයේ ජනතාව සමඟ සාකච්ඡා කිරීමේදී නටාෂා තම සාර්ථක බව ඔප්පු කළහොත්, ඇය භාෂා කතා කළ වෙනත් රටවල සංචාරය කරන විටද කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතවරියක ලෙස ඇයව යොදා ගත හැකි බව ඇය පෙන්වා දුන්නාය.

අන්තිමේදී ගමන සඳහා අවසරය ලැබුණු අතර මව සහ දියණිය ටෝකියෝවට සියලු වියදම් ගෙවන චාරිකාවක් සඳහා පිටත් වූහ. මෙය ඉදිරියේදී නටාෂාගේ වාර්ෂික ගමනක් බවට පත්වූ අතර, එය දැනටමත් ඇගේ මව සඳහා ද්වි-වාර්ෂික සංචාරයක් විය.

1967 ඔක්තෝම්බර් මාසයේදී නටාෂා අල්මා අටා විශ්ව විද්‍යාලයට නිල වශයෙන් ඇතුලත් වූ අතර, ජපන් භාෂාව, ඉතිහාසය සහ සංස්කෘතිය ඇගේ ප්‍රධාන විෂය ධාරාව ලෙස තෝරා ගත් නමුත් ඉංග්‍රීසි, ප්‍රංශ සහ ජර්මානු භාෂාවන්ද ඇය හැදෑරීය. එම වසරේම සැප්තැම්බර් මාසයේදී යූයි රුසියානු, ඉංග්‍රීසි සහ චීන භාෂා ඉගෙනීමට පටන් ගත්තාය. මෙයින් අදහස් කළේ සෝවියට් රාජ්‍යය නටාෂාට දෙවන හා තෙවන වසරවල ජනවාරි සිට අප්‍රේල් දක්වා මාස තුනක් ජපානයේ අධ්‍යාපනය ලැබීම සඳහා වියදම් කරන බවත් ජපාන රජය යූයිට ඇගේ දෙවන හා තෙවන වසරවල ගිම්හානයේදී රුසියාවේ අධ්‍යාපනය ලැබීම සඳහා වියදම් කරන බවයි.

ඔවුන් දෙදෙනා නිවුන් දරුවන් මෙන් එකිනෙකාට සමීප වූ අතර සමාන හැසිරීම් රටාවන් සහ කතා කිරීමේ ශෛලියයන් පවා අනුගමනය කළහ. නටාෂාට යූයිගේ ජපන් උච්චාරණය අනුකරණය කිරීමේ කිසිදු අපහසුවක් නොවූ අතර යූයි විසින් නටාෂාගේ රුසියානු අනුකරණය කිරීමද සැබෑ ලෙසම කල අතර, ඔවුන් දෙදෙනාම ඉංග්‍රීසි වෙනස් ලෙස උච්චාරනය කරමින් කථා කළහ - එක් අයෙක් ඉංග්‍රීසි සහ අනෙක් කෙනා ඇමරිකානු ඉංග්‍රීසි ලෙස. නටාෂා ඇත්ත වශයෙන්ම ඇමරිකානු උච්චාරණයට අකමැති වූ අතර ඇයට අවශ්‍ය නම් එය කළ හැකි වුවද එය භාවිතා කිරීම ප්‍රතික්ෂේප කළාය. නමුත් යූයි හට, මුලින්ම ඇමරිකානු උච්චාරණය ඉගෙන ගන්නා සියල්ලන්ටම සිද්ධ වෙන්නාක් මෙන් සැබෑ ඉංග්‍රීසි උච්චාරණයක් ලබා ගැනීමට නොහැකි විය.

එම ආරම්භක රැස්වීමෙන් පසු සෑම වසරකම සති දෙකත් සහ මාස පහත් අතර කාලයක් ඔවුන් එකට සිටි අතර, ඒ හැම මොහොතකම ඔවුන් මිතුරන් දෙදෙනෙකුට වඩා, වෙන් කළ නොහැකි ඉතා සමීප නිවුන් දරුවන් මෙන් හැසිරුණහ. ඇත්ත වශයෙන්ම, ඔවුන් එකට සිටීම කෙතරම් ස්වාභාවිකද යත්, ඔවුන්ව සමාජයේදී මුණගැසුණු කිහිප දෙනෙකු ඔවුන් නිවුන් දරුවන් නොවන බව දැනගත් අතර ඔවුන්ද එය කිසි විටෙකත් ප්‍රතික්ෂේප නොකළෝය. මන්ද, ඔවුන් දෙදෙනා අතර තිබූ සම්බන්ධතාවය ඔවුන් එකිනෙකාට සහ ඔවුන්ගේ දෙමව්පියන් සමඟ විස්තර කලේ, ඔවුන් දෙදෙනා ඔවුන්ගේ සිතුවිලි වලින්ද ආත්මීය-නිවුන් දරුවන් ලෙසටය.

5 යූරි ව්ලැඩිමිරොවිච් ඇන්ඩ්‍රොපොව්

ගැහැනු ළමයින් දෙදෙනාම ඔවුන්ගේ අවසන් මහා විභාග සමත් වූයේ, ඔවුන්ට ලබාගත හැකි ඉහලම සම්මාන සාමාර්ථ සමගිනි. ඇත්තෙන්ම ඔවුන් දෙදෙනාටම බටහිර රටවල 'මැක්සිමා කම් ලෝඩ්' ලෙස හැඳින්වවෙන එනම්, දීප්තිමත් සිසුන්ගේ උපාධියක් සඳහා සඳහා කලාතුරකින් භාවිතා කරන ගෞරවයක් සමග සමත් වූහ. ඔවුන් දෙදෙනාට එකට සිටිය නොහැකිවූ, ඔවුන්ගේ පවුල්, මිතුරන් සහ සෙසු ශිෂ්‍යයන් සමඟ සති දෙකක් පුරා පැවැති සැමරුම් කාලයකින් පසුව, ඔවුන්ව සැබෑ ලෝකයට යවන ලද්දේ තම ජීවිකාව උපයා ගැනීම සඳහා ය.

කෙසේ වෙතත්, ඉරණම නැවතත් ඔවුන්ට එක හා සමාන ආකාරයකින් සැලකුවේය. ඇගේ ප්‍රතිඵල මත පදනම්ව ඇගේ පියාගේ අල්ලස් දීම මත යූයිට මුදල් අමාත්‍යාංශයේ තනතුරක් හිමි වූ අතර, නටාෂාට ඇගේ පැරණි උසස් පාසලේ ගුරුවරයෙකු ලෙස රැකියාව ලැබුනේ රැකියා දෙපාර්තමේන්තුව විසින් ඇයගේ විශිෂ්ට භාෂා කුසලතා ප්‍රයෝජනයට ගතහැකි සුදුසු රැකියාවක් පසුව ලබා දෙන තුරුය. ඇගේ නව රැකියාවට ගොස් මාස දෙකකට පසු යූයි ‘අගෝස්තු කසක් චාරිකාව’ සඳහා සති දෙකක නිවාඩුවක් ඉල්ලුම් කළාය. ඇයට එය ලබා නොදීමට ඔවුන් තීරණය කලද ඇයගේ දෙමව්පියන්ගේ මැදිහත්වීමත් ඔවුන් ‘සෑම විටම අගෝස්තු මාසයේදී පිටත්ව ගිය’ බව සාක්ෂි සහිතව පෙන්වීම නිසා ඇයට ගමන සඳහා නිවාඩු අනුමත විය. හිරෝටෝ ද සිය දෙපාර්තමේන්තුව තුළ සැලකිය යුතු බලපෑමක් ඇති කළහැකි උසස් ස්ථානයකට මේ වනවිට පැමිණ සිටියේය.

“ඕහ්, ටෂ්, ඔයාව ආයෙත් දකින්න ලැබුන එක හරිම සුන්දරයි! ඔයාට කොහොමද, ඩාලිං?” ඇය උතුරු කොරියානු හමුදා ගුවන්තොටුපලේ ධාවන පථය මත නටාෂා ව බදාගෙන ඇසුවාය. තම කුළුපග යහළුවන් බදාගෙන සිප ගැනීම සහ ‘ඩාලිං’ ලෙස ආමන්ත්‍රණය ඇය විශ්ව විද්‍යාලයේදී ලත් බලපෑම් අතර විය.

"මට හොඳයි, සහෝදරිය, ඔයාව දකින්න ලැබීම සතුටක්, නමුත් ඔයා දුකෙන් ඉන්නවා වගෙයි, මොකක්ද ප්‍රශ්නය?"

“මට දැන් ඔයාට ඒක ගැන කියන්න බැහැ. අපි සතුටින් ඉන්න උත්සාහ කරමු. ඔයා එනකොට ඒ ගුවන් යානයෙන් බොන්න මොනවා හරි ලැබුනාද? මට නම් සීතල බියර් වීදුරුවකට හරි වයින් වීදුරුවකට හරි කාව හරි මරලා දාන්න උනත් පුළුවන්!” නටාෂා විශ්ව විද්‍යාලයේ බියර් පානය කිරීමට ද ඉගෙන ගෙන තිබූ අතර, ඒ නිසා ඔවුන් එකට යානයේ වාඩි වී, බියර් පානය කරමින්, අල්මා අටා හි ගොඩ බසිනතුරු එකිනෙකාගේ ජීවිත ගැන අල්ලාප සල්ලාපයේ යෙදුනාහ.

එදින සවස ඔවුන් නැවත කතා කළහ. “ඔයා තාමත් දුකෙන් ඉන්නේ, සහෝදරිය. ඔයාගේ ගැටලුව ගැන ඔයා මට කියන්නේ නැත්තේ ඇයි? අපි කවදාවත් එක් එක් කෙනාගෙන් කිසිම දෙයක් හංගගෙන ඉඳලා නැහැනේ.”

“නැහැ ඒක කිසිම වැදගත් දෙයක් නෙමෙයි, ඇත්තටම... මම මෝඩයෙක්… කළගුණ නොදන්නා කෙනෙක්, ඒ නිසා මම මටම වෛර කර ගන්නවා… ඒක මගේ රස්සාව, ඩාලිං, එච්චරයි. කියන්න තරම් ම වරදක් නැහැ. ඔයා දන්න විදිහට මම මාස දෙකක් එතන වැඩ කරනවා. එත් දැනටමත් අවුරුදු දෙකක විතර කාලයක් වැඩ කරා වගෙයි මට තේරෙන්නේ. කිසිම විවේකයක් නැහැ. ටිකක් හිතලා බලන්න, මගේ දෙමව්පියන් ඒක කරනවා…” ඇය ඇගේ ඇඟිලි නමමින් ගණන් කිරීමට පටන් ගත්තාය. “මට දැන් වයස විසි-දෙකක්, මගේ තාත්තා යුද්ධයට ඉස්සෙල්ලා ඒක කරා, ඉතින් ඒක… ඒක අඩුම ගානේ අවුරුදු තිස් දෙකක්, මගේ අම්මා ටිකක් අඩු කාලයක්. ඒක මනසට මහා කම්මැලියි, ටෂ්! අපි දවස පුරා කරන්නේ ගණන් එකතු කරන එකයි, ගණන් අඩු කරන එකයි, ගණන් බෙදන එකයි, ගණන් වැඩි කරන එකයි, ආයේ ගණන් පරික්ෂා කරන එකයි විතරයි. මුළු මගුල් දවස පුරාම!”

“ඔයාට ඒක හිතා ගන්න පුලුවන්ද? ඒක මාව පිස්සු හදවනවා!”

"නෑ සහෝදරිය, මට හිතාගන්න බැහැ, නමුත් ඔයත් මම වගේම භාෂාවන් තෝරගෙන තියෙනවානේ. ඉතින් ඇයි ඔයා ඔය වගේ වැඩක් කරන්නේ?"

“ඔයා ලොකු තැනක ඉන්න කාවවත් දන්නේ නැත්නම්, ජපානයේ හොඳ රැකියාවක් ලබා ගන්න එක හරිම අමාරුයි. අනික මගේ තාත්තා අම්මා ඉන්නේ මුදල් අංශයේ නේ.”

“ඔව්, මට තේරෙනවා… ඔයාට බැරිද වෙන දෙපාර්තමේන්තුවකට මාරුවක් ගන්න?”

“ඔව්, සමහර විටක, ඒක සැලැස්මේ කොටසක් තමයි. නමුත් ඉස්සෙල්ලා, මම මුදල් අමාත්‍යාංශයේ අවුරුද්දක් වැඩ කරන්න ඕනේ. මම හිතන්නේ තාත්තා එහෙම කිව්වා. එතකොට මට විදේශ කටයුතු කාර්යාලයටත්, අන්තිමේදී රාජ්‍ය තාන්ත්‍රික බලකායටත් ඉල්ලුම් කරන්න පුළුවන්.”

“ඉතින් හොඳයි නේ, ඒක එච්චර භයානක නැහැ නේද? ඔයා දැනටත් මාස දෙකක් ඉවර කරලානේ ඉන්නේ, ඉතින් ඔයාට තව මාස දහයයි නේ තියෙන්නේ. ධෙෙර්යවත් වෙන්න සහෝදරිය.”

“මමත් එහෙම තමයි හිතන්නේ, නමුත් තව මාස දහයකට පස්සේ, විදේශ කටයුතු කාර්යාලයට බඳවා ගැනීමේ මණ්ඩලය පුදුමයට පත් කරන්න තරම් මොළයක් මට තියෙන එකක් නැතිවෙයි.”

නටාෂා සිනාසුණාය. “ඔයාගේ දෙමවුපියන් මෝඩ නැහැ, ඔයත් නැහැ. ඔයා ඒක කරයි, අනික මම හොඳටම දන්නවා ඔයා ඒක කොහොම හරි කරනවා කියලා… ඔයාගේ ඉලක්කය දිහාවට ඔයාගේ ඇස් තියාගෙන, දවසක් ගානේ ගත කරන්න. ඊළඟ අවුරුද්දේ මේ කාලේ වෙනකොට ඔක්කොම ඉක්මනට හරි ගිහින්, ඔයා ඒ කාරණයට මෙච්චර කලබල වුනේ ඇයි කියලත් කල්පනා කරයි.”

“ඔව්, නමුත් ඒක ප්‍රශ්නයේ කොටසක්… ඔයාට පේනවනේ, ඒක විතරක් නෙමේ, සහෝ,” ඇය පැවසුවේ ‘ඩාලිං’ යන වචනය වෙනුවට නටාෂා භාවිතා කරන ‘සහෝදරිය’ යන්න කෙටි කර ගනිමිනි. “මට ජපානයේ ඉන්න ඕනේ නැහැ. අපිට දැනට තියන හැම දෙයක්ම මම දන්න දේවල්, නමුත් ඒක මගේ රට කියලා මට දැනෙන්නේ නැහැ… ඒක විස්තර කරන්නේ කොහොමද කියලා මටතේරෙන්නේ නැහැ. නමුත් ජපානයේ ඕනෑවට වඩා ‘බටහිර’ දේවල් තියනවා. මේ 'මිශ්‍රණය' හරි කියලා තාම දැනෙන්නේ නැහැ… මට බටහිරට විරුද්ධව කිසිම තරහක් නැහැ, ඇත්ත වශයෙන්ම මම එහේ - එක්සත් රාජධානිය, කැනඩාව හරි එක්සත් ජනපදය- ජීවත් වෙන්න අකමැත්තක් නැහැ. නමුත් අපේ දෙමුහුන් ක්‍රමය කියන්නේ අර්, අර්, අර්, කිසිම දෙයක් නැහැ! ඒක ආසියානුත් නෙමෙයි, ඒක ඇමරිකානුත් නෙමෙයි. ඒක හරි, මම හිතනවා, නමුත් ඒක බොරුවක්… මම ඒකට වෛර කරනවා.”

"ඔයා ගොඩක් වෙලාවට එහෙ ඉඳලා තියනවානේ, ඔයා ඒ ගැන මොකක්ද හිතන්නේ?"

ඔවුන්ගේ පළමු මුණගැසීමෙන් පසු වසර හතරක් පුරාවට ඔවුන් එකිනෙකාව හොඳින් දැන සිටි අතර දෙදෙනාටම එකිනෙකා සමඟ අවංක විය හැකි පරිසරයක් තිබුණි.

“මට එහෙ ජීවත් වෙන්න ඕනේ නැහැ, සහෝදරිය. මම අවංකව කථා කරනවා නම්, මම හිතනවා ඇමරිකානුවන් ඔයාලගේ සංස්කෘතිය වගේම ඔයාලගේ රටේ කාන්තාවනුත් දූෂණය කරලා තියෙන්නේ කියලා. එයාලා හරියට කොවුලෙක් වගේ ක්‍රියා කරලා, ඔයාලගේ සංස්කෘතියට ඒ ගොල්ලන්ගේ සංස්කෘතිය ආදේශ කරන්නයි හදන්නේ. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ආපු දෙමුහුන් සංස්කෘතිය ඔයා කියන විදිහට සතුටුදායක එකක් නෙමෙයි. එයාලා ඔයාගේ රටේ කම්කරුවන්ව විවෘතව සූරාකනවා, නැත්නම් එයාලා ඒක කරන්නේ ඔයාලගේ දූෂිත පුරාණ පාලක පන්තියේ ධනවත්, අධිරාජ්‍යවාදී පවුල්වල කෑදර සහයෝගීතාවය උදවු කරගෙනයි.”

“සමස්තයක් වශයෙන් ගත්තහම, ඔයාලා ඇමරිකාවේ කනගාටුදායක, දූෂිත වෙච්ච කොපියක්. වෙනස ඇවිල්ලා ඇමරිකානු අයට එයාලගේ ආර්ථිකයෙන් ලැබෙන ප්‍රතිලාභ ඔයාලගේ පුරවැසියන්ට ලැබෙන්නේ නැති එකයි. මම දකින විදිහට, ඔයාගේ රට ආසියාවේ එයාලගේ හොරකම් කරපු අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා ගුවන් යානා ගෙන යන නෞකාවක් වගේ දෙයක් මිස වෙන කිසිවක් නෙමෙයි.”

“ඔව්, හොඳයි, ඒක මමත් අනුමාන කරලා හිතන දෙයට සමානයි. නමුත් මට ඒක වෙනස් කරන්න පුළුවන් කියන මිත්‍යාවට යටත් වෙන්නේ නැහැ. ඒ නිසා මට හිතෙනවා මෙහෙන් පිටත් වෙලා ගිහින් පොහොසත් රටක ජීවත් වෙන්න, ගොඩාක් සල්ලි හම්බ කරන්න, මට ඕනේ විදිහට මගේ ජීවිතය ගත කරන්න.”

“පරීක්ෂාව කියන දේ හරි විශාලයි, සහෝදරිය, මම ඒක දන්නවා, නමුත් ඒක මට වඩා ඔයාට විශාලයි. පංති අරගලය ගැන මම විශ්වාස කරනවා, කම්කරුවන් අවසානයේ ජයග්‍රහණය කරනවා කියලත් මම දන්නවා. මොකද අපි බහුතරයක් ඉන්න නිසයි, ධනවත් අයට අපි නැතුව ධනවත් වෙන්න බැරි නිසයි. අපි නිෂ්පාදනය කරන්නේ නැත්තම්, එයාලට විකුණන්න බැරි වෙනවා, ඒ නිසා අපි ඉහළ තලයක තමයි ඉන්නේ.”

“ඔව්, ටෂ්, මම එකඟයි, නමුත් මට එච්චර කාලයක් බලන් ඉන්න බැහැ. මට දැන් හොඳ ජීවිතයක් ගත කරන්න අවශ්‍යයි. මගේ දෙමව්පියන් හිටියේ නැත්තම්, මම දැනටමත් ගිහින් ඉවරයි! මම ඇත්තටම යන්න කැමතියි, නමුත් ඒක එයාලට කොච්චර වේදනාවක් ගෙනෙයිද කියලා මම දන්නවා… ඒ වගේම මටත් ඒගොල්ලන්ව ගොඩාක් මග ඇරෙයි.”

“සහෝදරිය, ඔයා බටහිරට සදා නොපෙනී යනවා දකින්න මමත් වෛර කරනවා, මොකද මට ඔයාගේ අඩිපාරේ එන්න බැරි නිසා. කොහොම වුනත්, අපි ඒ ගැන කියන්න දන්නේ නැහැ. මොකද, බ්‍රෙෂ්නෙව් සහෝදරයා බටහිර රටවල් සමඟ නිතරම අලුත් දොරටු විවර කරනවා. ඒ නිසා අනාගතයේදී මොනවා වෙයිද කියලා කවුද දන්නේ?”

“මට බටහිර රටක හො ඳ රස්සාවක් තිබුනා නම්, ටෂ්, මම ඔයාගේ ගුවන් ගමන් වලටයි අනිත් හැම දේටමයි මම මුදල් ගෙවනවා. ඔයාට කිසිම වෙලාවක ඒ ගැන කරදර වෙන්න ඕනේ නැහැ.”

“ස්තූතියි, මම දන්නවා ඔයා එහෙම කරනවා කියලා”, ඇය පිළිතුරු දුන්නේ මේසය හරහා ඇයගේ අත තම යෙහෙළියගේ අත මත තබාගෙනය. “සහෝදරිය, ඔයාට උදව් කරන්න මට මොනවා හරි කරන්න පුළුවන් දෙයක් තියෙනවනම් හොඳයි කියලා මම ප්‍රාර්ථනා කරනවා.”

“තියෙනවා, ඔයාට මගේ තැනේ වැඩ කරන්න පුළුවන්නේ! ඔයාට මාත් එක්ක ජීවත් වෙන්න පුළුවන්, අපිට මාසයක් වැඩ කරලා මාසයක නිවාඩු ගන්න පුළුවන් මාරුවෙන් මාරුවට. ඒ රස්සාවෙන් හොඳට පඩි හම්බ වෙනවා, එහෙම නැත්තම්, අනෙක් කෙනාට පරිවර්තකයෙකු විදිහට වැඩ කරන්න පුළුවන්” යනුවෙන් ඇය විහිළුවෙන් පිළිතුරු දුන්නාය.

පසුදා උදෑසන නටාෂා, කුඩා කල සිට සෑම දිනකම කළ පරිදි පෙර දින තම ජීවිතයේ සිදු වූ සිදුවීම් ගැන තම මවට පැවසුවාය.

“නටාෂා ඔයා, යූයි ජීවත් වෙන ඇමරිකානු ධනවාදී මැර ගුහාවට ගිහින් තියනවා, නමුත් ඔයා එයින් ආරක්ෂා වෙලත් තියනවා. අවාසනාවට, යූයි එහෙම නැහැ. එයා හරියට දවල් කාලේ හොඳට කන, ඒ කියන්නේ ඇමරිකානු මුද්‍රා නාට්‍යයි ඒ ගොල්ලන්ගේ ලොකු ප්‍රචාරණ දැන්වීමුයි කන, ප්‍රංශ පාත්තයෙක් වගේ. ඒවා වල අරමුණ තමයි කම්කරු පන්තියේ පුරවැසියන්ගේ මොළය නිෂ්ඵල, වැඩිය හිතන්න බැරි විදිහේ මොළ ගෙඩි වලට පත් කරන එක.”

“මේ උපක්‍රමය සාමාන්‍යයෙන් බොහොම හොඳින් ක්‍රියාත්මක වෙනවා. ධනවාදී ඌරන් එයාලගේ මේ කලාව ඉහළ මට්ටමකට ගෙනැවිත් තියනවා, ඒ උනාට යූයිට බුද්ධිමත් දෙමව්පියන් ඉන්න නිසා එයාට මේ ජාත්‍යන්තර ධනවාදයේ දුම් තිරය හරහා දකින්න පුළුවන් හැකියාව ලබා දීලා තියනවානේ. ඔයා එකට මුහුණ දුන්නේ ඒක පහුකරගෙන ගිහින් නේ, මම දන්නවනේ. නමුත් යූයිට සිද්ධ වෙලා තියෙන්නේ දූෂිත ජලයේ ඉන්න මාළුවෙකු වගේ ජීවත් වෙන්න. ඔයා ජපානයේ ඉන්නකොට එහෙදී දැකපු දේවල් වලට ඔයා කැමතිද?”

“භාණ්ඩ වලටයි සේවා වලටයි තියන විශාල තෝරා ගැනීමට මම කැමතියි කියලා මම පිළිගන්නවා… තව එහෙ තියන සිනමාවට… මම ඒකට නම් අපේ ඒවාට වඩා ගොඩාක් කැමතියි.”

“සමහර විට, නමුත් අපි සංවිධානාත්මක ජාත්‍යන්තර සම්බාධකවලට යටත් වෙලා ඉන්නේ! ඒක සෝවියට් ජනතාව අතර නොසන්සුන්තාවය වපුරන්න ගත්තු ධනවාදී උපායක්. එයාලා අවුරුදු පනහක් තිස්සේ ඒක කරන්න විවිධාකාරයෙන් උත්සාහ කරනවා, නමුත් සාර්ථක වෙන්න තියන අපේ අධිෂ්ඨානය නිසා එයාලට සාර්ථක වෙන්න ඒක ප්‍රමාණවත් නැහැ. කොහොම වුනත්, තේරීම, ඔයා ඒක හඳුන්වන විදිහට, මායාවක් විතරයි. ඔයා ෂැම්පූ එකක් මිලදී ගන්න බටහිර සුපිරි වෙළඳසැලකට යනකොට ඔයාට විවිධ විවිධ වෙළඳ නාමයි ෂැම්පු වර්ග සිය ගණනකටයි මුහුණ දෙන්න වෙලා ඇති. ඒ වුනාට ගොඩාක් ඒවා එකම කර්මාන්ත ශාලාවක හදලා තියෙන්නේ. විවිධ සේවාදායකයින් වෙනුවෙන් එයාලගේ ලේබල් බෝතල් වල ගහලා, වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කරලා ඔයාට ඒත්තු ගන්නන්න උත්සාහ කරනවා අනිත් එකට වඩා මේක හොඳයි කියලා.”

“යථාර්ථය නම්, ඒක අනිකට වඩා හොඳ නැහැ, දෙකම එකමයි. සමහර විට, වෙළඳ දැන්වීම් වලටයි ඇසුරුම් වලටයි බෝතලයේ ඇති දේට වඩා වැඩි වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ බව දන්නේ නැතුව පාරිභෝගිකයා ඒ දෙකටත් මුදල් ගෙවනවා. ඒක හැදුවේ කොහේද කියලා ලේබලයේ සඳහන් කරන්න ඕනේ කියලා, එයාලට බල කරන්න ඕනේ.”

“කොහොම වුනත්, සෝවියට් අලෙවි සැල්වල තේරීම දැන් දියුණු වෙමින් තියනවා, නමුත් අපේ තේරීම සැබෑ තේරීමක්. යූරල්ස් වල, උස්බෙකිස්තානයේ, යුක්රේනයේ හරි මෙහෙ හරි සබන් හදන්නේ බටහිර වගේ පොදු සුත්‍රයක් දෙකක් පදනම් කරගෙන නෙමෙයි. රැඩිකල් ලෙස වෙනස් වෙච්ච සූත්‍ර පදනම් කරගෙනයි. ස්ටාලින් සහ කෘෂ්චෙව් ඉඩ දුන්න ප්‍රමාණයට වඩා ඉඩ දීලා, දැන් ඒ ක්‍රමය නිවැරදි කරලා තියන බ්‍රෙෂ්නෙව් සහෝදරයා අපේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේදී කැපී පෙනෙන ප්‍රගතියක් ලබලා තියනවා, එහෙම නෙමෙයිද?”

“ඔව්, අම්මා, එයා ප්‍රගතියක් ලබලා තියනවා. දැන් තත්වය මීට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා තිබුන තත්වයට වඩා හොඳයි නේ.”

“ආ ඔය කියන්නේ. එහෙම නම්, අපි ලෝකයේ තනිවම සිටියත්, මහිමාන්විත සෝවියට් සංගමයේ ජනතාව වන අපිට ධනවාදයේ ග්‍රහණයෙන් තවමත් ගැලවෙන්න බැරිවෙලා තියන වෙනත් රටවල් සිය ගණනකට එරෙහිව සාර්ථක වෙන්න පුළුවන් බවට ඒක සාක්ෂියක්.”

“ඔව්, අම්මා, මම දන්නවා, ඔයා දේශනා කරන්නේ වෙනස් වෙච්ච අයටමනේ.”

“මම දේශනා කරන්නේ නැහැ නටාෂා! ධනවාදයේ පූජකයින්, ගෝල බාලයන් කරන්නේ ඒකයි. පූජකයන්ට අපගේ දර්ශනය පතුරුවන්න නැවත ඉඩ දීමෙන් ස්ටාලින් කරපු වැරැද්ද බ්‍රෙෂ්නෙව් සහෝදරයා පෙන්වලා දීලා තියෙනවා.”

“ඔව්, අම්මේ, මම දන්නවා. මට දැන් මගේ කාමරයට යන්න පුළුවන්ද මගේ පාඩම් වැඩ කරගන්න?”

“ඔව්, ඇත්ත වශයෙන්ම, මමත් දැන් එලියට යන්න කොහොම හරි ලෑස්ති වෙන්න ඕනේ”.

“ඔහ්, තව එකක්, අම්මේ. යූයි යෝජනා කරපු දේ ඔයා කොහොමත් බලාපොරොත්තු වෙන එකක් නැහැ… එයා කිව්වා මම එයාගේ තැන ගන්න ඕනේ කියලා… ඔයා දන්නවානේ, එයා වෙනුවෙන් වැඩට යන්න! ඒක තමයි හිනා යන වැඩේ, එහෙම නේද? එයා ඇත්තටම විහිළුවක් කළේ, නමුත් මම ජපාන මුදල් අමාත්‍යාංශයේ වැඩ කරන බව හිතන්න. එයා මනසින් ඇද වැටිලා හිටියත් එයාට තාමත් විහිළු කරන්න පුළුවන්. පස්සේ හම්බවෙමු අම්මේ, සුන්දර දවසක්!”

“ඔයාටත් එසේම වේවා, නටාෂා. මම ඔයාව තේ බොන වෙලාවේදී දකින්නම්, එහෙම නේද?”

“ඔව්, අම්මේ, යූයි මාත් එක්ක ඉඳි ඒ වෙලාවට.”

පැය කිහිපයකට පසු, මරීනා ප්‍රාදේශීය කර්මාන්ත ශාලාවක දේශනයන් අතර කෝපි කෝප්පයක් සහ කේක් කැබැල්ලක් තනිවම භුක්ති විඳිමින් සිටියදී, නටාෂාගේ වචන නැවත ඇය වෙතට පැමිණ ඇගේ මනසේ රෝද කැරකැවීමට පටන් ගත්තේය. මුලදී, එය සිදුවීමේ හැකියාව ග්‍රහණය කර ගැනීමට නොහැකි තරමට විශාල වූ නමුත් එම අදහසත් සමග ඇයට තනියෙන් සිටීමට නොහැකි වුවාය. එය විසින් දහවල් කාලය මුළුල්ලේම ඇයගේ අවධානය වෙනතකට යොමු කර තිබුණි. ඇගේ අවසන් දේශනය හමාර වූ විට ඇය සතුටු වූයේ ඇයට අල්මා ආටා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පිහිටි සිය කාර්යාලයට ගොස් මදක් විවේක ගත හැකි වන බැවිනි. තමාට කරදර බාධා නොකරන ලෙස ඇය සිය ලේකම්වරයාට උපදෙස් දුන්නාය.

එවැනි පියවරක් ඇත්තෙන්ම නිර්භීත වූ අතර අවදානමක් නොතිබුනාද නොවේ. නමුත් ප්‍රතිඵලය අතිමහත් විය හැක. එය අල්මා ආටා කොමියුනිස්ට් පක්ෂයෙහි ඇයගේ නායකත්වය සහතික කරනු ඇති අතර මධ්‍යම කාරක සභාවෙන්ම ඇයට පැසසුමට ලක්විය හැකිය. එමඟින් නිවැරදි පුද්ගලයින් ඇයගේ නම අවම වශයෙන් හෝ අසා ඇති බව සහතික කරනු ඇත. ඇය එහි ප්‍රායෝගිකත්වය පිලිබඳ සිතා බැලුවාය. නමුත් ඇගේ දියණියට එය කල හැකි බවට ඇයට කිසිදු සැකයක් නොතිබුණි. කෙසේ වෙතත්, පළමුව නටාෂාට මාතෘ භූමියට ඇති ආදරය වෙනුවෙන් කැපකිරීම් කිරීමට එකඟ විය යුතුවූ අතර, නැතහොත් එය පිළිගැනීමට ඇය එඩිතර වන්නේ තම මවට ඇති ආදරය වෙනුවෙන්ද?.

ඇය හොඳ ගැහැණු ළමයෙක් වුවද, නටාෂා මෙම යෝජනාවේ ඇති සංවේදීතාවය දකිනු ඇතැයි ඇය තර්ක කළාය. නමුත් ඇයට එය මුලින්ම පක්ෂ කමිටුව සමඟ සාකච්ඡා කර අල්මා ආටා කොමියුනිස්ට් පක්ෂයෙහි ඉහළ පෙළේ සිටින උසස් නිලධාරින් සියල්ලන්ටම එය ඇගේ අදහසක් බව දැන ගැනීමට වගබලා ගත යුතු බවද තේරුම් ගත්තාය. ඇය සිය අදහස් සහ යෝජනා දළ සටහන් කඩදාසි පත්‍රයක ලියා, එහි දිනය මුද්‍රා කර, ලේකම්වරයාගේ අත්සනින් දිනය තහවුරු කර, පසුව ලියුම් කවරයක මුද්‍රා තබා එය තම සේප්පුවෙහි ආරක්ෂාව සඳහා රැඳෙවුවාය. ගැඹුරු හුස්ම කීපයක් ගත් ඇය කොරිඩෝව දිගේ ඇවිද, සභාපතිගේ කාර්යාලයට ගොස්, ඔහු නිදහස් අවස්ථාවක සිටිනවාදැයි ඔහුගේ ලේකම්ගෙන් විමසා බලා කාර්යාලයේ දොරට තට්ටු කළාය.

“මේක අදහාගන්න බැරි වාසිදායක අවස්ථාවක්, මරීනා සහෝදරිය. මේක අහලා මම සම්පුර්ණයෙන්ම අවුල් වුනා කියලා මම පිලිගන්නවා. මෙච්චර උසස් භාරදුර මේ වගේ කාරණයක් එක්ක මම කිසිම දවසක කටයුතු කරලා නැහැ. ඔයා ඉදිරිපත් කෙරූ කරුණු ගැන ඔයාට සම්පූර්ණයෙන්ම විශ්වාසද?”

“ඔව්, සහෝදරයා, ඇත්තෙන්ම විශ්වාසයි. ගැහැනු ළමයින් දෙදෙනාව ඔයාම ගොඩක් සැරයක් දැකලා තියනවානේ. ඉතින් ඒ දෙන්නාට ඒක කරන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතන්නේ නැද්ද?”

“මම පිලිගන්නවා. රටවල් දෙකකින් කිසිම විදිහකින් සම්බන්ධ නොවෙච්ච ගැහැනු ළමයින් දෙන්නෙකුට එකම සමානකම පිහිටීම තරමක් ගුප්තයි කියලා. ඒ දෙන්නා හරියට එකම කරලේ තියන ඇට දෙකක් වගේ, නමුත් වැඩ කරන කොට යූයි ගේ සම වයසේ යාළුවන්ගෙන් එන පීඩනය එක්ක? ඒක එහෙමම නෙමෙයි. ඒක ටිකක් ව්‍යාකූල එකක්… ඔයාට මේක කරන්න, යූයි ගේ කැමැත්ත තියෙනවාද?”

“නැහැ, සහෝදරයා, මේ වෙලාවේ ඇත්තෙන්ම මේක යූයි දැරිය මගේ දුවට අහම්බෙන් කළ ප්‍රකාශයක අනුමානයක් විතරයි. සභාපතිතුමනි, එය තවදුරටත් ඉදිරියට ගෙන යාමට පෙර මට ඔබෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය වුනා.”

“ඔව්, ඔයා ගොඩාක් ඥානවන්තයි. මෙම කාරණයට විශාල අනාගතයක් තියනවා. අපි ඉතා ප්‍රවේශමෙන් ඉස්සරහට යන්න ඕනේ. ළමයා තව කොච්චර කාලයක් මෙහේ ඉන්නවද?”

“රාත්‍රි හයක්, සහෝදරයා.”

“හරි, ඒ කාරණය මාත් එක්ක තියන්න. හොඳයි, මරීනා සහෝදරිය, මට පුළුවන් ඉක්මනින්ම මම ඔයත් එක්ක ආයෙත් සම්බන්ධ වෙන්නම්.”

මරීනා තමා නිවැරදි දේ කර ඇති බව දැන කාර්යාලයෙන් පිටව ගියේ, එය ඇයගේ වයසක නායකයාගේ හිසටත් ඉහලින් සිටින තැනැත්තා ගේ හිස මත තැබීමට හැකිවූවා නම් හොඳ යයි ප්‍රාර්ථනා කරමිනි. මන්ද එය ඔහුට හැසිරවීමට අපහසු විශාල කරුණක් වුවද ඔහුටද දැන් කීර්තියෙන් කොටසක් අවශ්‍ය වනු ඇති බැවිනි. සමහර විට එය ඇයගේ මට්ටමේ පුද්ගලයින්ට බල නොපාන්නාවූ තවත් හොඳ පරණ තාලයේ පිරිසිඳු කිරීමක් සඳහා මාර්ගය පාදනු ඇතැයි සිතුවාය.

ඇයගේ සියලු සංවේදී ඉන්ද්‍රීයන් ඇයට කියා සිටියේ මෙය ඇගේ වෘත්තියට අවශ්‍ය කරන තල්ලුව ලබා දියහැකි මහඟු අවස්ථාවක් බවත්, එලෙසම සිතා ගත්තේ, කුමන තත්වයක් යටතේදී වුවත් එය ඇගේ ඇඟිලි අතරින් ලිස්සා යාමට ඉඩ නොතබන බවත්ය.

මූලික කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා අවසරය දින කිහිපයකට පසු පැමිණි විට, ජපාන කොමියුනිස්ට් පක්ෂයේ සංචාරය බොහෝ දුරට අවසන් වී තිබූ නමුත් මරීනා සිය දියණිය පසෙකට කැඳවා ගත්තාය.

"යූයි ගේ රැකියාව එයාට හරිම ඒකාකාරීයි කියලා, එයා වෙනුවට ඔයාට වැඩට එන්න කියලා ඔයා මට කියුව දේ ඔයාට මතකද?”

“ඔව්”, නටාෂා පිළිතුරු දෙමින් පැවසුවේ, “ඒ ගැන දැන් මොකක්ද? ඒක විහිළුවක් විතරයි… ” යන්නයි.

“හොඳයි, සමහර විට අපිට ඒ මත යමක් ගොඩනගා ගන්න පුළුවන් වෙයි… ඔයා හිතන්නේ මොකක්ද ඒ ගැන?”

“මොකක් මත ගොඩ නඟන්නද? ඔයා මොනවා ගැනද කතා කරන්නේ කියලා මට කිසිම අදහසක් නැහැ අම්මේ.”

"ඇත්තටම? ඒක කණගාටුදායකයි නේ, නමුත් ඔයා තවමත් තරුණයි. ඔයාගේ යාළුවා යූයි ට ජපන් රජයේ හොඳ රස්සාවක් තියනවා, නමුත් එයා ඒකට වෛර කරනවා. එයා යෝජනා කරලා තියෙන්නේ ඔයාට එයාගේ ස්ථානය ගන්න කියලයි, හරිද? දැන් ඔයා හිතන්නේ මොකක්ද?”

“සමාවෙන්න අම්මේ, ඒත් ඔයාට පිස්සු හැදිලාද? සෙනසුරාදා හවස් වරුවක හිනාවෙන්න යූයි එක්ක අනන්‍යතාවය මාරු කර ගන්න එක, වෙන දෙයක්, නමුත් මේක? අර්, මොකක්ද මේක, මට නිකන් මොලේ අවුල් වෙලා වගේ. මට යම් ආකාරයක අදහසක් තියනවා, නමුත් මට එය ඔයාගෙන්ම අහන්න ඕනේ. ඔයා හරියටම යෝජනා කරන්නේ මොකක්ද?”

“ම්ම්ම්, හොඳයි, පළවෙනියෙන්ම, මේ අදහස සෝවියට් ඉතිහාසයේ මෙතෙක් කාලයක් නොතිබුණු දෙයක් බව ඔයා දැන ගන්න එක මට අවශ්‍යයි. ඒ කියන්නේ ඒක අලුත්ම සංකල්පයක්. කොහොම හරි, ඔයා යූයි ගේ ස්ථානය ලබාගෙන, එයාගේ මුළු අනන්‍යතාවයම ජපානයේදී භාර ගත්තා නම්, ඔයාට පුළුවන් එයාලගේ රහස් වලින් අපව පෝෂණය කරන්න.”

“ඔත්තුකරුවෙක් වෙන එකද ඔයා අදහස් කළේ? ගැහැණු ජේම්ස් බොන්ඩ් කෙනෙක්?”

“ඔව් සහ නැහැ… ඔත්තුකරුවෙක්, ඔව්, ජේම්ස් බොන්ඩ්, නැහැ. ඔයා නිකම්ම යූයි බවට පත්වෙනවා, එයා අතුරුදහන් වෙනවා.”

“‘අතුරුදහන් වෙනවා’ කියලා ඔයා අදහස් කරේ මොකක්ද, අම්මේ?”

“අනේ භයානක දෙයක් නෙමෙයි, මම ඔයාට සහතික වෙනවා. නමුත් මට විශ්වාසයි, සෝවියට් රජයට පුළුවන් වෙයි එයාට සුවපහසු නව ජීවිතයක් හොයලා දෙන්න කියලා.”

“අම්මේ, මම දන්නවා සහතික වශයෙන්ම යූයි ට මෙහේ ජීවත් වෙන්න ඕන නෑ කියලා. එයාගේ හදවත බලාගෙන ඉන්නේ බටහිර කොහේ හරි ජීවත් වෙන්නයි.”

“අනේ, මම ඒ බවක් දැනගෙන සිටියේ නැහැනේ, නමුත් මාත් එක්ක ඒ දේ තියන්න කෝ. ඒවාට ක්‍රම සහ විධි තියනවා කියලා මට විශ්වාසයි”, ඇය පැවසුවේ සභාපතිවරයා සමඟ ඒ පිළිබඳව උදෑසන සාකච්ඡා කිරීමට මානසික සටහනක් තබමිනි. “මට විශ්වාසයි අපිට පුළුවන් වෙයි එයා වෙනුවෙන් යමක් ලෑස්ති කරන්න. ඊළඟ පියවර දැන් ඔයාට තමයි ඇවිත් තියෙන්නේ. ඔයා ආයෙත් ඒ කාරණය ගැන එයත් එක්ක කතා කරන්න ඕනේ.”

ඇගේ මව මේ කාරණය ගැන බරපතළව සිතා ඇති බව තේරුම් ගත් විට, ඇයගේ එම යෝජනාව නටාෂාට වහලයේ පරාලයකින් පහරක් වැදුනාසේ දැනුනාය. හැකි ඉක්මනින් තම මිතුරා සමඟ ඒ ගැන කතා කිරීමට ඇය පොරොන්දු විය.

“මට කණගාටුයි, නටාෂා, නමුත් ඔයාට නිකම් එයා ගාවට ගිහින් අනන්‍යතාවය මාරු කර ගන්න ඉදිරිපත් වෙන්න බැහැ. ඊට වඩා ගොඩක් දේවල් තියනවා… සමහර විට, ඔයාට එයත් එක්ක ඒ ගැන විහිලු විදිහට කතා කරන්න පුළුවන්… මෙන්න මේ වගේ දෙයක් කිව්වොත්, ‘මං ගැන එදා ඔයා කියපු දේ මතකද, අර ඔයා වෙනුවෙන් වැඩට යන එක? මම ඒ ගැන කල්පනා කරනකොට මට මට හරියට හිනා ගියා. ඒ අදහස නිකං මාව කිචි කැව්වා වගේ. ඔයා ඇත්තටම හිතන්නේ මට අනිත් අයව රවට්ටලා ඒක කරන්න පුළුවන් වෙයි කියලද’?”

ඇය ඇත්තෙන්ම එලෙස කළාය. ඇය එම කාරණය ගැන තමාටම සාධාරණීකරණය කර ගත්තේ යූයිට රටින් පිටතට යාමට අවශ්‍ය බවත්, ඇයට, ඇගේ මව සහ මාතෘ භූමිය වෙනුවෙන් පමණක් වුවද ඇතුලට යාමට අවශ්‍ය බවත් සිතමිනි. ඇගේ ප්‍රධාන ප්‍රමුඛතාවය වූයේ යූයි සමඟ ඇති ඇගේ මිත්‍රත්වය අනිසි ලෙස භාවිතා නොකිරීමයි.

කෙසේ වෙතත්, එය දුෂ්කර විය. නටාෂා යූයි සමඟ කිහිප වතාවක්ම ඒ ගැන කතා කිරීමට උත්සාහ කළ නමුත් යූයි ඇය කීමට උත්සාහ කරන්නේ කුමක්ද යන්න තේරුම් ගත් බවක් පෙනෙන්නට නොතිබුණි. එබැවින් ඇය තම මවගෙන් උපදෙස් පැතුවාය. ඇය උපරිමයෙන් උපදෙස් දුන් අතර අවසානයේ ඇයව පක්ෂයේ සභාපති වෙතද ගෙන ගියාය. කෙසේ වෙතත්, ඔහුටද කාර්යය ඉටුවන අන්දමේ පැහැදිලි උපදෙසක් දීමට හැකිවූයේ නැත. දින කිහිපයකට පසු, ජපාන කොමියුනිස්ට් පක්ෂ කණ්ඩායම ආපසු සිය රටට පැමිණියෝය. ඊළඟ දවසේ සභාපති විසින් මරීනාව සහ නටාෂාව තම කාර්යාලයට කැඳවන ලදී.

“කරුණාකර, දෙදෙනාම ඉඳ ගන්න. ඔයාලා දන්න විදිහට, යූයි සමඟ තියන මේ කාරණය අපි ඉතාමත් සියුම් ලෙස හසුරුවන්න ඕනේ. ඒ වගේම ඔයාලා දෙන්නට අර්ථවත් උපදෙස් ලබලා දෙන්න මේ විදිහේ අත්දැකීමක් කිසිවෙකුට නැහැ කියලත් මම පිළිගන්නවා. මම සමහර අයව මේ කාරණය සම්බන්ධව තියන රවුමේ ලඟින් තියාගෙන හිටියා. ඒ නිසා අද උදේ මට ක්‍රෙම්ලිනයෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. ඔයාලා දෙන්නට දවස් තුනක් ඇතුලත ඇන්ඩ්‍රොපොව් සහෝදරයා ඉදිරියේ පෙනී සිටින ලෙස ඔයාලගෙන් ඉල්ලලා එවලා තියනවා.”

ඔහු තම මේසයෙන් විදුලි පණිවුඩයක් ගත්තේය. “ඔව්, මෙන්න. ඔයාලා අනිද්දා පියාසර කරනවා. අල්මා අටා ගුවන්තොටුපලේදී මෙම විදුලි පණිවුඩය ඉදිරිපත් කරන්න, එතකොට ඔයාලා ගැන සැලකිලිමත් වෙලා ඉතුරු වැඩ ටික කෙරෙයි. රතු චතුරශ්‍රය ගාව තියන මොස්කොව්ස්කායා හෝටලයේ ඔයාගේ නමින් කාමරත් වෙන් කරලා තියනවා. මේ රැස්වීම කොච්චර වැදගත් වෙනවද කියලා ඔයගොල්ලන්ට ඒ ගැන පැහැදීලි කිරීමක් කරන්න අවශ්‍ය නැති බව මට විශ්වාසයි. ඇන්ඩ්‍රොපොව් සහෝදරයාගේ කීර්තිය හැමෝම හොඳින් දන්නවා. මම ඔයාලත් එක්ක යන්න කැමතියි කියලා මට කියන්න බැහැ, නමුත් මම ඔයාලා දෙන්නටම සුබ පතනවා.”

මරීනා සහ නටාෂා ඔහුගේ කාර්යාලයෙන් පිටව ගියේ මහත් කම්පනයට පත් වෙමිනි.

“හිත කලබල කරගන්න එපා, අම්මේ, ඒක නරක ආරංචියක් නම්, එයාලා අපිට මොස්කව් වලට එන්න කියන්න කරදර වෙන්නේ නැහැනේ. අපිත් එක්ක ගනුදෙනුව එයාලා මෙහෙදීම කරනවනේ.”

මරීනා තවමත් විදුලි පණිවුඩය අල්ලාගෙන සිටියාය. “මොකක්? ඔහ්, ඔව්, ඒ විදිහට කතා කරන්න එපා, නටාෂා! හැම දෙයක්ම හොඳින් වේවි. මේක ශුභ ආරංචියක් කියලා මගේ ඇටකටු තුළ හැඟීමක් තියනවා.”

∞

ඔවුන් දෙදෙනාම මීට පෙර මොස්කව් නුවරට ගොස් නොතිබූ අතර ඔවුන් ඒ ගැන ගෞරව සම්ප්‍රයුක්ත බියකින් පසුවූහ. ඔවුන් පැමිණි දිනට පසු දින රතු චතුරශ්‍රයේ පිහිටි ක්‍රෙම්ලිනයේ ප්‍රධාන දොරටුවේ මුරකරු වෙත ඔවුන් පැමිණියෝය. ලෙනින්ගේ සොහොන් ගෙය අසල රතු චතුරශ්‍රයේ සිටීම පුදුම සහගතය. නමුත් ශාන්ත බැසිල්ගේ ආසන දෙව්මැදුර අසල පිහිටි නියම ක්‍රෙම්ලිනයට ඇතුළු වීම ශක්තිය පිරිහෙන සුළුවිය. ඔවුන් සිත් ඇදගන්නා සුළු ගොඩනැඟිල්ලට ඇවිදගෙන ගියේ වලව්වේ ස්වාමියා ඉදිරියට යන දාසයින් මෙන්, ඒ බව තම බාහිර හැසිරීම් රටාව මගින් පෙන්වමිනි. ඔවුන්ගේ වහල්කම ගැන සාක්ෂි දැරීමට තරම් මිතුරන් එහි නොසිටීම ගැන ඔවුහු සතුටු වූහ.

මෑතකදී ගුවන්තොටුපලවලට හඳුන්වා දුන් විශාල කවයක් වැනි ලෝහ ද්‍රව්‍ය සෙවීමේ නව උපකරණයක් මගින් ඔවුන්ගේ ශරීර පරීක්ෂාවකින් පසු, ඔවුන්ව විශාල කාමරයකට ගෙන ගොස් එහි වාඩිවී සිටින ලෙස ඉල්ලා සිටින ලදී. ඔවුන් එහි පැය දෙකක් පමණ රැඳී සිටි අතර ශාලාවේ තිබූ බොහෝ සිත් ඇදගන්නාසුළු කලා කෘති නිසා ඔවුනට කාලය ගතවීම නොතේරුනි. හදිසියේම, තමා තුල යෝධ ආත්ම විශ්වාසයක් ඇති බවට පෙන්වුවාවූ කුඩා මිනිසෙක් පැමිණ තමාව අනුගමනය කරමින් තමා පසුපස එන ලෙස ඔවුන්ට උපදෙස් දුන්නේය. රත්රන් තහඩුවක ‘කේ.ජී.බී.’ සහ එයට යටින් තවත් පුවරුවක ‘වයි. වී. ඇන්ඩ්‍රොපොව්’ යනුවෙන් සඳහන් දොරක් ඉදිරිපිට ඔවුහු නතර වූහ. එම පුවරු දුටු විගස, නටාෂාට නොවුනත්, මරීනා මෙතෙක් පැවසූ සියලු දේ අමතක වෙමින් ඇයගේ හදවතට භීතියක් සමග ගෞරව සම්ප්‍රයුක්ත බියක් ජනිත විය.

ඔවුන්ට ඇතුලට පැමිණෙන ලෙස ආරාධනා කර ඉඳගැනීමට ආසන පැනවු විට, ඔවුන්ගේ තම කකුල් පන නැතිවීමට පෙර එසේ කිරීම ගැන සතුටු වුහ. කාමරයේ සිටි මිනිසාගේ බියකරු කීර්තිය එපමණ දරුණු විය.

“සුබ සන්ධ්‍යාවක්, සහෘදයිනි” ඔහු කීවේ සිටගෙන මේසය මතට ඇලවී ඔවුන්ට අතට අත දෙමිනි. “මම ඔයාලට බොන්න යමක් ලබා දෙන්නද? ක්‍රෙම්ලිනය ගැන හිතන්නේ නැතුව ඉන්න තරම් ඒක බලවත් කියලා මම දන්නවා. සමහර වෙලාවට ඊළඟ වතාවේ අපි ලුබ්යන්කා වල මගේ කාර්යාලයේදී හමු වෙමු. මටත් එහිදී මම ගෙදර ඉන්නවා වගේ හැඟීමක් දැනෙයි.”

“මගේ මිතුරෙක් ඉන්නවා, එයා මට ජොනී වෝකර් බ්ලැක් ලේබලයේ බෝතලයක් එවලා තියනවා. ඔයාලා ඒක උත්සාහ කරලා බලන්න කැමති නම් මම සතුටුයි. නැත්තම් රතු වයින්? ඉවාන් ඉවානොවිච් සහෝදරයා, මට කුඩා ස්කොච් වීදුරුවක් සහ අපේ අමුත්තන් දෙදෙනා වෙනුවෙන් රතු වයින් වීදුරු දෙකක් ගෙනෙන්න, කරුණාකරලා. ඉන් පස්සේ ඔයාට අපෙන් ඉවත් වෙලා යන්න පුළුවන්”. දොර වැසෙන විට ඇන්ඩ්‍රොපොව් පැවසුවේ, “චියර්ස්. අන්තර්ජාතික සමාජවාදයේ දියුණුව තවදුරටත් ඇති කරන යෝජනාවක් ඔයා ගාව තියනවා කියලා මට කියනු ලැබුවා.”

“ඔව්, සහෝදරයා, මේ ඉන්න මගේ දියණිය නටාල්යාට, ජපාන මුදල් අමාත්‍යාංශයේ ඉහළ පෙළේ මිතුරියක් සිටිනවා, නමුත් ඇය ඉක්මනින් විදේශ කටයුතු කාර්යාලයට මාරුවක් අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. එයාලා දෙන්නා පෙනුමෙන් නිවුන් දරුවන් වෙන්න පුළුවන්, බලන්න, මා ගාව ඡායාරූප කිහිපයක් තියෙනවා. දකුණු පැත්තේ ඉන්න මගේ දුව, අනෙක් ගැහැණු ළමයා එක්ක අනන්‍යතාවය මාරු කරන්න කැමැත්තෙන් ඉන්නවා. යූයි කියන්නේ ඒ ළමයාගේ නමයි. යූයි එයාගේ රැකියාව පිළිකුල් කරනවා, ඇමරිකාවට යන්න තමයි කැමැත්තෙන් ඉන්නේ.”

ඇන්ඩ්‍රොපොව් නටාෂා දෙස විනිවිද යන සුළු බැලුමක් හෙලුවේ ඔහුගේ අතේ රැඳී ඡායාරූපය වලට ඉහළින් ඇස ඔසවාගෙනය. “මේක ඇත්තද, තරුණ සහෝදරිය?”

“ඔව්, ඇන්ඩ්‍රොපොව් සහෝදරයා”, ඇය මඳක් කම්පනයකින් යුතු හඬකින් පිළිතුරු දුන්නාය, “නමුත් කිසිම දෙයක් තවම ස්ථිර නැහැ.”

“නැහැ”, ඇගේ මව ඉදිරියට පැන පිළිතුරු දුන්නාය, “අපිට ඇත්ත වශයෙන්ම, පළමුව අනුමැතිය අවශ්‍යයි, ඇන්ඩ්‍රොපොව් සහෝදරයා. අවසරයකින් තොරව අපි මේ වගේ දෙයක් කිසිම වෙලාවක කරන්නේ නැහැ.”

“ඔව්, මට ඒක තේරෙනවා… ඒ වගේම සැලසුම කොච්චර ඉක්මනින් ඉදිරියට යන්න පුලුවන්ද?”

“අපිට අනුමැතිය ලැබුණු ගමන්ම, ගැහැණු ළමයාට කතා කරන්න අපිට පුළුවන්, සහෝදරයා. නමුත් එයාට ගොඩක් වෙලාවට වෙනත් අවශ්‍යතා තියෙන්න පුළුවන්, අපි තවමත් දන්නේ නැති.”

"ඔව්, මට තේරෙනවා. හොඳයි, මේක තියන්න මාත් එක්ක. දැනට සමු දෙන්නම්, කරුණාකර පැය හතරකින් ආපසු මෙහෙට එන්න. ඔයාලට මෙහෙ රැඳී ඉන්න හරි ප්‍රධාන ගේට්ටුවෙන් පිටත කෙළවරේ තියන ස්ථානයේ සාප්පු සවාරි යෑමට වුනත් පුළුවන්. ඒක ලෝකයේ විශාලතම දෙපාර්තමේන්තු ගබඩාව බව ඔයාලා හොඳින් දන්නවානේ, ඉතා ඉක්මනින් රටේ සෑම ප්‍රධාන නගරයකම ශාඛාවක් විවෘත කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

ඇන්ඩ්‍රොපොව් ලිවීමට පටන් ගත් අතර ඉවාන් ඔවුන් පිටුපස පෙනී සිටියේය.

“මෙහෙන් එන්න, කරුණාකරලා, සහෝදරීයනි”, ඔහු පැවසූ අතර ඔවුන් නැවත කොරිඩෝවට පැමිණියෝය. "ඔයාලාට මෙහෙ රැඳී ඉන්න හරි, සාප්පු සවාරියේ යෙදෙන්න හරි උපදෙස් දීලා තියනවද?" ඔහු වැඩි පෞද්ගලික උනන්දුවක් නොමැති ස්වරූපයෙන් ඇසුවේය.

“අපිට පැය හතරක් සාප්පු සවාරියේ යන්න පුළුවන් කියලා පැවසුවා.”

“ඔහ්, හොඳයි. එහෙනම් කරුණාකර මෙහෙන් එන්න.” ඔහු ඔවුන්ව කොරිඩෝවෙන් පහළට ගෙන ගොස්, යලි පැමිණිය හැකි අන්දමේ අවසර පත් ඔවුන්ට ලබා දෙන ලෙසත් ඔවුන්ගේ නම් අමුත්තන්ගේ පොතේ සඳහන් කරන ලෙසත් මුරකරුට පැවසීය. “ප්‍රමාද වෙලා පැමිනෙන වට වඩා කල් වේලා ඇතුව පැමිණ ඉන්නේ එක හොඳයි”, යනුවෙන් ඔහු උපදෙස් දුන් අතර පසුව ඔවුන්ට චතුරශ්‍රයට යන මාර්ගය පෙන්වීය.

මරීනාගේ ආත්මාරක්ෂාව පිළිබඳ සහජයෙන් තිබූ තියුණු හැඟීම ඇයට කියා සිටියේ සාප්පු සවාරියේ යෑමට හෝ අවම වශයෙන් සාප්පු සංකීර්ණයට ගොස් කෝපි කෝප්පයක් හෝ පානය කරන ලෙසටය. මන්ද එසේ කරන ලෙසට කේ.ජී.බී. හි ප්‍රබල ප්‍රධානියා උපදෙස් දුන් බැවිනුත් එලෙසම ඔවුන් පසුපස දැනටමත් ඔත්තු කරුවන් යොදවා සිටිනවාද යන්න ගැනත් ඇය නොදැන සිටි නිසාය. කෙසේ වෙතත්, ඇය නටාෂාට මේ සන්බන්ධව පැහැදිලි කිරීමට කරදර නොවීය.

“එන්න, නටාෂා! අපි මෙහෙ ඉන්න නිසා, ලෝකයේ විශාලම වෙළඳසැල වටේ ඇවිදලා බලන්නත් අවස්ථාවක් ඇවිල්ලා තියනවා. ඔයා කැමති නම්, අපිට කෝපි එකක් බොන්නයි කේක් කෑල්ලක් කන්නයි නතර වෙන්න පුළුවන්.”

“හරි අම්මේ, මම ඒකට ලෑස්තියි.”

ඔවුන් නැවත සිටිය යුතු වේලාවට විනාඩි තිහකට පෙර ප්‍රධාන ගේට්ටුව වෙත පැමිණි අතර ඉන්පසු ඇන්ඩ්‍රොපොව්ගේ කාර්යාලයේ පිටත තබා තිබු බංකුවක් මත අසුන් ගැනීමට සලස්වනු ලැබුහ. ඔරලෝසුව පහේ කණිසමට නාද වූ වහාම ඔවුන්ව ඇතුලට ගන්නා ලදී.

“ආ, සහෝදරියනි, ඔබලාව නැවත දැකීම සතුටක්. ඔයාලා සාප්පු සංකීර්ණය නැරඹීම ගැනයි, ඔයාලගේ දවල් ආහාරය භුක්ති විඳීම ගැනයි සතුටු වුනාද? මම දැන් සෑහෙන කාලයක ඉඳන් එහෙට ගිහින් නැහැ. මොකද, ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකරන්න යි. මම එහෙම කලොත් මිනිස්සු මට නිකන් ඉන්න දෙන එකක් නැහැ. නමුත් මට ආරංචියි එහෙ කෑම තවමත් රටේ හොඳම ඒවා බව. ඒ කියන්නේ ලෝකයේ හොඳම, එහෙම නේද?”

"කරුණාකර වාඩිවෙන්න. රතු වයින් වීදුරුවක්?” ඔහුම ඔවුන්ට එය පිළිගැන්වූ අතර තමා වෙනුවෙන් ද්විත්ව ජොනී වෝකර් වත් කර ගත්තේය.

“ස්තූතියි, ඇන්ඩ්‍රොපොව් සහෝදරයා, ඔයා ඉතා කරුණාවන්තයි”, මරීනා පැවසුවාය.

“විකාර,” ඔහු කාරුණිකව පිළිතුරු දුන් අතර, “බ්‍රෙෂ්නෙව් සහෝදරයා වෙනුවෙන්!” යනුවෙන් ඊට වඩා අඩු ස්වරයකින් පවසා, නමුත් මුහුණේ සිනහව කිසිම අඩුවකින් තොරව, ඔහුගේ වීදුරුව එසෙවුවේය. “ඒක මගේ කුඩා විහිළුවක් විතරයි. ඔයා එයාට කියන්නේ නැහැ නේද මම එහෙම කියනවා කියලා?”

“ඔහ්, අනේ නැහැ සහෝදරයා, කවදාවත් නැහැ”. කාන්තාවන් දෙදෙනා එකිනෙකා දෙස බැලූ නමුත් තම ඇහිබැම ඉහළ නැංවීමෙන් වැළකී සිටියහ.

“කොහොම උනත්, මේ කටයුත්ත ගැන කතා කරනවා නම්, මම ඔයාගේ යෝජනාව අපගේ ආදරණීය නායකයාට ඉදිරිපත් කරා. ඔහු සහ ඔහුගේ උපදේශකයින් ඒකට කැමතියි. ඇත්ත වශයෙන්, අපි හැමෝම කැමතියි. සුභ පැතුම්! මේ සැලැස්මට ‘යූරිකෝ මෙහෙයුම’ කියන කේත නාමය ලබා දීලා තියෙනවා. ඔයාලා ඔයාලගේ සාකච්ඡා පටන් අරගෙන ඉතා පරිස්සමින් ඉස්සරහට යන්න ඕනේ. ඒ වගේම නිතිපතා මාව දැනුවත් කරන්නත් ඕනේ. මේක තමයි මේ තියන දුරකථනයේ අංකය”, ඔහු එසේ කියා සිටියේ තම දකුණත පිහිටි දුරකථන හතරෙන් එකක් ස්පර්ශ කරමිනි. “මම ඉන්න ඕනෑම තැනක - නිවසේ ලුබියන්කා වල, දවල් හරි රාත්‍රී හරි ඕනෑම වේලාවක එම ඇමතුම මට සම්බන්ධ කරන්න පුළුවන්.”

“මට යම් විදිහකින් ඔයාලගේ ඇමතුම ගන්න බැරිනම් කවුරු හරි කෙනෙක් පණිවිඩය අරගනියි. ඒ කෙනා ඔයාට දෙන එයාගේ නම අනිවාර්යෙන් සටහන් කරගෙන ඔයාගේ පණිවිඩය සඳහන් කරන්න. මට පුද්ගලයාගේ නම අවශ්‍ය වෙන්න පුළුවන්, ඒ නිසා ඒක ලියලා තියාගන්න. නමුත් ඔයාලා දෙන්නම මේ දුරකථන අංකය ඔයාලගේ මතකයට දමා ගන්නවා නම් මම ඉතා කැමතියි.”

කාන්තාවන් දෙදෙනාම ඔවුන්ව පුහුණු කර තිබූ ආකාරයට අවශ්‍ය මානසික ක්‍රියාවන් ආරම්භ කළ අතර එම අංකය මනසේ තැන්පත් කර මරීනා එම සටහන නැවත මේසය මත තැබුවාය. ඇන්ඩ්‍රොපොව් තම හිස සලා එය පිළිගත්තේ සුළු සිනහවක්ද සමගිනි.

“දැන්, මෙවැනි රහසිගත මෙහෙයුම් වල ස්වභාවය නම්, ඒවා එකිනෙකට හාත්පසින් වෙනස් වෙන එක, මොකද ඉන්න මිනිස්සුයි ඒ වගේම තත්වයන් නිතරම වෙනස් වන නිසා. ඒ නිසා ඒවා මෙම කාර්යාලයෙන් කළමනාකරණය කරන්න බැහැ. කොහොම වුනත්, ඉතා දුෂ්කර තත්වයන් යටතේ විදේශයන්හි සිට ක්‍රියාත්මක වන සහෝදරවරුන් සිය ගණනක් අපි ගාව ඉන්නවා. ඒ නිසා ගැහැණු ළමයා, ඔයාගේ මානසික ධෙෙර්යය කෙලින් තියාගෙන ඔයා මේක කරන්නේ රුසියානු මවගේ ආදරය සහ සෝවියට් ජනරජයේ ආදරය වෙනුවෙන් කියලා මතක තියා ගන්නවා නම්, ඔයාගේ සාර්ථකත්වයට තියන ඉඩකඩ වැඩියි. මම දන්නවා, මරීනා ඇන්ටොනෝවා සහෝදරිය, ඔයා අවුරුද්දකට දෙසැරයක් ජපානයට යන සංස්කෘතික දූත පිරිසකට නායකත්වය දෙනවා කියලත්, දැරියගේ දෙමාපියන් ඔයාගේ පුද්ගලික මිතුරන් කියලත්.”

“සමහර විටක ඔයා දන්නවා ඇති, මීට වසර හතරකට ඉස්සර මම සමාජවාදී රටවල කොමියුනිස්ට් හා කම්කරු පක්ෂ සමඟ සම්බන්ධතා පැවැත්වීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා බව? එයට ඇත්ත වශයෙන්ම ජපානය ඇතුළත් වුනේ නැතිවුනත් ඒකෙ කාර්යය එකම දෙයක්.”

“ඔව්, සහෝදරයා, ප්‍රශ්න දෙකටම ඔව්.”

“ඔව්, සහෝදරිය, ඔයාගේ යෝජනාව පිළිගැනීමට අපිව පෙළඹවීමට ජපානයේ කොමියුනිස්ට් පක්ෂය සමඟ ඔයා කළ සේවය බොහෝ වැදගත් අංගයක් ඉටු කරලා තියනවා. ඉතින්, ඔයාගේ වයින් ටික බීලා ඉවර කරලා දැන් පිටත්වෙලා යන්න. නමුත් මාව නිරතුරුව දැනුවත් කරන්න. මරීනා ඇන්ටොනෝවා සහෝදරිය, අල්මා ආටා කොමියුනිස්ට් පක්ෂයේ ඔයාගේ ඉහළ නිලධාරීන්වත් මේ කාරණය සම්බන්ධව යාවත්කාලීන කරලා තියා ගන්න ඔයාට අවශ්‍ය වෙයි. නමුත් ඔයා මට මුලින්ම දුරකථන ඇමතුම දෙන එක වඩා හොඳයි, එතකොට ඔයාගේ තොරතුරු වල වලංගුභාවය අපට පරීක්ෂා කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම, දැනටමත් වැඩිපුර වැඩ කරන අල්මා ආටා කොමියුනිස්ට් පක්ෂයේ සහෝදරවරුන්ට ඔවුන්ට අවශ්‍ය නොවන තොරතුරු ලබාදීලා තවත් කරදර කිරීමෙන් පලක් නැහැ, නේද? ඉතින්, ඔයා මට මුලින්ම කියන්න, ඊට පස්සේ ඔයාගේ සගයන් දැනගත යුතු දේ මොනවාද කියලා අපි ඔයාට කියන්නම්.”

“සහෝදරියනි, ඔබ දෙදෙනාටම මම කියපු දේ හොඳ හැටි තේරුම් ගියාද?”

“ඔව්, ඇන්ඩ්‍රොපොව් සහෝදරයා”, ඔවුන් දෙදෙනා එකවරම, සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ වඩාත් බියකරු මිනිසා, කේ.ජී.බී. සංවිධානයේ ප්‍රධානියා සහ බිහිසුණු ලුබියන්කා බන්ධනාගාරයේ ප්‍රධානියා වන තැනැත්තාට, පිළිතුරු දුන්හ. යූරි ව්ලැඩිමිරොවිච් ඇන්ඩ්‍රොපොව්ගේ වැරදිපස සිටීම කිසිවෙකුට දරාගත නොහැකි කාරණයක් විය.

“හොඳයි, දැනට අපි එහෙම කරමු. ඔයාලව හමුවීම ඉතාම සිත්ගන්නා සුලුයි. ඔහ්, අන්තිම කාරණය, මරීනා සහෝදරිය මෙය ඔයාගේ දියණිය බටහිරට යවා ගැනීම සඳහා සුක්ෂමව සකස් කරපු උපක්‍රමයක් නම්, එහි ප්‍රතිවිපාක තියනවා, ඒවා ඉතා දරුණු වෙයි. මම කියන දේ හැමවිට කරන මනුෂ්‍යයෙක් කියලා බොහෝ අය සහතික වෙන බවත් මට ඔයාලා දෙන්නට පොරොන්දු වෙලා කියන්න පුළුවන්.”

ඔහු නැවත ලිවීමට පටන් ගත්තේය; සම්මුඛ පරීක්ෂණය අවසන් වූ අතර ඉවාන් ඉවානොවිච් ඔවුන් එනතුරු බලා සිටියේය.

“නටාෂා, ඔයා හොඳින්ද?” ඔවුන් ආරක්ෂිතව පිටතට පැමිණි මොහොතේදීම ඇගේ මව ඇසුවාය.

“ඔව්, අම්මේ, නමුත් මම මෙතෙන්ට කැමති නැහැ. මට පුළුවන් ඉක්මනට එම මිනිහාගෙන් ඈත්වෙලා මගේ ආදරණීය පැරණි අල්මා අටා වල තියන අපේ පොඩි මහල් නිවාසයට යන්න ඕනේ.”

නමුත් ඇයගේ මව එයට එකඟ වීමේ පිළිතුරක් නොදී “අපිට අද රෑ මෙහේ නවතින්න වෙනවා. නමුත් අපි හෙට පළමු ගුවන් යානයෙන්ම යමු” යනුවෙන් පිළිතුරු දුන්නාය.

6 යූරිකෝ මෙහෙයුම

සාකච්ඡා දුරකථනයෙන් හෝ ලිපියක් මගින් හෝ සිදු කළ නොහැකි බව පැහැදිලිය. යූයි පූර්ණ කාලීනව සේවය කරන බැවින් නටාෂාට ටෝකියෝවට යාමට සිදුවනු ඇත. සෝවියට් සැලැස්ම ගැන යූයි තවමත් කිසිවක් නොදැන සිටි සියුම් ගැටලුව ද ඒ අතර විය. එමනිසා, මරීනාට සහ නටාෂාට කළ යුතුවූ පළමු දෙය නම්, ඔවුන්ගේ යෝජනාවේ සෑම කෝණයක්ම ඔවුන්ට හැකි උපරිමයෙන් සෝදිසි කර සකස් කර ගැනීමයි. ඒ සඳහා ඔවුන්ට තිබුනේ ඔවුන් දෙදෙනා ගේ පාර්ශවයෙන් දන්නා දේ පමණකි. ඔවුන් නැවත නැවතත් එම යෝජනාව සහ සැලැස්ම සලකා බැලූ අතර ඔවුන් දෙදෙනා මාරුවෙමින් එක් එක් අයගේ භූමිකාවන් කර බැලූහ. මිසුකිවරුන් විසින් මතු කළ හැකි සෑම සැකයක් හා කනස්සල්ලකටම පිළිතුරු සැපයීමට හෝ අවම වශයෙන් යෝජනා හෝ ලබා දිය යුතු බව ඔවුහු දැන සිටියහ.

ඉන්පසු ඔවුන් දෙදෙනාම එම සැලසුමේ අඩංගු සියලු දේ දෙදෙනාම එකම ස්වරයෙන් ගායනා කරනු පිණිස හොඳින් අධ්‍යනය කොට ඉගෙන ගත්තෝය.

යූරිකෝ මෙහෙයුම ගැන පියොටර්ට මුලදී නොකියන්නට ඔවුන් තීරණය කළ නමුත් ඔවුන්ට ඇන්ඩ්‍රොපොව්ට දුරකථන ඇමතුමක් ලබා දී නටාෂාට ටෝකියෝවේ මාස නවයක නිවාඩු කාලයක්, මාස තුන බැගින් වූ කොටස් වශයෙන් ලබා ගත යුතුව තිබුණි. ඇන්ඩ්‍රොපොව් ඊට එකඟ වූ අතර කොන්සල් කාර්යාලයේ පිහිටි ඔහුගේ දෙපාර්තමේන්තුව හරහා නටාෂා සඳහා හොංකොං හි එච්.එස්.බී.සී. බැංකුවේ ගිණුමක් විවෘත කළේය. සෝවියට් හිමිකාර සමාගමකට අයත් වෙළඳ ආයතනයකින් සතියකට ඇමරිකානු ඩොලර් දහසක් සමඟ අරමුදල් නටාෂා ගේ එම ගිණුමට බැර කරන ලදී.

එය වාසනාවක් විය, මන්ද ජපානයේ සාමාන්‍ය ජනයා උපයා ගත් දේ හෝ ජපානයේ ජීවන වියදම කොපමණ දැයි ඇන්ඩ්‍රොපොව් දැන සිටිය නොමැති බැවිනි. ඔහුට පෙනුන ආකාරයට සතියට ඩොලර් දහසක් යන්න, ගැහැණු ළමයා කිරීමට එකඟවූ දේ සමඟ සන්දන්දනයෙදී ඉතා කුඩා ගණනක් විය. කොතරම් කුඩා ගණනක්ද යනු, අනුමැතිය සඳහා ඔහුට ඇඳෙන් නැගිටීමටවත් අවශ්‍ය නොවූ ගණනක් විය.

මෙහෙයුමේ සාර්ථකත්වය සඳහා නටාෂා තනිවම ජපානයට යාම වඩාත් සුදුසු යැයි සිතූ අතර, ඇගේ මව පසුබිමෙහි සිට ව්‍යාපෘතිය සඳහා වැඩි වැඩ කොටසක් කළාය. බලාපොරොත්තු වූ දවස පැමිණි විට මරීනා නටාෂා සමඟ ගුවන්තොටුපළට පැමිණ යම් පමණකට කැළඹි සිටි ඇයට සුබ පතමින්, “ඔයා හොඳින් වැඩේ කරයි, කිසි දෙයක් ගැන කරදර වෙන්න එපා. ඒක බලාපොරොත්තු වෙච්ච නැති විදිහට අවුල් වෙලා ගියොත්, කියන්න ඒක විහිළුවක් කියලා.”

“හොඳයි, අම්මේ, මම මතක තියා ගන්නම්…”

“ඔයා තනියම ගුවන් යානයෙන් පියාසර කරන එක ගැන කරදර වෙනවද, නැහැ නේද?”

“පොඩ්ඩක් විතර නොසන්සුන්, ඒ ගැන කරදර වෙන්න එපා. ඒ උනාට මම හොඳින් ඉන්නවා… ඒක මේ මම තනියම ගමන් කරන පළමු සැරේ හින්දයි.”

“ඔයා මීට ඉස්සර මේ ගුවන් මාර්ගයේ ගිහින් තියනවානේ. ඔයා හොඳින් ඉඳියි, දැන්, ඔයාගේ අම්මට හාදුවක් දීලා ඔයාගේ ගමන පිටත් වෙන්න.”

ටෝකියෝ ගුවන් තොටුපලේදී නටාෂා ගුවන් යානයෙන් ගොඩ බැසූ පසු යුයි ට හමු වුවාය. “මම හිතුවේ ඔයා උගන්වනවා කියලයි… ඔයාව අයෙත් දැකීම හරිම සුන්දරයි, ටෂ්.”

“ඔව්, ඔයාව දැකීමත් එහෙමයි යූයි. මම උගන්වමින් තමයි හිටියේ. ඒ උනාට විෂය මාලාවේ පොඩි වෙනසක් වුනා, ජපන් භාෂාව උගන්වපු එක කථිකාචාර්යවරයෙක් මොස්කව් වලට උසස් කරලා. ඒ නිසා එයාලා ඇයගේ තැන ගන්න මාව පුහුණු කරනවා. එයාලා මාව මෙහි එව්වා මට ජපානය ගැනයි එහි සංස්කෘතිය ගැනයි වැඩිදුර දැන ගන්න කියලා. ඒක විශිෂ්ටයි නේද?”

“නරක නම් වෙන්න බැහැ, එහෙම නේද? ඔයාට මාස තුනක් තියනවාද?”

“අවම වශයෙන්, නමුත් සමහර විට වැඩි කාලයක් වෙයි, ඒත් ඒ කොටස තියෙන්නේ මගේ අතේ නෙමෙයිනේ. ඉන්න, මගේ දේවල් හෝටලයට අරගෙන යමු, ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන්.”

“ඔයා එතකොට මගේ මහල් නිවාසයේ නෙමෙයිද නවතින්න ඉන්නේ? මම හිතුවේ ඔයා එහෙම කරයි කියලා.”

“මට පුළුවන්, නමුත් මම හෝටල් කාමරයත් තියා ගත්තොත් වඩා හොඳයි වගේ… ඔයා දන්නවා, මම සෝවියට් ජාතිකයෙක්, ඔයා සිවිල් සේවයේ… ඉතින් අපිට ඔයා වෙනුවෙන් අනවශ්‍ය රැළි ඇති කරන්න අවශ්‍ය නැහැ නේද?”

“නැහැ, හොඳ අදහසක්. මම හිතනවා ඔයා හෝටලයට මුදල් ගෙවන්නෙත් නැහැ කියලා?”

“නැහැ, මම පෞද්ගලිකව නෙමෙයි.”

ඔවුන් කෑම වේලක් සඳහා ගිය නමුත් ඒ අතරතුර නටාෂා ඇගේ සංචාරයට සැබෑ හේතුව කථා බහට නොගෙනාවාය. මන්ද යූයි විදේශ කාර්යාලයට අයදුම් කිරීමට තවත් මාස නවයක පමණ කාලයක් තිබූ බැවිනි. ඔවුන් සති ගණන් එකට ගත කළේ හොඳ කාලයක් ගත කරමිනි. සෑම උදෑසනකම යූයිට පෙරදින රාත්‍රියේ බීමත නිසා ඇතිවෙන්නාවූ හිසරදයක් සමඟ වැඩට යාමට හෝ වැඩි නින්දක් නොලබා වැඩට යාමට හෝ සිදුවිය. නටාෂා ඇය සමඟ කතාබහ කළාය. එලෙසම ඇය ගැන දුක් වූවාය. කලකිරීම යූයි ගේ සිත තුල වැපිරීම ඇගේ හොඳම ආරම්භක ක්‍රීඩා සැලැස්ම විය. ඒ පිලිබඳ ඇගේ මව උපදෙස් දී තිබූ අතර එය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබුණි.

"මාස නවයක උමග අවසානයේ ඒක විදේශ කාර්යාලයේ ආලෝකය දිහාවට යොමු වෙලා තිබුනේ නැත්තම්, මම මේ මගුල හෙට ඉඳලම නවත්තනවා!" ඇය බොහෝ විට පැවසුවාය. එය නටාෂාගේ කනට සංගීතය මෙන් විය. එබැවින් මසකට පසු, නටාෂා ස්වල්පය බැගින් උෂ්ණත්වය වැඩි කිරීමට උත්සාහ කළාය.

“ඔයා දන්නවනේ, යූයි, ඒක හරිම විහිලුවක්”, ඇය කදිම අවන්හලක ආහාර වේලක් ගන්නා අතරේදී දෙවන වයින් බෝතලයද විවෘත කරමින් පැවසුවාය, “නමුත් ඔයා ඔයාගේ රස්සාව ගැන සතුටු වෙන්නේ නැහැ, නමුත් මම සෝවියට් දේශයේ ඉන්න ගොඩාක් ආසා කරා. නමුත් දැන්, මම ඔයාගේ මේ ජීවන රටාවට හුරු වෙලා ඉන්නවා. මට අවශ්‍ය තාක් කල් මෙහි ඉන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. කාරණය නම්, යම් කිසි දවසක එයාලට මාව මතක් වෙලා මට එන්න කියලා කැඳවයි. එතකොට මට පොඩි මොහොතක දැනුම් දීමෙන් ගෙදර යන්න වෙනවා.”

“මට ඔයාගේ රස්සාව ලැබුනා නම් කියලා මම ප්‍රාර්ථනා කරනවා, ඔයා ඒ ගැන ගොඩක් වෙලාවට විහිළුත් කරලා තියනවා… ඔයාට ඒක ඕනේ නැහැ කියලා, එහෙම නේද? ඔයාට ඕනේ නම් මගේ එක ගන්න පුළුවන්!”

“ඔයාට රස්සාවක් නැහැනේ… නමුත් අපට ඒක කරන්න පුළුවන් විදිහක් හොයා ගන්න පුළුවන් නම් හෙට ඉඳන් උනත් මේ රස්සාව ඔයාගේ”. ඔවුන් දෙදෙනාම සිනාසෙමින්, තම වයින් වීදුරු එකට වද්දවා ඒවා බිව්වෝය. යූයි නැවතත් වීදුරු පිරෙවූවාය. “ඒ වුනත්”, යූයි සුසුම්ලමින් පැවසුවාය, “මම අහම්බෙන් හරි මේ අවස්ථාව ගත්තා කියන්නකෝ, නමුත් මට මගේ ජීවිත කාලය පුරාම අල්මා අටා වල ජීවත් වෙන්න බැහැ… තරහා නැහැනේ ඔයා. මට යන්න ඕනේ ඇමරිකාවට.”

“ඔහ්, ඔයා දැන් ඔයාගේ හිතත් හදාගෙනද ඉන්නේ එහෙනම්?”

“ඔව්, එක්සත් රාජධානිය ගොඩක් පැරණි විලාසිතාවක්, කැනඩාව ගොඩාක් සීතලයි, එතකොට වෙන්න ඕනේ එකේම තැන කැලිෆෝනියා! මෙන්න මම එනවා!”

“අපිත් මොන දෙන්නෙක්ද නේද? මම ජීවත් වන්නේ අල්මා අටා වල, නමුත් මට ඕනේ නැහැ එහේ ඉන්න. මෙහෙ ජීවත් වෙන්න තමයි කැමති. ඔයා මෙහේ ජීවත් වෙන්නේ, නමුත් කැලිෆෝනියාවට තමයි කැමති … සිත්ගන්නා සුළුයි නේද? අපි හැම විටම එක හා සමානයි, එහෙම නේද? එකම උපන් දිනය, එකම බාහිර පෙනුම, එකම විදිහට තමයි හිතන්නේ, පවුලේ එකම දරුවන්, අපි දෙදෙනාම හොඳ වාග් විද්‍යාඥයින්… අපි බොහෝ ආකාරවලින් සමානයි නේද?”

“ඔව්, ඒවා ගොඩක් අහඹු සිදුවීම්, නමුත් සිත්ගන්නා සුළුයි. ඒ උනාට වැඩ කරන පැත්ත තමයි එපා වෙන්නේ. ඒකෙ කිසිම සිත් ඇදගන්නා බවක් නැහැ, ඔයාට ඒ ගැන මොනවත් ලස්සන අදහස් නැත්නම්”.

“මට පොඩ්ඩක් ඉඩ දෙන්න… ආහ්, දැන් ඔයා ඒක කිව්ව නිසා, සහෝදරිය, මට ආවා අදහසක්.”

“හොඳයි, කියන්නකෝ බලන්න, මම අහගෙන ඉන්නම්. නමුත් ඉස්සෙල්ලාම තවත් වයින් බෝතලයක් ගේන්න කියන්න.”

නටාෂා තම සැලැස්ම විහිළුවක් ලෙසට, එම මොහොතට සුදුසු යැයි හැගුන ආකාරයට විස්තරාත්මකව එලි දැක්වූ නමුත්, තම මිතුරිය නිසි ලෙස අවධානය යොමු කිරීමට නොහැකි මට්ටමේ බීමත් කමකින් සිටිනු බව දුටු විට එය අතහැර දැමීමට තීරණය කළාය. නටාෂා ද තරමක් මත්පැන් පානය කළ නමුත් ඇය බිල්පත ගෙවා යූයිගේ මහල් නිවාසයට කුලී රථයක් කැඳවන ලෙසට වේටර්වරයාට නියම කළාය. නිවසට පැමිණි ඔවුන් දෙදෙනා මහන්සියත්, වෙරි මතත් නිසා ස්නානය නොකර නින්දට ගීයෝය. යූයි පසුදා, සෙනසුරාද, උදෑසන දහයට පමණ අවදිවන විට, නටාෂා උදෑසන ආහාර පිරිනැමූ ට්‍රොලිය අසල වාඩිවී ඒ වන විටත් උදේ කෝපි බොමින් සිටියාය.

"සුභ උදෑසනක්! ඔයාගේ ඔළුව කොහොමද?”

යූයි කුඩා පුටුවක වාඩිවී මේසය මත ඇගේ දෑත් තබා ඒ මත සිය හිස තැබුවාය. “ඔහ්, මට නම් තාම හරිම අමාරුයි වගේ… මට මේ බීමතින් තියන ඔලුවේ අමාරුව යන්නත් එක්ක තව ටිකක් බොන්න ඕනේ, මගේ ආදරණීය සහෝදරිය. මට තියන ආදරය නිසා ශිතකරණයේ තියන බියර් එකක් දෙනවද? මට වීදුරුවක් ඕනේ නැහැ, නමුත් මං වෙනුවෙන් ඔයාට බියර් ටින් එක ඇරලා දෙන්නත් පුලුවන් නේ… හිමීට හා ලස්සනට. මම හිතන්නේ නැහැ මට ශක්තිය තියෙයි ඒක කරගන්න කියලා.”

Ücretsiz ön izlemeyi tamamladınız.

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
27 ağustos 2021
Hacim:
300 s.
ISBN:
9788835427223
Tercüman:
Telif hakkı:
Tektime S.r.l.s.
İndirme biçimi:

Benzer kitaplar