Kitabı oku: «මළවුන්ගේ මධ්‍යස්ථානය», sayfa 2
2 බර්මින්හැම්, ඇලබාමා
"සර්, අවශ්‍ය හැම ගනුදෙනුවකම සිද්ධ වෙලා තියෙන්නේ."
“ස්තූතියි,” ඔහු පිළිතුරු දී දුරකථනය විසන්ධි කළේය.
∞
බර්මින්හැම්හි වෛද්‍යවරයා පැය කිහිපයක් ඇතුලට පණිවිඩ දෙකක් තබා තිබුණි.
"දොස්තර ඒ. ඩබ්ලිව්. ක්‍රෝ, කනිෂ්ඨයා කතා කරන්නේ ... අහ්, ඒ ඔයාද, සර්. මට පාව්චිචියට ගන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවා. විස්තර: උපරිම තුන; දශම පහ. තේරුණාද?"
“ඔව්, ස්තූතියි වෛද්‍යතුමනි, ඔයාගේ උනන්දුව සටහන් කරගත්තා, අපි ඉක්මනින්ම ඔයාව ආයෙත් සම්බන්ධ කරගන්නම්. ආයුබෝවන්.”
∞
තෙවන ඇමතුම මාර්සේ හි ජෙනාරෝ ගෙනි, නමුත් එය කෙතරම් වැදගත්ද වූවාද කිවහොත්, ගරෙග් එම ඇමතුම යලි නාද නොකළේය. ඔහු ඒ වෙනුවට, ‘හෙට’ යනුවෙන් කෙටි පණිවිඩයක් යැවිය.
"බොබ්, ඔයාට නිවාඩුවක් ගන්න තියනවා. ඊළඟ පැය හතලිස් අට ඇතුලත ඔයාට පිටත් වෙන්න පුලුවන්ද?”
“ඔයාට ඕනේ නම්, ඊළඟ විනාඩි හතලිස් අටෙන් උනත් මට යන්න පුළුවන්. මම කොහෙද යන්නේ?"
“උතුරු ඇමරිකාවට, ඇමරිකා එක්සත් ජනපදයට සහ කැනඩාවට. ඔයාගේ වීසා තාමත් වලංගුයි නේද?”
"ඔව් සර්, මම ඒවට කිසිම දවසක කල් ඉකුත් වෙන්න දෙන්නේ නැහැ."
“හොඳයි, හොඳයි, ඔයාට පුළුවන් ඉක්මනින්, ඇලබාමා වල බර්මින්හැම් වලට පියාසර කරන්න සූදානම් වෙන්න, එතනින් පටන් ගන්න. මට යුරෝපයට සංචාරයක් යන්නත් වෙලා තියනවා, නමුත් මම යන්න ඉස්සරවෙලා ඔයාගේ සම්බන්ධතා පිළිබඳ විස්තර මම ඔයාට දෙන්නම්. ඊළඟ දවස් හතේදී මාව සම්බන්ධ කරගන්න පුළුවන් ජංගම දුරකථන අංකය මෙන්න මේකයි.”
බොබ් කඩදාසි කැබැල්ල ගෙන, හුස්මත් සමග එම අංකය නැවත කියවූ අතර ක්‍ෂණිකව එය තම මතකයේ තැන්පත් කරගත්තේය. ඔහු කඩදාසි කැබැල්ල නැවත ගරෙග් වෙත භාර දුන්නේය. ඔවුන් දෙදෙනාම ප්‍රංශ දොරවල් හරහා ගෙවත්තට ඇතුළු වී එකිනෙකාට තරමක් දුරින් සිට තම ගමනාන්ත දක්වා ගුවන් ගමන් වෙන් කර ගත්හ. ඔවුනට අවශ්‍ය නම්, හෝටල් පහසුකම් වෙන් කිරීම ඉතා පහසු විය.
∞
සැරයන් රොබට් ජෝන්ස් නොහොත් ඔහුව වඩාත් හොඳින් හැඳින්වූ පරිදි, බොබ් 2 වන පැරෂුට් රෙජිමේන්තු බලඇණියේ හිටපු දෙවැනියා මෙන්ම 22 විශේෂ ගුවන් සේවා රෙජිමේන්තුවේ හිටපු නිලධාරියෙකුද විය. ඔහු හතළිස් හය හැවිරිදි වියේ පසු වූ අතර, දහසය හැවිරිදි වියේදී හමුදාවට බැඳී ඇති අතර, ඔහු දෙස් විදෙස් බොහෝ සංග්‍රාම වල ප්‍රවීණයෙකු විය. ඔහු 5' 4" උස්වූ, කොට, කෙට්ටු හා පළල් මිනිසෙක් වූ නමුත් ලෝකයේ ඕනෑම කෙනෙකු හමු වීමට කැමති අන්තිම පුද්ගලයෙක් වුයේ, මේ මෘදු ගතිගුනැති බොබ් ජෝන්ස් වූ අතර විශේෂයෙන් එසේ වූයේ ඔහු ඔබ සමඟ අමනාප වී සිටින්නේ නම් හෝ ඔබ ඔහුගේ 'මාර්ගයේ' සිටිනවා යනුවෙන් ඔහු සිතන්නාවූ අවස්ථාවන්හිදී ය. කෙසේ වෙතත්, සමාජයේ වාසනාවකට මෙන්, ඔහු කෝපයට පත් වූයේ කලාතුරකිනි, ඔහු කිසි විටෙකත් නියෝග මත මිනිසුන් මරා දමා නොමැත.
කෙසේ වෙතත් ඒ, අවුරුදු විසි හයක් තුළ ඔහු හමුදාවේ සිටි කාලයේදීය.
ඔහු හමුදාවට බැඳී මද කාලයකට පසු, එනම් ඔහුගේ පුහුණුවීමේ කාලය අතරතුර, ඇල්ඩර්ෂොට්හි සිටියදී, ඔහුට දැන් තිබූ ස්වයං විනය නොමැති කාලයක් තිබූ අතර, නගරයේ බාර් වල කැරලි ගසමින් නගරවාසීන් සමග ඔහු නිරතුරු රණ්ඩු සරුවල් ඇති කරගත් අතර ඔහු දෙස බැලීමම, නගර වැසියන් හට රෝහල් ගත වීමට හේතුවක් හෝ නැතහොත් එය හුදු විනෝදය සඳහාම විය.
නමුත් එය සිදුවුයේ ජීවිත කාලයට පෙරය.
බොබ් වසර දොළහක් හමුදාවේ, ගරෙග්ගේ දකුණත් මිනිසා ලෙස සිටි නමුත් ඔවුන් දෙදෙනා නැවත සිවිල් ජීවිතයේ එක්වී වැඩ කිරීමට පටන් ගෙන තිබුනේ මෙයට වසරකට පමණ පෙර වූ අතර, එයද ඔහුගේ බිරිඳ ජෙනී, පිළිකාවක් හේතුවෙන් මිය ගිය පසුය.
ඔහු ඇයව වාසනාවන්තයෙකු ලෙස සැලකුවේ, ඇය හොඳ සෞඛ්‍ය සම්පන්නව සිටිමින්, ගලනාලයේ පිළිකාවක් සෑදී මාස තුනක් ඇතුළත මිය ගිය බැවිනි.
එය වසරකට පෙර සිදුවූ දෙයක් වූ අතර එය තවමත් ඔහුට අපායක් මෙන් වේදනාවක් ගෙන දුනි. ඒ වන විටත් ගරෙග්ගේ ව්‍යාපාරය මගින් ඒ කාලය වනවිට ඔහුව තෝරාගත් අතර එය ඔහුගේ ජීවිතයේ පහළම ස්ථානයේ සිටින අවස්ථාවකදී විය. ඔහුගේ එක් පසුතැවිල්ලක් වූයේ ඔහු දැන් උපයන විශාල මුදල් ප්‍රමාණය වියදම් කිරීමට ඔහුට උදව් කිරීමට ඇය ජීවත්ව නොසිටීමයි. එයින් අදහස් වූයේ ඇය මුදල් නැතුව සිටියා යන්න නොවේ. ඔහු සක්‍රීය සේවයේ යෙදී නිවසින් දුර බැහැර සිටියදී, ඇය අධික ලෙස මත්පැන් පානය කිරීමට හුරුවීම නිසා පිලිකාව ඇති වූවාදැයි ඔහු නිතරම කල්පනා කළේය.
එය එසේ විය නොහැකි යයි සිතීමට තරම් ඔහු මෝඩයෙකු නොවූ අතර එම තීව්‍රතාවයෙන් තමා කිසි දිනෙක වෙනත් කාන්තාවකට ආදරය නොකරන බව ඔහු දැන සිටියේය.
ඔවුන්ගේ එකඟතාවයකින් ඔවුන්ට දරුවන් නොසිටියෝය, එබැවින් මේ දිනවල බොබ්ගේ ආදරය යන්නෙන් අදහස් කරනුයේ ඔහුගේ රැකියාව හොඳින් කරගෙන, ඔහුගේ ලොක්කා ගැන සැලකිලිමත් වීමයි: වෙනත් වචන වලින් කිවහොත්, රැකියා තෘප්තිය සහ සහායකයා, මිත්‍රත්වය පවා.
ඔහු බීමත්ව සිටියදී ඕනෑම ස්ත්‍රියක් ඔහු අමග සිටීමට මැලි නොවූහ. බීමත්ව සිටියදී කාන්තාවන් ඔහුට ආකර්ශණීය නොවන බව පුස්සක් වූ අතර, ඔහු සතුව මුදල් තිබුනද, ඔහු පසුපස පැමිණි බොහෝ ස්ත්‍රීන් ඔහුගේ ප්‍රියතාවයන්ට වැඩි වයසින් යුත් අය වූහ. ඔහු තවමත් සිතුවේ, ඔහු හතළිස් හය හැවිරිදි ව්‍යාපාරිකයෙකු නොව විසි හැවිරිදි පැරෂුට් භටයෙකු ලෙස ය.
අතක් හෝ පයක් අහිමිව යනසේ ඔහුට ජෙනීව අහිමි වූ අතර සෑම විටම එය ඔහුට දැනුනි. නරකම දෙය නම්, පොලවේ මේ ගතකරන ජීවිතයේ ඔහුට ඒ ගැන කළ හැකි කිසිවක් නැති බව ඔහු දැන සිටි අතර එයින් ඔහු දරුණු ලෙස ආතතියට පත් විය.
ඔහු සිය රේන්ජ් රෝවර් රථයෙන් හීත්‍රෝ ගුවන් තොටුපල වෙත ගොස් ඇමරිකා එක්සත් ජනපදයට පියාසර කිරීමට පෙර එක රැයක් එහි රැඳී සිටියේය.
ඔහු ගමන සඳහා වැඩි යමක් ගත්තේ නැත: ඔහු ආදරය කළ සැවිල් රෝ ඇඳුම, අතින් සකසන ලද ෂර්ට් කිහිපයක්, යට ඇඳුම් සහ ඔහු දැනට ඇඳ සිටි දේ. තමාට අවශ්‍ය ඕනෑම දෙයක් ඕනෑම වේලාවක මිලදී ගත හැකි බව ඔහු දැන සිටි අතර එලෙසම ඔහු යම් සංචාරයක ගියවිට, සිහිවටන ඇඳුම් මිලදී ගැනීමටද ප්‍රිය කළේය.
ගමනාන්තයට පැමිණි විට, බොබ් කුලී රථ රියදුරෙකුගෙන් ඉල්ලා සිටියේ තමාව 'කලබලයක් නැති නවාතැන් පලකට’ කැඳවාගෙන යන ලෙසටය, මන්ද යත්, ඔහු මීට පෙර කිසි දිනෙක ඇලබාමාහි බර්මින්හැම් වෙත නොපැමිණ තිබුන බැවිනි. ඔහු හෝටලයේ නවාතැන් ගෙන, ස්නානය කොට, වෙනත් ඇඳුමක් ඇඳ පිළිගැනීමේ කවුන්ටරය නාද කළේය.
"මට එච්චර සනීප නෑ ... මම දියවැඩියා ලෙඩෙක්. කරුණාකර මාව දොස්තර ඒ. ඩබ්ලිව් ක්‍රෝගේ ශල්‍යාගාරයට ගෙනියන්න කුලී රථයකට එන්න කියන්න පුලුවන්ද? මගේ යාලුවෙක් එයාව මට නිර්දේශ කරලා තියනවා.”
"හරි සර්, පහළට බහින්න උදව් ඕනෙද සර්?"
“නැහැ, එහෙම ඕනේ නැහැ, ස්තූතියි. මම අවුරුදු ගණනාවක් අසනීපයෙන් ඉන්න හින්දා මට කලින් අනතුරු ඇඟවීමේ ක්‍රමයක් මම ම හදාගෙන තියෙන්නේ. ඔයා දැන් කුලී රථයකට කතා කරනවා නම්, මම පිළිගැනීමේ කවුන්ටරයට එන්න දැන් පිටත් වෙනවා. ඔයාට ස්තුතියි."
"ඔයාටත් ස්තුතියි, සර්."
වෛද්‍යවරයාගේ ස්ථානයට පැමිණී බොබ් වෛද්‍යවරයාගේ ඩිස්පෙන්සරියේ දොර විවර කළ අතර, එහි ඇතුලට යාම සඳහා පුද්ගලයින් තිදෙනෙක් බලා සිටිනු දුටුවේය. ගැඹුරින් හුස්ම ගත් ඔහු බිම වැටීමට ඉතා ආසන්නව සිටින්නාක් මෙන් පිළිගැනීමේ නිලධාරියාගේ කවුන්ටරය මත සිය සම්පූර්ණ බර තැබීය.
"මට ඩොක්ටර් ක්‍රෝව ඉක්මනටම හම්බවෙන්න ඕන," ඔහු තදින් හුස්ම ගනිමින් කිවේය. "දියවැඩියාවේ කම්පනය, එයා ඉන්නවද? ඩොක්ටර් ක්‍රෝ? මේක නිව් යෝර්ක් වල ඉන්න මගේ වෛද්‍යවරයාගේ යොමු කිරීමක්.”
බොබ් කාඩ්පත් දෙකක් දිගු කළේය, එකක් තමා දියවැඩියා රෝගියෙකු බව පෙන්වීමට සහ අනෙක තමා සතුව මුදල් ඇති බව ඔප්පු කිරීමට ය. පිළිගැනීමේ නිලධාරියා භීතියෙන් ඔහු දෙස බැලූ අතර, ඔහුට ඉඳගැනීමට අසුනක් තැබීමට තම කවුන්ටරයෙන් එලියට පැමිණ යලිත් ගොස් දුරකථනයෙන් කතා කළේය. දොස්තර ක්‍රෝ වහාම පිටතට පැමිණ, ඔහු එලියට පැමිණි කාමරයට නොව වෙනත් කාමරයකට බොබ් ව රැගෙන යාමට උදව් කළේය. ඇතුළට ගිය පසු බොබ් කෙළින් වී පුදුමයට පත් වූ වෛද්‍යවරයාට අතට අත දී වාඩි විය.
"හලෝ, වෛද්‍යතුමනි, ඔයාව හමුවීම සතුටක්! ඔයා මේ සුමානේ දෙසැරයක් ඒජන්සියට කතා කරලා තියනවා. ඔයාට අපිට කියන්න තියෙන්නේ මොනාද?”
දොස්තර ඒ. ඩබ්ලිව් ක්‍රෝ කනිෂ්ඨයාට මේ තත්වය පිළිබඳව අවබෝධ කරගැනීමට තත්පර කිහිපයක් ගත විය.
"අර්, ඔව්, මට කණගාටුයි, ඒ ගැන කියනවා නම්, මම ප්‍රධාන කාර්යාලයේ කෙනෙක් එක්ක කටයුතු කරණ පළමු අවස්ථාව මේකයි."
"කිසිම ප්‍රශ්නයක් නෑ. මගේ නම ජිම්, මම ආවේ සහභාගිවෙන්නා එක්ක කතා කරන්නයි. ඔයා මට සම්බන්ධතා විස්තර ලබා දෙනවා නම්, ඔයා දැනට කර කර ඉන්න වැඩේ කරගෙන යන්න මට ඉඩ දෙන්න පුළුවන්.”
වෛද්‍යවරයා ඔහුගේ ඩෙස්ක්ටොප් පරිගණකය නැවත සක්‍රිය කර, රෝගියෙකුගේ වාර්තාවක් සොයා, එය මුද්‍රණය කර බොබ් වෙත භාර දුන්නේය.
"මට කරන්න තියෙන්නේ මෙච්චරයිද?"
"ඔව් ඩොක්ටර්. අපි මේ ඉස්සරහට වෙන්න පුළුවන් සහභාගිවෙන්නා සම්බන්ධ කරගෙන එයාට සහයෝගයෙන් කටයුතු කරන්න අවශ්‍ය නම් ඔයාට අපි ඒ බව දන්වනවා. ඔයාගේ සහයට බොහොම ස්තුතියි. අපි නැවත හමුවෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”
"ඔව්, ස්තූතියි, ජිම්. අර්, සමහර විට, ඔයාගේ කතාව ඇත්ත කියලා පෙන්නන්න මම හිතනවා ඉන්සියුලින් ටිකක් එව්වොත් හොඳයි කියලා.”
"ඔව්, ඒක හොඳ වෙයි."
මිනිත්තු කිහිපයකට පසු, ලිපිනයක් තම අතෙහි තබාගෙන බොබ් නැවත පාරට පැමිණියේය. තරමක් ධනවත් බවක් පෙනුණු වීථියේ ඉහළ පහල බැලූ ඔහු තමා සොයමින් සිටින දේ දැක පාරේ අනිත් පසට මාරුවිය.
ඔහු බාර් එකට ඇතුළු වී බියර් එකක් ඇණවුම් කළේය. බියර් දෙකකට පසු, ඔහු නැවත වරක් බාර් එකේ සේවකයාට කතා කර නම නොපෙනෙන සේ කඩදාසිය නමා එහි සඳහන් ලිපිනය පෙන්වූයේය.
"මේක තියෙන්නේ මේ ළඟද? මම එක්සත් රාජධානියේ ඉඳන් ආවේ, සෑහෙන කාලෙකින් කිසිම සම්බන්ධයක් නැතිවුණ මගේ සහෝදරයා බලන්නයි. නමුත් මම මේ නගරය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. කවදාවත් මෙහෙ ඇවිල්ලත් නැහැ.”
“ඒක වැඩි ඈතක් නෙමෙයි. ඒ උනාට ඔයා කුලී රථයක් අරගෙන ගියොත් වඩා හොඳයි. ඒකට ඔයාට ඩොලර් දහයක් විතර යයි.”
බොබ් ඔහුගේ බාර් බිල ගෙවා කුලී රථයක් ලබා ගැනීම සඳහා පිටතට ගිය අතර ඔහු එමගින් මධ්‍යම පාන්තික උප නගරයකට පිවිසුණේය. ඔහුට අවශ්‍ය නිවෙස පසුකර යාර පනහක් පමණ කුලී රථය ගියපසු, එය නැවැත්වූ ඔහු නැවත ඒ නිවස දෙසට පයින් ගමන් කළේය.
නිවෙස වෙත ඇවිද යාමේදී ඔහු, ඔහුගේ කොණ්ඩය තදින් තලා, දොර අසලට ගොස් සීනුව නාද කළේය.
හොඳින් ඇඳ පැළඳගත්, හැඩකාර පෙනුමක් ඇති, ලස්සන කාන්තාවක් දොරට පිළිතුරු දුන්නාය.
"හලෝ, මැඩම්, මෙය කාටර් මහත්මයාගේ සහ මහත්මියගේ ගෙදරද?"
“කාටද දැනගන්න ඕන?"
"අනේ කරුණාකරලා, මැඩම්?"
"ඔව්, කාටද ඒක දැනගන්න ඕනේ?"
"ඔයාගේ සැමියා ගෙදර ඉන්නවද? මගේ නම ජිම් බාබර්. මම ඔයාගේ ස්වාමියා වැඩ කරන තැනට සම්බන්ධ රක්‍ෂණ කාර්යාලය වන ‘වෝකර් ඇන්ඩ් වෝකර්’ වල වැඩ කරන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඇත්ත වශයෙන්ම, ඊට හාත්පසින් වෙනස් දෙයක්. අපි හිතන්නේ එයාගේ රක්‍ෂණ වාරික වලට සැලකිය යුතු වට්ටමක් ලබා දෙන්න තියනවා. අපිට පේන විදිහට එයා ඕනෑවට වඩා ගෙවලා තියනවා.”
"නැහැ, එයා තාම ආවේ නැහැ, ඒ උනාට මම ඉක්මනින් එයා එයි කියලා බලාපොරොත්තු වෙනවා. එයා සාමාන්‍යයෙන් එන්නේ හයට විතර.”
“ආ එහෙමද ... මට පහයි හතලිස් පහට තව හමුවීමක් තියනවා ... ඔයාට පුලුවන්ද එයාගේ ජංගම දුරකථන අංකය මට දෙන්න, එතකොට මට පුළුවන් එයාට කතා කරන්න, එහෙම නැත්තම් ඔයා එයාට දුරකථනයෙන් කතා කරලා මම ඇවිත් කියලා කියනවද? දෙකෙන් ඔයා කැමති ඕනේ දෙයක්.”
ඇය සිය ජංගම දුරකථනය සාක්කුවෙන් ඉවතට ගෙන ඇමතුම ගත්තාය.
“රොන්, මේ ඉස්සරහා දොර ගාව කෙනෙක් ඉන්නවා ඔයාට කතා කරන්න ඕනේ කියන. කමක් නැද්ද මැණික?"
ඇය දුරකථනය බොබ් වෙත දුන්නාය.
“හලෝ, කාටර් මහත්මයා. මම ඔයාගේ සමාගමේ සෞඛ්‍ය රක්‍ෂණ ක්‍රමයෙන් ... ඔයාගේ වෛද්‍යවරයා දොස්තර ඒ. ඩබ්ලිව් ක්‍රෝ කනිෂ්ඨයා තමයි මට ඔයාගේ විස්තර දුන්නේය ... අපි ඉතා ඉක්මනට හම්බවෙමුද? ඒක ඔයාගේ මූල්‍යමය යහපත සඳහා වෙයි. කරුණාකරලා මගේ ජංගම දුරකථනයට මට ආයේ කතා කරන්න, ඔයා ගාව පෑනක් තියෙනවද? 01408, ඒක මා වෙත හරවලා එනවා. ඔයාට පුලුවන්නම් කරුණාකරලා ඊළඟ විනාඩි දහය ඇතුලත අමතන්න. ඔව්, හදිසියි.”
ඔහු දුරකථනය කාටර් මහත්මියට ආපසු දුන්නේය. ඇය එය කනට තබාගෙන පසුව එය නිවා දැමුවාය.
“හොඳයි, ඔයාට බොහෝම ස්තූතියි, කාටර් මහත්මිය, මට තවදුරටත් ඔයාට කරදර කරන්න අවශ්‍ය නැහැ. මම එහෙනම් යන්නම්. සුබ දවසක්."
ඔහු හිස වනා, සිනාසී, ආපසු හැරී ඇවිද ගියේය. වීදිය සැතපුමක් පමණ දිග වූ නමුත් නැගෙනහිර දෙසට ඇවිද ගියහොත් තමාට නැවත නගරයට පිවිසිය හැකි බව ඔහු දැන සිටියේය. යාර තුන්සියයක් පමණ ඇවිද ගියපසු ඔහුගේ ජංගම දුරකථනය නාද විය.
“හලෝ, ජිම් බාබර් ...” ඒ අංකය ඇත්තේ ගරෙග්ට සහ ලෝකයේ තවත් එක් අයෙකුට පමණක් බැවින්, ඒ කවුදැයි ඔහු දැන සිටියේය.
"කාටර් මහත්මයා, ඉක්මනින්ම මාව අමතුවාට ඔයාට ස්තුතියි. අපිට ඉක්මනට හම්බවෙන්න පුලුවන්ද? මට ඔයා එක්ක සාකච්ඡා කරන්න හදිසි දෙයක් තියනවා, ඒ වගේම හෙට උදේ මම මේ නගරයෙන් යනවා. මම හිතන්නේ ඔයා දැන් ගෙදර යමින් ගමන ඉන්නේ කියලයි ... ඔව්, හොඳයි. ඔයාට පුළුවන්ද මාව ගන්න? මම ඔයාගේ ගෙදරට යාර හය හත්සියයක් නැගෙනහිරින් ඉන්නේ. මම ඇවිදිනවා. මම ලා නිල් පාට ඇඳුමක් ඇඳලා ඉන්නේ. ඔයා මොකක්ද එලවන වාහනය? සුදු ප්‍රියස් එකක්ද? හරි, ඊළඟ මිනිත්තු කීපයේදී මම ඔයා එනවද කියලා බලන්නම්.”
සුළු මොහොතකට පසු නගර මධ්‍යයේ සිට පාළු වීදිය දිගේ කාරයක් ඔහු වෙත පැමිණියේය. එය ඔහු අසල නැවැත්වූ අතර ළඟම ඇති ජනේලය විවෘත විය.
“අහ්, කාටර් මහත්මයා කියලා මම හිතනවා. ඔයාව දැන හඳුනා ගැනීම කොච්චර සතුටක් ද? ජිම් බාබර්. අපට පෞද්ගලික කතා බහකට කොහේ හරි යන්න පුළුවන් නේද? ඒකට වැඩි වෙලා යන එකක් නැහැ. මේ ළඟ තියන වැඩි සද්ද නැති බාර් එකක් මම දන්නවා; මට සීතල බියර් වීදුරුවක් බොන්න ඕනේ. අද හරි රස්නෙයි, නේද?”
බොබ් රථයට ගොඩ විය. කාරය යූ අකුරේ හැඩයට හරවා නැවත නගරයට ගියේය. රොන් කාටර්, උපකරණ පුවරුවේ තිබූ හෑන්ඩ්ස් ෆ්‍රී උපාංගය සක්‍රිය කර ඔහුගේ බිරිඳට කතා කළේය.
"හලෝ, මැණික. ඔව්, මම දැන් බාබර් මහත්තයා එක්ක ඉන්නේ. අපි කතා කරන්න තමයි යන්නේ, නමුත් මම පැයකින් ගෙදර එනවා. ඔව්, කෑම ගැන කණගාටුයි, නමුත් ඔයා තත්වය දන්නවනේ. අනික ඒක හැමදාම වෙන්නේ නැහැනේ, එහෙම නේද? ඔව්, හරි, ස්තූතියි, මැණික. ඔයාව ඉක්මණින්ම මුණ ගැහෙන්නම්."
"හරි, බාබර් මහත්මයා, මේ මොකක් ගැනද?"
"කරුණාකරලා, මට ජිම් කියලා කියන්න. මම ඔයාට රොන් කියන්නද? අපි සුවපහසු විදිහට වාඩි වුන ගමන්ම මම ඔයාට කාරණය කියන්නම්. නමුත් මම මේක කියන්න ඕනේ. ඔයාට කරදර වෙන්න කිසිම දෙයක් නැහැ. මම ශුභාරංචි ගෙනෙන කෙනා මිසක් නරක දේ ගේන කෙනා නෙමෙයි. මම ආවේ උදව් කරන්න. බාධා කරන්න නෙමෙයි.”
නිහඬ බාර් එකක් පිටුපස ඇති කුටියක ඔවුන් අසුන් ගත් විට මේසය මත, ට්‍රිම් ටැබ් රයි බ්‍රවුන් බීර ජෝගුවක් සහ වීදුරු දෙකක් සමඟ තබන ලදී. විනාඩි පහකට පමණ පසු බොබ් පැවසුවේ,
"චියර්ස්, රොන්," රොන් සමඟ වීදුරු එකිනෙක වද්දා සව්දිය පිරීමට ඔහුගේ වීදුරුව ඔසවමිනි.
"චියර්ස්," ඔහු පිළිතුරු දුන්නේය, "මම කන් දීගෙන ඉන්නේ."
“ඔයාගේ තත්වය ගැන මම දන්නවා. මට කණගාටුයි, ඒක ඔයාව පුදුමයට පත් කරා කියලත් මම දන්නවා. විසඳුමක් ගැන ඔයා මේ ලඟකදී අපේ නියෝජිතයෙකුට කතා කරා කියලා මට තේරෙනවා.”
"මම ටිකක් ව්‍යාකූලයි. මම නොපැහැදිලි වෙන්න අදහස් කරන්නේ නැහැ. නමුත් මේ ඔක්කොම වලින් අදහස් කරන්නේ මොකක්ද. මොන නියෝජිතයාද, මොන තත්වයක්ද?”
ඔයාගේ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක් තියනවා, ඔයාගේ බිරිඳ ධනවත් වැන්දඹුවක් විදිහට හැර යන්න පුළුවන් ක්‍රමයක් මට තියනවා. ඒක ඔයාගේ මතකය අලුත් කරනවද?"
"ඔයා ඒ ගැන දන්නේ කොහොමද?"
“මේ බියර් නම් නියමයි. මම කිව්ව විදිහට, ඔයා එක දවසක හවස අපේ කෙනෙකුට කතා කරා. බාර් එකක, සමහර විට මේකෙම වෙන්න පුළුවන්. මම හිතුවේ බාර් එක බලන මනුස්සයා ඔයාව අඳුර ගනියි කියලයි. ඔයා මෙහෙ කතා කරන්න සතුටුද, නැත්නම් ඔයා වෙන තැනකට යන්න කැමතිද?”
“නැහැ, ඒක ගැටලුවක් නෙමේ. මෙතන වෙන තැන් වගේම හොඳ තැනක්.”
“ඔව්, මගේ අත්දැකීමේ හැටියටත් මේක හොඳයි, ඔයාගේ වීදුරුව පුරවන්න මට ඉඩ දෙන්න. ඔයා ශැන්ඩි ටිකක් ගන්නත් කැමතිද?”
"ඇයි නැත්තේ?"
බොබ් අතක් එසවූ අතර වේටර්වරයා ක්ෂණයකින් ඔවුන් වෙත පැමිණියේය. ඔහු වෛයිල්ඩ් ටර්කි කුඩා ප්‍රමාණයක් ඇණවුම් කළේය.
"මම හිතන්නේ ඔයාට විස්තර මතක ඇති."
"ඇයි ජිම්, ඔයාගේ තණතීරුව ඔයා හදන්නේ නැත්තේ, අපි එතනින් පටන් ගමු."
“හරි, රොන්, ඔයාට සෙල්ලම් කරන්න ඕනේ විදිහට අපි යමු. ඔයා අපේ කෙනෙක්ට කියලා තියනවා ඔයාට ඉතා ඉක්මනින් විශාල මුදලක් උපයා ගන්න අවශ්‍යයි කියලත්, ඔයා සහ ඔයාගේ පවුලේ අය මූල්‍ය අර්බුදයක ඉන්න නිසා ඒක විසඳ ගන්න ඔයාට වැඩි කාලයක් නැහැ කියලත්.”
"කවුද ඔයාට ඒක කිව්වේ?"
“දවසකදී ඔයාව මුණගැහුණු මිනිහෙක්, ඔයාත් එක්ක බීම ස්වල්පයක් පානය කරාම ඔයා ඔයාගේ හදවත ඇරලා කතා කරා, මම කීව්ව විදිහට, ගොඩක් වෙලාවට මෙතන වෙන්න පුළුවන්.”
රොන් මදක් නැවතී කල්පනා කළේය. ඔහුට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් ඇති බවත්, ජීවත් වීමට මාස තුනකට වඩා කාලයක් නැති බවත් වෛද්‍ය ක්‍රෝගෙන් ආරංචි වූයේ මෙයට දෙසතියකට පෙරය, නමුත් ඔහු තම බිරිඳට ඒ බව පවසා නොතිබූ අතර අදාළ සන්ධ්‍යාව ගැන බොහෝ දේ ඔහුට මතකයක් නොතිබුණි. ආගන්තුකයන් කිහිප දෙනෙකු සමඟ කතා කරමින් හොඳින් විනෝද වූ බව පමණක් ඔහුට මතකය. ඇත්තෙන්ම ඔහු තරමක් බීමත්ව සිටි බව පෙනෙන්නට තිබූ අතර එය මේ දිනවල අසාමාන්‍ය දෙයක් විය.
නියෝජිතයා පැමිණ සිටියේ රොන්ව අවුල් කිරීම සඳහාය. එය සමාගමේ දෛනික ක්‍රියා පටිපාටියේ කොටසක් වූ බැවින් මුල් තොරතුරු ලබා දුන් වෛද්‍යවරයා, මේ කාරණය සමඟ මොනයම් ආකාරයක හෝ සම්බන්ධයක් ඇති බව වසන් කිරීම ඔවුන්ගේ අරමුණ විය.
“මට කණගාටුයි, රොන්, නමුත් මම මේවා ගැන දන්නේ කොහොමද කියලා මට ඔයාට කියන්න බැහැ. ඒක ගොඩාක් වැදගත්ද?”
“නැහැ, කොහෙත්ම නැහැ. නිකම් කුතුහලයක් විතරයි.”
"ඔයාට මතකද ඔයා අපේ ක්‍රියාකරුට කිව්ව දේ"
"ටිකක් විතර."
"ඔයා තාමත් ඒ ගැන උනන්දුවක් දක්වනවාද?"
"ඔව්."
"හරි. ජයවේවා!”
∞
ගරෙග් මාර්සේ ප්‍රොවෙන්ස් ගුවන් තොටුපළට පියාසර කර කුලී රථයකින් ලෙස් කැලන්ක්ස් ද කැසිස් අසල පිහිටි විශාල මන්දිරයක් වෙත ගියේය. කුලී රථයට ගේට්ටු වලින් ඇතුළු වීමට ආරක්‍ෂක භටයින් ඉඩ නොදුන් නිසා ගරෙග් රියැදුරුට මුදල් ගෙවා ආරක්ෂකයින්ට තමාගේ පැමිණීමට සාක්ෂි පෙන්වූ අතර පසුව වහලය විවෘත කලහැකි රෝල්ස් රොයිස් කැමාර්ගු රථයකින් ඔහුව සැතපුම් කාලක් පමණ දුරින් පිහිටි ප්‍රධාන නිවස වෙත රැගෙන ගියේය.
ජෙනාරෝ, ඉදිරිපස පෝටිකෝව අසල පිහිටි ආලින්දයට වී ඔහු එනතුරු බලා සිටියේය.
"ඔයා ආයේ ආපු එක කොච්චර හොඳද, ඒ වගේම ඔයාව දැකීම කොතරම් සතුටක්ද" ඔහු කීවේ නිවැරදි ඉංග්‍රීසි උච්චාරණයකිනි.
"ආයේ මෙහේ ඇවිත් ඔයාව දැකීමත් සතුටක්" යනුවෙන් ගරෙග් පැවසීය. "ව්‍යාපාරය, සතුට එක්ක මිශ්‍ර කරන එක නරකයි කියලා කවුරු කිව්වත්, ඒ මනුස්සයා ව්‍යාපාරිකයෙක්වත්, විනෝදකාමී කෙනෙක්වත්, නෙමෙයි!"
"ඔහ්, මගේ යාළුවා, මම ඔයා එක්ක සියයට සියයක් එකඟයි." ඔහු ගරෙග් සමඟ දෑත් සොලවා, වැළඳ ගැනීමට නැගී සිටි අතර පසුව ඔහු ඇඟිලි ශබ්ධ කල විට, ට්‍රොලියක් මත වීදුරු දෙකක් සහ අයිස් බාල්දියක බහා තිබු බොලිංගර් බෝතලයක් සමග ප්‍රධාන මෙහෙකරුවා පැමිණියේය.
"ගරෙග්, ඔයා ප්‍රාණවත් භාවයට පත්වෙන්න කැමතිද?"
"ජෙනාරෝ, ස්නානයකටයි, ඔයාගේ අපූරු පිහිනුම් තටාකයේ ඉක්මන් කිමිදීමකටයි මම කැමතියි, ඒක පුලුවන් නම්."
"ඇයි, ඇත්තෙන්ම පුළුවන්, කොල්ලෝ." ජෙනාරෝ තම ජංගම දුරකථනයකට කතා කළ අතර ගොල්ෆ් කරත්තයක්, ඔවුන්ව නිවස පිටුපසට රැගෙන යාම සඳහා පැමිණියේය.
"ඔයාගේ දේවල් ඔයාගේ කාමරයට අරගෙන ගිහින් තියෙන්නේ. ඒ උනාට අතන තියන ඇඳුම් මාරු කරණ තැන ඔයාට පවිච්චි කරන්න ඕනේ තරම් ට්‍රන්ක් තියනවා. ඒක තියෙන්නේ කොහේද කියලා ඔයාට මතකද?"
"ආ ඔව්. මට කොහොමද අමතක වෙන්නේ? මම අන්තිම සැරේ මෙහෙ ඉන්නකොට මොනික් හිටියේ ..."
“අහ්, ඔව්, මොනික්, ඒ වගේ ආකර්ශනීය ගැහැණු ළමයෙක්, නමුත් අයියෝ, එයා තවදුරටත් අපිත් එක්ක නැහැනේ. අපට සිද්ධ වුනා එයාට යන්න දෙන්න. ඔයාගේ සතුට ඒක නම්, අපිට තවත් අය ඉන්නවා.”
"සමහර වෙලාවට, පස්සේ. මට ඕනේ මේ මහන්සිය මගෙන් අයින් කරගෙන ටික වේලාවක් සිසිල් වෙන්නයි. කොහොම උනත් තව චැම්පේන් වීදුරුවක් නම් වැඩි වෙන්නේ නැහැ.”
ජෙනාරෝ ඒ සඳහා සන් කල අතර එය සිදු විය.
ගරෙග් ඔලිම්පික් තරඟ පවත්වන ප්‍රමාණයේ පිහිනුම් තටාකයේ තරමක වේලාවක් පිහිනීමෙන් පසු, නැවතත් තම සත්කාරකයා සමඟ වාඩි විය.
"ඒක හරිම අපූරුයි, මගේ මිත්‍රයා, මම ඔයාගේ ජීවන රටාවට ඊර්ෂ්‍යා කරනවා."
“ඔයාටත් ඒ විදිහටම ඉන්න පුළුවන්, මම හිතනවා, නමුත් මම මගේ මාර්ගය තෝරගත්තු විදිහට ඔයා ඔයාගේ මාර්ගය තෝර ගත්තනේ. අපි මොනවා හරි කමුද?"
"ඔව්, ඒක ගොඩාක් හොඳයි."
“ඔයා කැමති දේවල් මොනවත් තියනවද? ඔයා වෙනුවෙන් ඕනෑම දෙයක් හදන්න කියලා මට කෝකියට කියන්න පුළුවන්.”
"නැහැ, ඔයා මාව දන්නවනේ. අනිත් අය කන දේම මම කන්නම්.”
"මම එහෙම කරයිද කියලා මට විශ්වාස නැහැ, නමුත් මම ඒ හැඟීම් අගය කරනවා."
ඔහු නැවතත් ජංගම දුරකථනයට කතා කළේය.
"මිනිත්තු දහයක්. මම වංචා කළා. මට මතකයි ඔයා කොච්චර පහසු කෙනෙක්ද කියලයි, මුහුදු ආහාර වලට තියන ඔයාගේ කැමැත්තයි, ඒ නිසා කෝකියා මේ වෙනකොටත් යමක් ලෑස්ති කරමින් ඉන්නේ. එයාලා ඒක මෙතෙන්ට ගෙනෙයි.”
"ඔව්, මම මුහුදු ආහාර වලට කැමතියි, ජයවේවා!"
ඔවුන් එකිනෙකා ගැන සෑම දෙයක්ම දැන සිටි නමුත් එසේ නොවන බව මවා පෑහ. ඔවුන් දෙදෙනාම ධනවත් අය වූ නමුත් ජෙනාරෝ, ගරෙග්ට වඩා සැප පහසු ජීවන රටාවට පුරුදු වී සිටියේය. ගරෙග් ‘අලුත් මුදල්’ විය, මන්ද ඔහු වැඩි මුදල් ප්‍රමාණයක් ඉපැයුවේ හමුදාවෙන් ඉවත් වූ දා සිට බැවින් වන අතර ජෙනාරෝට ඒ පිළිබඳව වැදගත්කමක් නොවුයේ, ඔහු මුදල්, මුදල් ලෙස පමණක් සලකා එය කොපමණ පැරණිද, නැතහොත් කොහෙන් පැමිණියාද යන්න ගැන උනන්දුවක් නොදැක්වූ බැවිනි.
ජෙනාරෝ යනු එම ප්‍රදේශයේ තුන්වන පරම්පරාවේ මාෆියා කැපෝ ඩි ටුට්ටි කැපි වන අතර, ඔහුගේ සීයා පළමු ලෝක යුද්ධයෙන් පසු සිසිලියේ සිට මාර්සේ වෙත පැමිණ ඇත. ඔවුන්ගේ පවුලට තවමත් සිසිලි දූපතේ ඉඩම් සහ ගොවිපලවල් තිබූ අතර ජෙනාරෝ නිතරම ගුවන් තොටුපලේ තබා තිබූ ඔහුගේ පෞද්ගලික ගුවන් යානය මගින් ඒවා නැරඹීම සඳහා එහි ගියේය.
ඔහුගේ මාෆියා පවුල මාර්සේ අවට ප්‍රදේශය පාලනය කළ අතර ඔහු ජීවත්වූයේ රාජකීයයෙකු හෝ රාජ්‍ය නායකයෙකු ලෙසය. ඔහු විවාහකයෙකු වූ අතර ගරෙග් හට ඔහුගේ බිරිඳ එක් වරක් මුණගැසී තිබූ නමුත් ඇය වැඩි කාලයක් ගත කළේ සිසිලියේ වන අතර ගරෙග් පැමිණෙන විට ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටි අතර ඔවුන් නිතරම එක්සත් රාජධානියේ බෝඩිං පාසලේ ඉගෙනුම ලබමින් සිටියහ.
"ඉතිං ජෙනාරෝ, මේ සැරේ කුමන්ත්‍රණය මොකක්ද?"
"හොඳයි, මගේ මිත්‍රයා, මම ඔයා වෙනුවෙන් මේ සැලසුම් සකස් කරලා තියනවා." ඔහු මේසය යටින්, අගුලු දමා තිබූ ලාච්චුවකින් ෆෝල්ඩරයක් ගත්තේය. “අපි දැන් ඒක බලමුද, ඔයාට හිතෙන පලවෙනි හැඟීම මට දෙන්න ඔයාට පුළුවන්, ඔයා කියන විදිහට, මේකේ රැලි අයින් කරන්න.”
"ඔව්, හොඳයි, ඒක හොඳ අදහසක්." A1 ප්‍රමාණයේ කඩදාසි කොලයක් දිගහරිමින් සිටි තම මිතුරා අසල හිඳ ගැනීමට ගරෙග් ඉදිරියට ගියේය.
"අපි මුලින්ම මේක දිහා බලලා පස්සේ විනෝදයක් අරගෙන ඔයාට පුළුවන් ඔයාගේ හිතෙන් මේක රෝල් කරලා බලන්න, ඔයා ඉවෙට් ව ඇඳේ රෝල් කරන ගමන්." ජෙනාරෝ මහ හඬක් නගමින් සිනාසෙමින් ගරෙග්ගේ පිටට තට්ටු කළේය.
"ජෙනාරෝ, ඒක දැනටමත් හොඳ සැලැස්මක් වගේ."
∞
දින කිහිපයකට පසු ඔවුන් නැවත මුණගැසුණු විට, ඔවුන් බොහෝ කලකට පෙර එකිනෙකාගෙන් වෙන්වූ සහෝදරයන් මෙන් වූහ, එය සැමවිටම එසේ විය. ගරෙග්, බොබ්ට අතට අත දී ඔහුව වැලඳගත්තේ හදවතින්ම පැමිණි වැළඳ ගැනීමකිනි.
"බොබ්, ඔයාගේ ගමන කොහොමද?" ජෙනී අභාවප්‍රාප්ත වූ දා සිට බොබ් වැඩි කාලයක් ගත කළ ගරෙග්ගේ ගොවිපලේ ආලින්දයේ, ලැප්රෝයිග් බෝතලයක් සමඟ ඔවුන් සැප පහසු ලෙස වාඩි වී සිටින විට ගරෙග් ඔහුගෙන් විමසීය. ඔහු තනිව ජීවත්වූ නිසා ඔහුත් සමග බොබ් එහි සිටීම ගැන ගරෙග් සතුටු විය.
"ඒක සම්පුර්ණයෙන්ම සාර්ථකයි, ගරෙග්. මට අනාගතයේ ප්‍රයෝජනයට ගන්න පුළුවන් තුනක් හම්බවුනා. ඒවලින් එකක් ටිකක් බිඳෙන සුළුයි.”
"ඔව්, ඒ ලකුණු ගැන ඔයාගේ තීරණය එක්ක මම එකඟ වෙන්නම්, බොබ්. ඔයා ඒ හැම දෙයක්ම ඔයාගේ වාර්තාවට ඇතුළු කරලා ඇති කියලා මට විශ්වාසයි."
“ඔව්, ඒ ඔක්කොම මෙතන තියනවා,” ඔහු පැවසුවේ ඔවුන් අතර මේසය මත තබා තිබූ නිල් පැහැති ෆෝල්ඩරය අතින් තල්ලු කරමිනි.
"ඔයාට ස්තුතියි. මම ඒ ඔක්කොම ටයිප් කරලා දත්ත ගබඩාවට ඇතුළු කරන්නම්. අපේ අලුත් අයට පුහුණුව පටන් ගන්නේ කවදාද?”
"මම හිතන්නේ සති දෙකකට විතර පස්සේ. සඳුදා වෙන කොට අපට තවත් අලුතින් බඳවා ගත්තු තුන් දෙනෙක් ලියාපදිංචි කරන්න පුළුවන් කියලා මට හොඳටම විශ්වාසයි, නමුත් ඒක කොහොමද කියලා ඔයත් දන්නවනේ.”
“ඔව්, එයාලා ඇත්ත වශයෙන්ම එනකන්ම අපි ඒ ගැන හරියටම දන්නේ නැහැනේ? දැනට පුහුණුවීම් වල ඉන්න දෙන්නා කොහොමද?"
“ඔහ්, එයාලා කැපවෙලා ඉන්නවා,… ... අපිට එයාලා එක්ක ප්‍රශ්න නැහැ. මට පුළුවන් තරම් මම එයාලා ගැන විශ්වාස කරනවා. එයාලට අවස්ථාවන් එහෙම අපිට ලැබිලා තියනවද?”
"මම හිතන්නේ, අඩුම ගානේ එයාලගෙන් එක කෙනෙකුට හරි තියනවා.”
∞
“සර්, අපි කොකේසියානු ද්‍රව්‍ය කිහිපයක් හුදකලා කරලා තියනවා. ඒ දර්ශනවලට අනුව පිපිරුම සිද්ධ වෙනකොට ඒ තට්ටුවේ හිටියේ සුදු ජාතිකයින් දෙන්නෙක් විතරයි.”
“එයාලගෙන් එක්කෙනෙක් තාමත් ජීවතුන් අතර ඉන්නවා. අනිත් එක්කෙනාගේ හිස හරහා යකඩ කෑල්ලක් ගිහිල්ලා. නමුත් ශරීර දෙකම සම්පුර්ණයෙන්ම තියනවා. මේකෙන් අදහස් වෙන්නේ ගණන් ගන්න බැරි කොකේසියානු ජාතිකයෙකුගේ කොටස් අප සතුව තියනවා, එහෙම නැත්තම් ... "
"එහෙම නැත්තම්, මිනිහා අපේ බෝම්බකාරයා ... කොකේසියානු මරාගෙන මැරෙන බෝම්බකාරයෙක් ... අපි එයා ගැන මොනාවත් දන්නවද?"
“නැහැ, සර්, ඇත්තටම නැහැ, නමුත් අපි තාමත් ඒ ගැන හොයනවා. එයා අනිවාර්යයෙන් පිරිමි කෙනෙක්; වයස අවුරුදු හතළිස් පහක් විතර, යුරෝපීය හෝ ඇමරිකානු. ඔයා කියන විදිහට, කොකේසියානු සම්භවයක් තියන කෙනෙක්. ඩී.එන්.ඒ. මේ හැම එකටම සාක්කි දෙනවා, නමුත් පැහැදිලිවම ඒකට හේතුව අපට කියන්න බැහැ.”
“ඔව්, සැරයන් ඔයාට ස්තුතියි, මට තේරෙනවා ඇයි ඩී.එන්.ඒ. වලට අපිට හේතුවක් කියන්න බැරි කියලා. කොකේසියානු ජාතිකයෙකුට විදේශ රටකදී පුපුරුවාගන්න අවශ්‍ය ඇයි?”
“සමහර විට එයා ඉස්ලාම් වැළඳගෙන ඇති, සර්. ගොඩාක් දෙනෙක් එහෙම කරනවා.”
“ඒක වෙන්න පුළුවන්, සැරයන්, ඒ වගේම දැනට බොහෝ විට පැහැදිලි කරන්න පුළුවන් එකම හේතුව ඒක වෙන්න පුළුවන්. වෙනත් යෝජනා මොනවත් තියෙනවද?"
"මුකුත් නෑ සර්."
“එහෙනම්, අපිට වැඩ කරන්න තියෙන්නේ ඉස්ලාම් ආගමට හැරිච්ච, අන්තවාදී කොකේසියානු ජාතිකයෙක් කියන න්‍යාය එක්කයි. ආගම මාරු කරපු අය ගැන දන්නේ කවුද?"
"ඉමාම්වරු, සර්."
“ඉමාම්වරු, ඔව්, එයාලා, එයාලා දන්නවා නේද? ආණ්ඩුවේ කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න, මම දන්නේ නැහැ කාත් එක්කද කියලා, එයාලගෙන් අහන්න, සියලුම ඉමාම්වරුන්ට, මෙහෙයි, පිට රටයි ඉන්න ඔක්කොටම, ඊමේල් කරන්න පුළුවන්ද කියලා තොරතුරු අහලා, සුදු ජාතික ආගම මාරු කරපු කෙනෙක් ගැන වාර්තා වෙලා තියනවද කියලා. පසුගිය දවස් කිහිපයේ හරි සති ගානක් පුරා හරි එහෙම අය අතුරුදහන් වෙලා ඉන්නවද කියලා හොයලා බලන්නත් කියන්න."
"මම ඒක ගැන බලන්නම්, සර්" කණ්ඩායමේ එක් අයෙක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය.
"ඒක ඉතාම අමාරු දෙයක්. එයාලා දහස් ගණනක් ඉන්න පුළුවන්. කොහොම හරි, අපිට තියෙන්නේ මේ හෝඩුවාව විතරක් නිසා අපිට ඒ ඔස්සේ ක්‍රියා කරන්න වෙනවා. මෑතකදී හරි, මෑතකදී නොවී හරි, ඉස්ලාම් ආගම වැළඳ ගත්තු මැදි වයසේ ඉන්න සුදු කොකේසියානු ජාතිකයෙකු අප සතුව ඉන්නවා, මිනිහා කොච්චර අන්තවාදීද කියනවා නම්, ‘අල්ලාහු අක්බර්’ කියලා කෑගහන්නත් අමතක වුනා.”
“ඒක හරියි කියලා පේන්නේ නැහැ, ඒ වගේම ඒක අපිට ලේසි වෙන්නෙත් නැහැ."
පොලිස් කපිතාන් අල්ලාවි බෝම්බකරු මිය යාමට තත්පර කිහිපයකට පෙර ගත් ඔහුගේ විශාල කරන ලද ඡායාරූපය දෙස බලා මිමිණුවේය,
"ඔයා කවුද, ඇයි ඔයා එහෙම කරේ?"