Kitabı oku: «ඇන්ඩ්‍රොපොව්ගේ කොවුලා»
Table of Contents
ඇන්ඩ්‍රොපොව්ගේ කොවුලා
මෙම කෘතියේ කතුවරයා ලෙස හඳුනා ගැනීමට ඕවන් ජෝන්ස්ට ඇති අයිතිය 1988 ප්‍රකාශන හිමිකම් සැලසුම් සහ පේටන්ට් පනතේ 77 සහ 78 වගන්ති ප්‍රකාරව තහවුරු කර ඇත. කතුවරයාගේ සදාචාරාත්මක අයිතියද තහවුරු කර ඇත.
ඇන්ඩ්‍රොපොව්ගේ කොවුලා
මේගන් මාර්කට් සංස්කරණය, බලපත්‍ර සටහන්
කැපකිරීම
ඇන්ඩ්‍රොපොව්ගේ කොවුලා
ආදරය, කුමන්ත්‍රණ සහ කේ.ජී.බී. වටා ගෙතුන කතාවක්
ඕවන් ජෝන්ස්
විසිනි
පරිවර්තනය
රොෂාන් පෙරේරා
ප්‍රකාශන හිමිකම © අගෝස්තු 14, 2020 ඕවන් ජෝන්ස්
ස්පාඤ්ඤයේ ෆුවෙන්ගිරෝලා හිදී.
මෙම කෘතියේ කතුවරයා ලෙස හඳුනා ගැනීමට ඕවන් ජෝන්ස්ට ඇති අයිතිය 1988 ප්‍රකාශන හිමිකම් සැලසුම් සහ පේටන්ට් පනතේ 77 සහ 78 වගන්ති ප්‍රකාරව තහවුරු කර ඇත. කතුවරයාගේ සදාචාරාත්මක අයිතියද තහවුරු කර ඇත.
මෙම ප්‍රබන්ධාත්මක කෘතියේ චරිත සහ සිදුවීම් සියල්ල කතුවරයාගේ පරිකල්පනයේ මවාපෑමක් හෝ ඒවා මුළුමනින්ම ගෙතූ ප්‍රබන්ධ හෝ වේ. සමහර ස්ථාන පැවතිය හැකි නමුත් සිදුවීම් සියල්ල ප්‍රබන්ධාත්මකය
ඇන්ඩ්‍රොපොව්ගේ කොවුලා
ආදරය, කුමන්ත්‍රණ සහ කේ.ජී.බී. වටා ගෙතුන කතාවක්
ඕවන් ජෝන්ස්
විසිනි
මේගන් ප්‍රකාශන සේවා විසින් ප්‍රකාශයට පත් කරන ලදී
මේගන් මාර්කට් හිදී
මේගන් මාර්කට් සංස්කරණය, බලපත්‍ර සටහන්
මෙම විද්‍යුත් පොත සඳහා බලපත්‍ර ලබා දී ඇත්තේ ඔබේ පුද්ගලික විනෝදය සඳහා පමණි. මෙම විද්‍යුත් පොත පිටපත් කිරීම, නැවත විකිණීම හෝ වෙනත් පුද්ගලයින්ට ලබා දීම ඔබ විසින් නොකළ යුතුය. ඔබ මෙම පොත වෙනත් අයෙකු සමඟ බෙදා ගැනීමට කැමති නම්, කරුණාකර එක් එක් තැනැත්තා සඳහා අතිරේක පිටපතක් බැගින් මිලදී ගැනීමට කාරුණික වන්න. ඔබ මෙම පොත කියවන විට ඔබ එය මිලදී නොගත්තේ නම් හෝ එය ඔබේ භාවිතය සඳහා පමණක් මිල දී ගෙන නොමැති නම් හෝ කරුණාකර මය මේගන් ප්‍රකාශන සේවා වෙත ආපසු බාරදී ඔබේම පිටපතක් එයින් මිලදී ගන්න. මෙම කතුවරයාගේ වෙහෙසට ගරු කිරීම ගැන ඔබට ස්තූතියි.
කැපකිරීම
මෙම සංස්කරණය මගේ බිරිඳ ප්‍රනම් ජෝන්ස් වෙනුවෙන් කැප කර ඇති අතර ඒ මගේ ජීවිතය ඇයට හැකි අන්දමින් පහසු කරවීම වෙනුවෙනි - ඇය ඒ සඳහා විශාල වැඩ කොටසක් ඉටු කරයි.
කර්මය සෑම කෙනෙකුටම කාරුණිකව ආපසු ගෙවනු ඇත.
ප්‍රබෝධමත් කිරීමේ උපුටා දැක්වීම්
ඔබ එය අසා ඇති පමණින් කිසිවක් ගැන විශ්වාස නොකරන්න,
බොහෝ දෙනා ඒ ගැන කතා කළ පමණින් හා කටකතා පැතිරවූ පමණින් කිසිවක් විශ්වාස නොකරන්න,
ඔබේ ආගමික ග්‍රන්ථවල ලියා ඇති පමණින් කිසිවක් ගැන විශ්වාස නොකරන්න,
ගුරුවරුන්ගේ හා වැඩිහිටියන්ගේ අධිකාරය මත පමණක් කිසිවක් ගැන විශ්වාස නොකරන්න,
පරම්පරා ගණනාවක් තිස්සේ පැවත ආ සම්ප්‍රදායන් නිසා ඒ මත කිසිවක් විශ්වාස නොකරන්න,
නමුත් නිරීක්‍ෂණයෙන් හා විශ්ලේෂණයෙන් පසුව, යම් දෙයක් තර්කානුකූලව එකඟ වී එක් කෙනෙකුගේ හෝ බොහෝ දෙනෙකුගේ යහපත සඳහා හිතකර නම්, එය පිළිගෙන ඒ අනුව ජීවත් වන්න.
ගෞතම බුදුන්වහන්සේ
---------
බලවත් ආත්මය, සූළඟේ කටහඬ තිබෙන්නාවූ ඔබ, මට සවන් දෙන්න. මට ශක්තියෙන් හා දැනුමෙන් වැඩීමට ඉඩ දෙන්න.
රතු සහ දම් පැහැති ලෙස හිරු බැස යෑම බලන්නට මට ඉඩ දෙන්න. ඔබ මට දුන් දෙයට මාගේ දෑත් ගරු කරයි.
ඔබ අවුරුදු ගණනාවක් පුරා මිනිසුන්ට උගන්වා ඇති පරිදි, සෑම කොළයක් හා ගලක් යට සැඟවී ඇති රහස් මට උගන්වන්න.
මාගේ ශක්තිය මාගේ සහෝදරයාට වඩා උසස් වීමට නොව, මගේ ශ්‍රේෂ්ඨතම සතුරා වන -මා, සමඟ සටන් කිරීමට මට ඉඩ දෙන්න.
මා හට මේ ලෝකයේ ඇති කෙටි කාලය හිරු බැස යෑම මෙන් මැකී යත්ම, මාගේ ආත්මය ඔබ වෙත ලජ්ජාවකින් තොරව නැවත පැමිණිය හැකිවනු පිණිස, පිරිසිදු දෑතකින් සහ විවෘත හදවතකින් මම සෑම විටම ඔබ ඉදිරියට එන්නෙමි.
(සාම්ප්‍රදායික සියොස් යාච්ඥාවක් මත පදනම්ව)
පටුන
1 විලියම් ඩේවිස්
2 යූයි මිසුකි
3 නටාල්යා පෙට්‍රොව්නා මිර්ස්කි
4 1967 ගිම්හානය
5 යූරි ව්ලැඩිමිරොවිච් ඇන්ඩ්‍රොපොව්
6 යූරිකෝ මෙහෙයුම
7 සැලැස්ම ක්‍රියාත්මකයි
8 කේ.ජී.බී.
9 දිනපතා පීඩාව
10 නිවාඩුව
11 ලුබ්යන්කා
12 ගුලාග් දූපත් සමූහය
13 නව රැකියාවක්
14 ලෙනින්ග්‍රෑඩ් 1978
15 අවුල් වූ මොළය සහ මෘදු වූ ඇස් පෙනීම
16 සෝචි, ක්‍රස්නෝඩර්ස්කයා ක්‍රයි
17 ෆුල් බොට්ල්
18 කොටළු දුම්රිය
19 අවසන් අදියර
20 චෙල්ටන්හැම්
21 අවසාන කොටස
22 පසු වදන
මළවුන්ගේ මධ්‍යස්ථානය - පළමු පරිච්ඡේදය
කර්තෘ ගැන
1 විලියම් ඩේවිස්
“එයා ආපහු එනවා, පීටර්!”
“එයාට යන්න දෙන්න එපා!” ඉතාමත් හොඳින් පුහුණු වූ ඇසකින්, ඇඳට ප්‍රතිවිරුද්ධ දිශාවට ඉහළින් සවිකර ඇති රාක්කවල තිබූ යන්ත්‍ර සහ මොනිටර දෙස ඉක්මනින් බලමින් හෘද ශල්‍ය වෛද්‍යවරයා නියෝග කළේය. "එයාට ආයෙත් සිහිය නැතිවෙන්න ඉඩ දෙන්න එපා, අපි එහෙම කරොත් ඒ අවසාන අවස්ථාව වෙන්න පුළුවන්."
එහි තිබූ සියළු මොනිටර වල නිවි නිවී දැල්වෙන, උඩ පහල යන සහ එක දිගට ගලායන කුඩා විදුලි එළියන්හි ක්‍රියාකාරිත්වය මෙන්ම ඒවායින් නැගුන බීප් බීප් සහ ගුමු ගුමු නාදයන්ද සාමාන්‍ය පරිදි සිදු විය.
“එන්න, විලියම්, දැන් අපිව දාලා යන්න එපා,” ඔහු සිය රෝගියාගෙන් තදින් ඉල්ලා සිටියේය.
“මම උත්සහා කරන්නේ එහෙම නොකරන්න තමයි,” මගේ හිස ඇතුලින් මා පවසන බව මට ඇසුණි, නමුත් මගේ සිතුවිලි කටහඬ බවට පත්කර ලීමට මට නොහැකි විය. ඇත්ත වශයෙන්ම, ස්වල්ප මොහොතකට පෙර මම සිතුවේ පළමු කටහඬ ඇසීමට මිනිත්තු දහයකට පෙර මා මිය ගොස් ඇති බවයි. මගේ අභාවය පිලිබඳ සැක කිරීමට මට තිබූ එකම හේතුව වූයේ මම අධ්‍යාත්මික වාදියෙකු වීමයි. මිතුරන් සහ නෑදෑයන් මැරෙන කෙනෙකු පිළිගැනීමට අනෙක් පැත්තේ බලා සිටිනු ඇතැයි මම නිතරම විශ්වාස කරමි. එහෙත් කිසිවෙකු මා එනතුරු බලා සිටියේ නැත… එයින් අදහස් වන්නේ මට බොහෝ මිතුරන් හෝ නෑදෑයන් මියගියවුන් අතර හෝ ජීවත් වන්නවුන් අතර සිටින බවක් නොවේ, එහෙත් මම දන්නාවූ මට විශ්වාසය තැබිය හැකි එක් අයෙකු සිටිය නිසාය.
මා හට මාව වෛද්‍යවරුන්ගේ දෑතට පත් කර ඔවුන්ගේ හැකියාවන් කෙරෙහි විශ්වාසය තැබීමට සිදු විය. මට ඔවුන්ගේ වචන ඇසෙන බවට සලකුණක් දීමට මට අවශ්‍ය වූ නිසා මම මාගේ අතේ ඇඟිලි මගින් තට්ටු කිරීමටත් කකුලේ ඇඟිලි සෙලවීමටත් උත්සාහ කළ නමුත් ඒවා චලනය වනවාද නැද්ද යන්න ගැන කිසිම අදහසක් මට නොතිබුණි. එලෙසින් මා අනුමාන කළේ, මට උදවු කරමින් සහතික වශයෙන්ම ඇඳ වටා රොක්වී සිටින වෛද්‍යවරුන්ගෙන් සහ හෙදියන්ගෙන් එයට ප්‍රතිචාරයක් නොලැබුන නිසාය.
“එයාගේ ඇස් දෙක ගැහෙනවා, මම හිතන්නේ එයා ඇස් අරින්න උත්සාහ කරනවා”, යැයි ගැහැණු කටහඬක් හැඟීම්බරව පවසනු ඇසුණි. එවැනි දිරිගැන්වීමකින් ධෛර්යමත් වූ මම තව දුරටත් උත්සහා කරමින් සිටිය අතර විනාඩියකට හෝ ඊට පසු කාරුණික පිරිමි මුහුණක් මා දෙස බලා සිනාසෙන අයුරු මගේ ඇසෙහි ඇරී තිබූ කුඩා කොටසකින් මට දැකගත හැකි විය.
“නැවතත් සාදරයෙන් පිළිගන්නවා, විලියම්,” ඔහුගේ අවංකභාවය විද්‍යමාන වන ලෙස ඔහු පැවසු අතර, “අපි හිතුවේ ඔයා අපිව ඒ වෙලාවේ දාලා ගියා කියලයි. ජීවත් වන්නවුන්ගේ ලෝකයට ඔයාව නැවත සාදරයෙන් පිළිගනිමු. මනුස්සයෝ, මට මේ ගැන හරිම කණගාටුයි, නමුත් මම දැන් ඉක්මනට යන්න ඕනේ, ඔයා හොඳින් ඉන්නවා, නමුත් මේ ඉන්න නෝනලයි මහත්වරුනුයි ගොඩාක් දක්ෂයි. මම කළා වගේම ඔයා ගැන බලා ගනීවි. මම ඔයාව පස්සේ හම්බවෙන්නම්.”
ඔහු තමාගේ උපදෙස් අනෙක් අයට රහසින් පවසා පිටව ගියේය.
එය අමුතු දෙයක් වූ අතර, ඔබට ඉතා සුළු ශක්තියක් ඉතිරිව ඇති විට, එය නැවත පැමිණෙන අයුරු ඔබට පහසුවෙන් දැනෙන බවක් තේරුම් යයි. මා සම්බන්ධයෙන් සැලකීමේදී, මම තත්පරයෙන් තත්පරය පුරා ශක්තිමත් වෙමින් සිටියෙමි. ඔවුන් මට ලබා දුන් ඹෞෂධ මොනවාදැයි මම නොදන්නා නමුත්, ඒවා සහ ජීවත්වීමට ඇති කැමැත්ත පුදුම ලෙස ක්‍රියා කරන බව මට වැටහුණි.
“අපි අද රෑ ඔයාව තියා ගන්නම්, විලියම්. නමුත් හෙට ඔයාගේ ලකුණු හොඳ නම්, ඔයාට ආයෙත් ඔයා හිටපු ඇඳටම යන්න පුළුවන්. ඒක හොඳයි, එහෙම නේද?”
මම ඔළුව වනා සිනාසෙන්නට උත්සාහ කළෙමි, නමුත් ඒ වෙනුවට, මගේ වම් ඇසෙන් වැටුණු කඳුළු බිඳුවක් මගේ නළල සහ කන අතරින් ගලා ගොස් මගේ කන ඇතුලට වැටුණි. මම අවුරුදු තුනකට ආසන්න කාලයක් මගේම ඇඳේ නිදාගෙන නැත. නමුත් ඇය ඇත්ත වශයෙන්ම අදහස් කලේ කුමක්දැයි මම දැන සිටියෙමි. ඇය උත්සාහ කළේ කරුණාවන්ත වීමටයි… මාව උද්යෝගිමත් කිරීමටයි, ඇත්තෙන්ම මම එය අගය කලෙමි. ඔබ අවසන් හුස්ම හෙළන බව ඔබට වැටහෙන විට ඔබ සිතන දේ ඇත්තෙන්ම විහිළුවක් පමණි.
මම ධාර්මික කෙනෙකු ලෙස මම පිලි නොගත්තත්, අන් අය එසේ විය හැකි යැයි මම සිතමි. මම සුළුවෙන් විශ්වාස කරන්නේ මරණයෙන් පසු ජීවිතය, පුනරුත්පත්තිය හා කර්මය යන දේ පමණි. එම නිසා, මරණය කිසි විටෙකත් මට කිසිදු බියක් ඇති කර නොමැති අතර, ජීවිත් වීමට තරමක් හෝ කැමැත්තක් ඇත්තේ එය පුළුල් පරාසයක අත්දැකීම් සහ තවත් බොහෝ දේ සඳහා ඉඩ සලසන බැවිනි.
මගේ අවසන් සිතුවිලි කිහිපය ජීවිතය හෝ මරණය ගැන හෝ මගේ මැවුම්කරුවා යලිත් හමුවීම ගැන හෝ නොව, මා ආදරය කළ පුද්ගලයන් ගැන සහ විශේෂයෙන් ගැහැණුන් ගැන විය. මන්ද මම සැමවිටම පිරිමින්ගේ සමාගමයට වඩා ගැහැණුන්ගේ සමාගමයට වැඩි කැමැත්තක් දැක්වූ කෙනෙකු වූ නිසාය. මගේ ජීවිතය මගේ ඇස් ඉදිරිපිටම ආලෝකය විහිදුවමින් වේගයෙන් නැවත ගමන් කරන බව ඔබට තර්ක කළ හැකිය, නමුත් එය සුවදායක වූවා සේම සංස්කරණය කළ අනුවාදයක්ද වූ අතර එය ආලෝකය විහිදුවමින් වේගයෙන් ගමන් නොකළේය. එය දුර්වල, ත්‍යාගවන්ත, සිත්ගන්නා සුළු ආකාරයෙන් සිමින් යන ගමනකින් යුක්ත විය.
සත්තකින්ම, මා සිතූ ආකාරයට හෘදයාබාධයකින් මම මිය ගියා නම් මගේ ජීවිතයේ එම චිත්‍රපටය අවසන් වනු ඇතැයි මම විශ්වාස නොකරමි. එය දිගටම යනු ඇති අතර මමද ශරීරයක් නොමැතිව එහි සිටිනු ඇත - එකම වෙනස එයයි.
මගේ වැඩිහිටි ජීවිත කාලය පුරාම මම විශාලව වැඩුණු, එමෙන්ම ශක්තිමත් මිනිසෙක් වී සිටියේමි: අඩි හයකට වඩා උසකින් සහ ස්ටෝන් දහසය ඉක්මවූ බරකින් යුතුව, නමුත් ඒ සමඟම නිරෝගී සහ සෞඛ්‍ය සම්පන්න විය. මම අසනීප වී සිට ඇති අතර මගේ අස්ථිද බිඳී ඇත, නමුත් ඒ කිසිවක් දිගු කලකට මාව මට්ටු කිරීමට සමත් වූයේ නැත. කෙසේ වෙතත්, ඒ කාලයන් අවසන් වී ඇතැයි මම බිය වීමි. මන්ද ඔබ දුටු ලෙස එය මා සුවය ලැබූ දෙවන හෘදයාබාධය වන අතර, මම සත්‍යය අවබෝධ කර ගැනීමට තරම් යථාර්ථවාදී විය. මෙම වෙහෙසකාරී වළල්ලෙන් ඉවත්වීම සඳහා ලැබෙන තුන්වන ඇමතුම නොසලකා හැරීමට මට නොහැකි වනු ඇත.
සත්‍ය වශයෙන්ම, මට කෙසේවත් එම ඇමතුම නොසලකා හැරීමට අවශ්‍ය වනු ඇතැයි මට විශ්වාසයක් නැත. මට දැන් වයස හැත්තෑ එකක් වන අතර, දකුණු ස්පාඤ්ඤයේ වයසක මිනිසුන් සඳහා වෙන්වූ නිවසක ජීවත් වන අතර මගේ බිරිඳ සහ මිතුරන් සියල්ලෝම මට පෙර මෙලොවින් පිටත්ව ගොස් ඇත. මාව වැරදියට තේරුම් නොගන්න, එය ඉතා සුවපහසු ගිලන් නිවසකි, විශේෂයෙන් මා වැනි ඉංග්‍රීසි කතා කරන වැඩිහිටියන් සඳහා එය ක්‍රියාත්මක වේ. එය ඇත්තෙන්ම හරිම සුන්දර ස්ථානයක් විය, නමුත් එය මගේ නිවස නොවේ. ඔබට එය විශ්වාස කළ හැකි බව මම දන්නා අතර ඔවුන් 'මගේ' යැයි හඳුන්වන ඇඳ, මගේ බිරිඳ අවුරුදු දෙකකුත්, මාස තුනක් සහ දින දාහතකට පෙර මිය යාමට පෙර මා සමඟ බෙදාගත් ඇඳ නොවීය.
ඇත්ත වශයෙන්ම, ඇය අපගේ ඇඳේ සිට රෝහලට ගෙන ගොස් සිහිය නොලබා මිය ගියාය. ඇයගේ පළමු හෘදයාබාධයෙන් ඇය බේරුණේ නැත. එය ලැජ්ජාවට කාරණයකි. මම සිතුවා ඇයට ලැබෙයි කියලා… කාලය පැමිණි විට. එයින් පසු ටික කාලයකට මම හෝටලයක නිදාගෙන පසුව ගිලන් නිවස වෙත පැමිණියෙමි - අපි නිවැසියන් එය හදුන්වන ආකාරයට, දෙවියන් පැමිණෙන තුරු සිටින ස්ථානය!
කෙසේ වෙතත්, මම තාවකාලිකව හෝ මාතෘකාවෙන් ඉවත්වීම ගැන මගේ ආදරණීය පාඨකයා, ඔබ මට සමාව දෙනු ඇතැයි මම විශ්වාස කරමි, මන්ද මහලු මිනිසෙකුගේ මනස ඉබාගාතේ යයි, කියන්නාවූ කියමන සත්‍යයක් බැවිනි. කෙසේ වෙතත්, අවසානය දක්වා මාව දැඩි ලෙස අල්ලා ගෙන සිටීමට ඔබට හොඳ ඉවසීමක් තිබේ නම්, මුළු ලෝකයාගේම දැන ගැනීමට මට අවශ්‍ය කරන්නාවූ කාන්තාවකගේ කතාව මම ඔබට කියන්නෙමි.
වෙනත් කෙනෙකුගේ කතාවක් පැවසීමට උත්සාහ කිරීම ඉතා දුෂ්කර වන අතර, මේ අවස්ථාවේ දී එය කාලයාගේ ඇවෑමෙන් හා මහලු මිනිසෙකුගේ මතක ශක්තියෙන් අපැහැදිලි වී ඇති නමුත් මම කෙසේ හෝ එහි අවසානය දක්වා යන්නෙමි. මම ඔබට ඒ ගැන අවංකවම පොරොන්දු වෙමි.
මම මගේ පවුලේ වැඩිමහල් දරුවා විය, අපගේ පවුලේ මගේ පරම්පරාව තුලද එසේම විය. මම කිව යුතුයි, මගේ ඊළඟ සහෝදරයාට වඩා අවුරුදු තුනක් මම වැඩිමහලු වූ බවත්, එබැවින් දිගු කලක් මම පවුලේ එකම දරුවා මෙන් සැලකුම් ලැබූ බව. මම වාසනාවන්ත විය, මන්ද අපේ නිවස ළඟ පිහිටි ගෙවල් පහේ ළමයින් විශාල ප්‍රමාණයක් සිටියත් වාසනාවකට මෙන් එම දරුවන් නව දෙනාගෙන් අට දෙනෙක්ම ගැහැණු ළමයින් විය. මගේ පෙර පාසල් කාලයේ මම ඔවුන් සියල්ලන්ටම ආදරය කළේ මට මගේම සහෝදරියන් නොසිටි නිසාය… තේ සාදවල දී ඔවුන් අම්මලා වූ පසු තාත්තා ලෙස ඔවුන් සමග මගේ සෙල්ලම් කිරීම ගැන මට ඇත්තේ සුන්දර මතකයකි.
ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මට වඩා අවුරුදු ගණනාවක් වැඩිමල්ය, එබැවින් පාසල් ගමන ආරම්භ කරන විට ඔවුන් නව මිතුරන් සොයා ගත් අතර අවසානයේදී මමද එසේ කළෙමි. වයස අවුරුදු හයේදී මම ඩෙබී නම් ගැහැණු ළමයෙකු සමඟ ආදරයෙන් බැඳී සිටියෙමි. දිනක්, පාසලෙන් පසු, වයස අවුරුදු හතේදී, අපි ගිගුරුම් හා අකුණු සමග වැටුණු මහා වැස්සක් මැද ඔන්චිල්ලාවක් මත ඉඳගෙන සිටිමින්, අකුණු සැරයකින් අප දෙදෙනාව ආදරබර මරණයක් කරා ගෙන යනු ඇතැයි අපේක්ෂා කළෙමු. ඇත්ත වශයෙන්ම, එය එසේ නොවුනත්, එමගින් අපට ලැබුණේ අපගේ දෙමව්පියන්ගේ බැනුම් පමණි.
සැලී පැමිණියේ අපිට වයස නවය වන විටය. මම ඇයට හොරෙන් ඇයගේ පසුපසින් ගිය අතර ඇය දන්නා තුන්වන කඩවසම්ම පිරිමි ළමයා මා බව ඇය මට පැවසූ විට, මම සිටියේ හත්වන ස්වර්ගයේ ය. පහළොස් වන විය වනවිට ලෙස්ලි සිටියාය. මම ඇයට දුර සිට ආදරය කළ නමුත් කිසි විටෙකත් ඇය සමඟ කතා කර නොමැත. ඒ ආදරය මට වයස අවුරුදු දාහතක් වෙනතුරු පැවතුනි.
ඒ අපූරු ගැහැනු ළමයින්, එලෙසම අපේ අහිංසකකම සහ අප ගතකල ශ්‍රේෂ්ඨ කාලයන්, නැතහොත් මට ගත කිරීමට අවශ්‍ය වූ ශ්‍රේෂ්ඨ කාලයන් මට කිසිදා අමතක නොවනු ඇත.
වයස හැත්තෑ එකේදී, ඔබ මරණ යහනෙන් අලුත් ලෙස නැගිට සිටියදී පවා සමහර දේවල් ඔබට කිසිසේත් පැවසිය නොහැකිය. එලෙසම ඔබට පැවසීමට අවශ්‍ය නැති වෙනත් දේවල්, ඒවා පෞද්ගලිකව අත්දැකීමක් ලෙස රසවිඳීම වඩාත් යෝග්‍යය. මම බොහෝ විට කල්පනා කරන්නේ එම මුල් ආදරවන්තයින්, ඔවුන් ආදරවන්තයින් නොවුනද මා ගැන ආදරයෙන් සිහිපත් කරනවාද යන්නයි. නමුත් මම එය කවදාවත් දැන නොගන්නා අතර සමහරවිට එය හොඳම දේ විය හැකිය. නමුත් ඔවුන් ඒසේ කරනවා ඇතැයි කියා මම නිරතුරු මවා ගනිමි.
ඔබට පෙනෙනවා නේද, මට ඔවුන්ගෙන් ඒ ගැන ඇසිය නොහැකි බව. මන්ද මම සැමදා එහෙ මෙහේ රවුම් ගැසුවා මිස කිසි විටෙකත් සම්බන්ධතාවයක් පවත්වා නොගතිමි. මිතුරන් හා සමීප පවුලේ අය නොමැති වීමට එයද හේතුවක් විය. පළමුවෙන්ම, මම නිවසේ සිට සැතපුම් එකසිය පනහක් පමණ දුරින් පිහිටි විශ්ව විද්‍යාලයට ගිය අතර පසුව මම රාජ්‍ය තාන්ත්‍රික සේවයට බැඳුනෙමි. එයට සංචාරය කිරීමද ඇතුළත් විය… නමුත් මම මට වඩා ඉදිරියෙන් සිටීමට පටන් ගතිමි.
වයස අවුරුදු දහඅටේ සිට විසිතුන දක්වා කාලය තුළ, මා සමඟ පිටතට යන ගැහැණු ළමයින් කාන්තාවන් බවට පත්වීමට පටන් ගත් අතර, එය වඩා සිත් ඇදගන්නා සුළු විය. මට මතකයි ජැනින්, ග්ලෙනිස් සහ ඇන්ඩ්‍රියා… තවත් බොහෝ මිතුරියන් හා පෙම්වතියන් එක හා සමානව. මම ඔවුන්ව නිතරම සිහිනෙන් දුටු අතර එම සිහින මා දුටුවේ මගේ බිරිඳට අගෞරවයක් නොවන අයුරිනි.
හෙදිය පැමිණ ඇත්තේ මාව නින්දට පැමිණවීමටයි… මහලු බල්ලෙකු ලෙසට නොව, ඔබ තේරුම් ගන්න, රෝගී දරුවෙකු ලෙසට. ඇත්තෙන්ම මම භීතියට පත්වන දෙය, මම දරුවෙකු බවට පත්වීමේ අවදානමයි. මගේ කතාව ඔබට ඉක්මනින් කියන්නට අවශ්‍ය වීමට එයද හේතුවක්. මම හෙට ඔබ සමග එය බෙදා ගැනීමට උපරිම උත්සාහයක් දරමි.
∞
උදේ ආහාරය සඳහා මූස්ලි සහ නැවුම් අන්නාසි මතට යෝගට් දමා, ඒ සමගම කහට අඩුවෙන් සැකසූ ඹෞෂධීය තේ කෝප්පයක්. රසයෙන් ඒ කුමන එකක්දැයි මට කිව නොහැක, නමුත් පුරෝකථනය කළ හැකි නම් ඒ සියල්ල ඉතා හොඳ බව කිව යුතුය. මම ටික දවසකට දුවපැන ඇවිදීම සඳහා සුදුසු තත්වයක නොසිටිමි, එබැවින් මට රළු ආහාර විශාල වශයෙන් අවශ්‍යය. තේ බොහෝ විට මෘදු විරේකයක් ද වේ.
කෙසේ වෙතත්, මගේ කතාව යම් දිනකදී ප්‍රකාශයට පත් කිරීමට යන්නේ නම්, එය ලිවීමට හෝ පටිගත කිරීමට අවශ්‍ය බව මම එක් රාත්‍රියකදී තේරුම් ගතිමි. ඩික්ටෆෝනයක් මගින් මා හට දැඩි වෙහෙසකාරී බවකින් තොරව මගේ කතාව පටිගත කලහැකි නිසා මගේ උදේ ආහාරය ගෙන ආ හෙදියගෙන් මම ඉල්ලා සිටියේ ගිලන් නිවසේ කාර්ය මණ්ඩලයට පවසා මා හට එකක් මිලදී ගැනීමට කටයුතු කරන ලෙසයි. පැය අටක් ඇතුළත මම ‘ගෙදර යන’ බව මට මතක් කර දීමෙන් ඇය එම කාර්යයෙන් ඉවත් වීමට උත්සාහ කරමින් පැවසුවේ මා හට ඒ ගැන කාර්ය මණ්ඩලයට පවසන ලෙසටය.
මට ඒ කිසිවකින් පලක් නොවුනි. ‘මට අද හොඳ උනාම මහලු නිවාසයට යනවා කියලා මට අමතක වෙලා නැහැ!’ මම ඇයට කීවෙමි. 'කරුණාකරලා, මම ඉල්ලපු විදිහට මට ඩික්ටෆෝනයක් අරගන්න කියලා ඒගොල්ලන්ට දුරකථන ඇමතුමක් දෙන්න!' ඇය සැරෙන් හුස්ම පිටකර කේන්තියෙන් පිටත්ව ගියාය. නමුත් මගේ වයසේදී අපට වරින් වර තරමක් නුරුස්සන ස්වභාවයෙන් සිටීමට අවස්ථාවක් දී ඇත. එය අපෙන් අපේක්ෂා කරන අතර මහලු විය සඳහා වන වන්දි වලින් එකකි. අවුරුදු හැත්තෑව පසු කල කෙනෙකුට ලැබෙන ත්‍යාගයක් ලෙස, ඔබට එය හැඳින්විය හැකිය.
මගේ පිඟන් කෝප්ප වෙනත් හෙදියක් විසින් ඉවත් කරන විට, මම නැවතත් මගේ ඩික්ටෆෝනය ගැන විමසුවෙමි. මිනිත්තු දහයකට පසු ඇය මගේ ඇඳ අසල ඇති දුරකථනයට කතාකොට පැවසුවේ එය ගිලන් නිවාසයේ සේවකයන් විසින් දැනටත් සලසා ඇති බවය. ඔවුන් සැමදෙනා, සමස්තයක් වශයෙන් මෙහිදීත්, මා ජීවත් වන ස්ථානයෙදීත් ඉතා කරුණාවන්ත අය බව මට වැටහුණි.
ඔවුන් මා 'ගෙදරට' එනම් මගේ ඩික්ටෆෝනය තිබෙන ස්ථානය කරා ගෙන යන තෙක් අපි බලා සිටින අතර මා ගැන තව ටිකක් ඔබට කියමින් කාලය පුරවන්නෙමි. නමුත් කණගාටු නොවන්න, මම එය ඉතා කෙටියෙන් පවසමි. මට ඔබව මගේ කතාවෙන් පීඩා කිරීමට අවශ්‍ය නැති අතර ඔබට පැවසිය යුත්තේ මේ කියන්නට යන සත්‍ය කතාව මා ගැන නොවේ කියාය. පුරාන හිපියන් පැවසූ පරිදි මෙය කොහෙත්ම මමත්වයේ චාරිකාවක් නොවේ.
මම හැත්තෑ ගණන්වලට ආදරය කළ නමුත් හැට ගණන්වලදී විනෝද වීමට නොහැකි තරම් තරුණ විය.
මම උපත ලැබුවේ එක්සත් රාජධානියේ දකුණු වේල්සයේ කාඩිෆ් නමැති පෙදෙසේ කාර්යශීලී කම්කරු පංතියේ පවුලක වැඩිමහල් දරුවා ලෙසය. මගේ පියා ඔහුගේ ජාතික සේවය අවසන් කරන විට වඩු කාර්මිකයෙකු වූ නමුත් වැඩි කල් නොගොස් ඔහුගේම ඉදිකිරීම් ආයතනයක් පටන් ගත් අතර ඔහුටත් මගේ මවටත් ඉතා ඉක්මනින් පිරිමි ළමයින් පස් දෙනෙකුගෙන් යුත් පවුලක් ගොඩනැගීමට හැකිවිය. අපි හැමෝම නිරෝගී, ශක්තිමත් හා සතුටින් හැදී වැඩුනෝය. අපේ දෙමව්පියන් අධ්‍යාත්මිකවාදීන් වූ අතර, සෑම සිකුරාදා රාත්‍රියකම තාත්තා ඔහුගේ ආත්මික සුවය පිණිස පල්ලියට යන අතර අපවද ඔහු සමඟ කැඳවාගෙන ගියේ අම්මාට විශේෂයෙන් අවශ්‍ය වූ විවේකය ලබා දීමටය.
කෙසේ වෙතත්, ඔවුන් ආගම කිසි විටෙකත් අප මත බලයෙන් පැටවුයේ නැත. ඇත්ත වශයෙන්ම, අපේ පාසල වේල්ස්හි පල්ලිය මගින් පැවැත්වූ පාසලක් වූ අතර, පෝතකයින් සහ බාලදක්ෂයින් මෙතෝදිස්තයින් වූ අතර අපගේ සමීපතම නැන්දා කතෝලික ආගම අදහන්නියක් වුවාය. ආගම යන්න අපේ පවුලට හෝ අසල්වැසියන්ට ප්‍රශ්නයක් නොවීය. මගේ මව පැවසූ, මට මතක ඇති පළමු කාරණා දෙක නම්, ඇයගේ වයස අවුරුදු හතළිස් දෙක වීමට පෙර ඇය මිය යන බවත්, මම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විය යුතු බවත් ය. මේ දෙකම සැබෑ විය.
ඉංග්‍රීසි මගේ මව් භාෂාව වූ නමුත් මම වයස අවුරුදු හයේ සිට වේල්ස් භාෂාව ඉගෙන ගත් අතර පසුව ප්‍රංශ, ජර්මානු, ලතින්, ලන්දේසි සහ රුසියානු භාෂාව චතුර ලෙසද චීන හා ස්පාඤ්ඤ භාෂාව සුළු වශයෙන්ද ඉගෙන ගතිමි. රාජ්‍ය තාන්ත්‍රික සේවය මගින් ඔබට කථා කළ හැකි සෑම භාෂාවක් සඳහාම ප්‍රසාද දීමනාවක් ගෙවන අතර එය මට විශාල ආකර්ෂණයක් විය. මගේ වයස අවුරුදු පහළොව වන විට විදේශ සංචාරය කර අධ්‍යාපනය ලබා සිටි බැවින් විදේශ සංචාර පිළිබඳ ඔවුන් දුන් පොරොන්දුව ද ආකර්ශනයක් ගෙනාවේය. මම දහ අටවිය වන විට විදේශ සංචාර සම්බන්ධව දැඩි විශ්වාසවන්ත බවකින් යුත් සංචාරකයෙක් විය.
මම විශේෂයෙන් කැමති වූයේ ගමන් කිරීමේදී මාවතේ ගමන් කරන වාහන මගින් නොමිලේ ගමන් මාර්ගය සලසා ගැනීමෙන් ගමන් කිරීමටය. නමුත් සියලු යෞවනයන් ඒ දිනවල එය කළ අතර එය කිසියම් හේතුවක් නිසා දැන් පවතින තත්වයට වඩා ආරක්ෂිත විය.
මා, අන් කිසිවෙකුට වඩා සංවේදී නිගමනවලට එළඹෙන බව නොකියූවත්, පුද්ගලයෙකු වශයෙන්, මම හුදෙකලා වීමට සහ චින්තකයෙකු වීමට වඩාත් නැඹුරු වීමි. කෙසේ වෙතත්, ඔවුන් මා රාජ්‍ය තාන්ත්‍රික සේවයේ යෙදවීමට එක හේතුවකුත් එයම විය. මම සේවය තුලදී විශිෂ්ඨ ජීවිතයක් ගත කළ අතර එය බොහෝ විනෝදජනකද විය… නමුත් මෙන්න, මම නැවතත් මෙම කථාව නියමිත මාතෘකාවෙන් ඔබ්බට ගෙන ගොස් එය මා සහ මගේ ජීවිතය දෙසට නැඹුරු කෙරුවා... ඔහ්, ඔව්, මට අමතක වුනා… අපි ඩික්ටෆෝනය එනතුරු බලා සිටියා නේද, ප්‍රායෝගික විස්තරය වෙත යන්න, එහෙම නේද?
මම ඒ ගැන සමාව අයදිමි, නමුත් මමත් ඔබ මෙන් නොඉවසිල්ලෙන් සිටිමි. අවංකවම!
රෝහලේ සිට මහලු නිවාසය දක්වා වූ ගමන කිලෝමීටර කිහිපයක් පමනක් වූ අතර ඔවුන් සැපයූ විශාල සුව පහසු ගිලන් රථයෙන් එම ගමනට වැඩි කාලයක් ගත නොවීය. ඇත්ත වශයෙන්ම, අපි උදේ එකොළහට පමණ කිසිම පූර්ව ඇඟවීමකින් තොරව රෝහලෙන් පිටත්ව ගිය අතර, මාබෙලා හි විනෝද බෝට්ටු සඳහා සැකසූ සුන්දර නැවතුම් පලට ඉහළින් පිහිටි වැඩිහිටි නිවාස භූමියේ විශාල සුව පහසු පුටුවක දහවල් දොළහා වනවිට මම වාඩි වී සිටියේ මගේ දිවා ආහාරය එනතෙක් බලා සිටිමිනි.
මම, දැන් තේරුම් ගත්තා ඔබ මේ පොතේ කාරනාව දැන ගැනීම සඳහා සෑහෙන කාලයක් බලා සිට ඇති බව, මට එය අමතක වී නැත, එය සඳහා හරියටම කොපමණ කාලයක් ගත වී ඇත්දැයි මට හරියටම මතක නැතත්, හෙදිය මගේ දිවා ආහාරය ගෙන එන විට, මම නැවතත් මගේ යන්ත්‍රය ගැන ඇයගෙන් විමසුවෙමි. ඇය ඉදිරි පස මේසය නාද කිරීමට ඇගේ ජංගම දුරකථනය භාවිතා කළ අතර පැයක් ඇතුළත එය ලබා දෙන බවට මට සහතික විය. මම සිනාසෙමින්, ඇයට ස්තූති කර මට කෑමට ලබාදුන් තැම්බූ මාළු හා සලාදය කා, ඉන් පසුව නැවතත් යෝගට් අනුභව කොට තේ පානය කළෙමි.
මම එවැනි ආහාර වලට ප්‍රිය මනාප වන නමුත් වේලාසනින් පිසින ලද පෝෂණ ගුණයෙන් අඩු කෑම අනුභව කිරීමට මාගෙන් ඉල්ලා නොසිටින තාක් කල්, මට කුමන ආකාරයකට හෝ පිසූ ආහාර මගින් සතුටු වීම පහසුය. පෙර දිනවලදී, මම ඉන්දියානු හා පසුව තායි ආහාර වලට කැමැත්තක් දැක්වුයෙමි. මගේ පැහැදිලි සර්වකාලීන ප්‍රියතම ආහාරයක් වූ චීස් මෙන් දැන් ඒවාද මට ප්‍රතික්ෂේප වී ඇත. චීස්, නැවුම් මෙන්ම කැඩෙන සුළු පාන් සහ රතු වයින් හෝ බියර් සඳහා මා තුල නිරන්තර ආශාවක් තිබූ අතර ඒවා මේ දිනවල ඉතා දුර්ලභ සංග්‍රහයකි.
කෑම සහ පැය යන දෙකම දැන් අතුරුදහන් වී ඇත, නමුත් මගේ තත්වයට ඇති එකම වෙනස නම් මට නිදිමත දැනීමයි. එය බොහෝ විට මුහුදු සුළඟ නිසා විය හැකිය. ඔවුන් ඉක්මනින් මගේ නව සෙල්ලම් බඩුව ගෙනාවේ නැත්නම්, මම නැවත නිදාගන්නෙමි… මගේ තරුණ කාලයේ මිනිසුන් ගැන සිහින දකිමින්, බොහෝ කලකට පෙර මිය ගොස් ඇති අය ගැන… සමහර විට, මමත් එසේ විය යුතුයි, මම මෙහි ගත කරන්නේ කුමන ප්‍රයෝජනවත් අරමුණක් සඳහාද? කමින්, බොමින් සහ මුදල් වියදම් කරමින්, නමුත් කුමන අවසානයකටද? මාව පණපිටින් තියාගැනීමටද? වැඩිහිටි නිවසේ හිමිකරුවන් හැර කිසිවෙකු මා ගැන සැලකිලිමත් නොවන අතර, මගේ මුදල් ඉවර වුවහොත් එයද ඉක්මනින් නතර වනු ඇත, එය එසේ නොවේ… ආදරණීය බ්‍රිතාන්‍ය රජය මා මියයන තෙක් මා දෙස බලනු ඇත.
කෙසේ වෙතත්, මගේ අනිවාර්ය තවත් මරණයක් හා නැවත ඉපදීමක් මගේ ගමනෙන් මාව වළක්වනු ලැබ සිටියි. මගේ මුදල් වෙනත් තැනක වියදම් කිරීම මෙයට වඩා හොඳ යැයි මගේ සිතට නැගෙන සිතිවිල්ල ගැන මට කිසිවක් කළ නොහැක. මම නැවත පාවී යමි, මට එය දැනේ. මගේ කතාව ඔබට පැවසීමට මම ජීවතුන් අතර සිටිය යුතුය, එය ඇත්ත වශයෙන්ම මගේ කතාව නොවේ, මන්ද එය මා ගැන නොවන නිසාය. මම දන්නවා ඒ ගැන මම මීට පෙර ඔබට පවසා ඇති බව. නමුත් මම මේ කතාව මගේ ජීවිතයේ වැඩි කාලයක් දැන සිටියෙමි. ඒ නිසයි මම ජීවතුන් අතර තවමත් මාව රඳවා ගෙන සිටින්නේ, නමුත් ඒ වෙනුවෙන් පමණක්ම නොවේ.
සත්‍යය දැන ගැනීමට අවශ්‍ය නම්, මගේ ගමනේ ඊළඟ අදියර දක්වා ඉදිරියට යාමට මම උනන්දු වන අතර දැනටමත් වසර දෙකකුත් මාස හතක් සහ දින දහහතරක් මම ගත කර ඇත. මට ඇයව බොහෝ සේ මග හැරී ඇත, මම ඇය ගැන සිතන සෑම මොහොතකම මට ඇඞිය හැකිවේ, මේ මම යයි කියන දැඩි අවජාතකයා හට… මම කියා බොරුවට මවාපාන තැනැත්තා. අවසානයේදී, සෑම කෙනෙකුම චිත්ත රූපය විශ්වාස කරන අතර එය සමඟ දියුණු වීමට ඔබට ඉඩ සලසයි… ඔවුන්ට සැබවින්ම කිරීමට අවශ්‍ය අන්තිම දේ එය බව ඔවුන් වටහා නොගනී. මගේ හැඟීම් පෙන්වීමට මම බිය වෙමි, එයයි සත්‍යය… නමුත් බොහෝ පිරිමින්ද එසේයි.
එහෙත්, දැන් එය වෙනස් කිරීමට ප්‍රමාද වැඩියි… සමහර විට ඊළඟ ජීවිතයේ හෝ ඉන් පසුව අවස්ථාවක් ලැබෙනු ඇත. අනන්තය දීර්ඝ වීම කොපමණ හොඳද, එයින් ඔබගේ වැරදි සහ දුර්වලතා නිවැරදි කිරීමට ඔබට ඕනෑ තරම් කාලය ලබා දෙන අතර, දෙවියනී, මට එය අවශ්‍යය බව ඔබ දනී.
මට විශ්ව විද්‍යාලයේ හමුවූ පිරිමි ළමයෙක් වන රිකී ගැන හදිසියේම අනපේක්ෂිත මතකයක් ලැබෙනවා. ඔහු බැටර්සි හි සිට පැමිණි අතර ආරූඪ කරගත් නැගෙනහිර ලන්ඩනයේ භාෂා උච්චාරණයකින් කතා කළේය. ඔහු කුකුලෙකු මෙන් ඇවිදීමට උත්සාහ කළ අතර, එක් රාත්‍රියකදී ඉන්දියානු ව්‍යංජන අනුභවය සඳහා ඔහුව රැගෙන යන ලෙස ඔහු මගෙන් ඉල්ලා සිටියේය. ඒ මන්ද යත්, ඔහු කිසිදා එවන් ආහාර අනුභව නොකර ඇති නිසාත් ඔහුගේ පෙම්වතිගේ කැමතිම ආහාර වර්ගය ඉන්දියානු ආහාර බව කී පසු ඇය කෙරෙහි පලපෑමක් ඇති කිරීමටත්ය. ඔහු රතු වයින් සහ බියර් පානය කර, වෙරි මතින් ඔහුගේ මුහුණ මදුරාසි කුකුළු මස් ව්‍යංජනයේ දමා ගත්තේය. හා, හා, හා… නියම පැරණි දවස්. වේටර්වරයෙක් සහ මම ඔහුව පිරිසිදු කළ අතර, මම ඔහුගේ පෙම්වතියගේ ගෙදර වෙත ඔහුව ගෙන ගියෙමි. ඇයගේ තට්ටු නිවාසයේ මිතුරිය විසින් ගන්නා ලද නිරුවත් ඡායාරූප වලින් ඇගේ නිවස පිරී පැවතුනි.
මට තට්ටු නිවාසයේ මිතුරියගේ නම මතක නැත, නමුත් ඇය යුදෙව්වෙකු වූ අතර එදින රාත්‍රියේ මට තවත් රතු වයින් පොවා මා සමඟ ඇඳට ගියාය. මට ඇගේ නම මතක නැති නිසා මම දුබල බව මට දැනේ, නමුත් මරියා හෝ මාෂා යන නම මගේ මනසෙහි ඇය ගැන පෙනෙන මුහුණට ගැලපෙන බව හැඟේ. පුදුමයි, මම අවුරුදු පනහකට ආසන්න කාලයක් තිස්සේ එම පුද්ගලයින් තිදෙනා ගැන සිතා නැත.
සමාවෙන්න මට, මම කාරණයෙන් පිටතට සෙමින් ඉවත්වීම ගැන. මගේ පීරිසිය යටින් නෙරා පැමිණි සටහනක් තිබේ: ‘ඔබේ ඩික්ටෆෝනය පිළිගැනීමේ කවුන්ටරයේ ඇත. කරුණාකර නාද කරන්න, එය ඔබ වෙත ගෙන එනු ඇත’. ආදරණීය පාඨකය, මම ඔබ ගැන මෙන්ම මම ගැනද සතුටු වෙමි, මන්ද දැන් මට මගේ පොරොන්දුව ඉටු කිරීමට හැකි වනු ඇති අතර මා පවසන දේ සත්‍යද නැද්ද යන්න ඔබටද තක්සේරු කළ හැකිවනවා ඇත. කරුණාකර, පොඩි මොහොතක් දෙන්න, මට ඇමතුම ගැනීම සඳහා.
“මෙන්න, විලියම්. ඔයා නිදාගෙන ඉන්නකොට මේකේ බැටරි ආරෝපණය කිරීමේ නිදහස මම ගත්තා. ඒකත් එක්ක විනෝද වෙන්න”, එය ලබා දුන් දැරිය පැවසුවාය.
“ඔව්, ස්තූතියි, මම කරන්නම්,” මම සතුටු සිතින් පිළිතුරු දුන්නෙමි, නමුත් ‘මොන තරම් විකාර කෙල්ලෙක්ද!’ කියා සිතුවෙමි. සමහර තරුණ අය අපි හැමෝටම සලකන්නේ අපි වයෝවෘධයන් ලෙසටයි. ඒක මට තරහා යාමට කාරණයක්. අපගෙන් සමහරුන්ට නම් මුළුමනින්ම ඔළුව හොඳ නැතිබව ඇත්ත, නමුත් සියල්ලන්ම නොවෙයි… තවම නැත.
මම නෝකියා එක සමඟ සෙල්ලම් කළෙමි, හුරුපුරුදු ලක්ෂණ සොයමින් එය අතින් අතට හරවා බැලීමි. එය සරල එකක් විය, ඔව් මට අවශ්‍ය දේ… කටහඬින් එය සක්‍රිය කළ හැකිය. මම නවීන තාක්‍ෂණයට අමුත්තෙක් නොවූවත් තවත් හදිසි සිතුවිල්ලක් මගේ මතකයට ආවේය. මම වාර්තා දහස් ගණනක් ලියා ඇත, නමුත් කිසි විටෙක චරිතාපදානයක් ලියා නැත. බොහෝ ඒවා කියවා ඇත, ඔව්, නමුත් ලියා නැත. ආරම්භ කරන්නේ කෙසේදැයි මට සිතා ගත නොහැක. ඇත්තටම! මෙය වඩාත් පීඩාකාරියි. මම, අපි, පැය විසිහතරක් තිස්සේ රෙකෝඩරය බලාපොරොත්තුවෙන් සිටියෙමු, දැන් තවමත් මට එය ආරම්භ කළ නොහැක!
මගේ තේ බී අවසන් කිරීම සඳහා මම මගේ පීරිසිය ගත් අතර, උණුසුම් සුළඟක් මගින් එම සටහන තණකොළ මතට ගසාගෙන ගියේය. මට කියන්නට අවශ්‍ය කථාව, ඇගේ කතාව, වෙනත් සිදුවීම් පළමුව සිදු නොවූයේ නම් එය කිසිදා සිදුවිය නොහැකි බව මට වැටහී ඇත ... හොඳයි, එසේ නම්, ඔබ මෙතෙක් මා සමඟ සම්බන්ධ වී සිටි නිසා, මම ඔබව තව ටිකක් ඉදිරියට ගෙන ගොස් සියල්ල මුලින්ම පටන්ගත් ස්ථානයට, මනුෂ්‍යවූ මට පුළුවන් ලෙසට රැගෙන යන්නම්. මෙම කතාවේ සැබෑ ආරම්භය සිදුවූයේ වෙනත් රටක, මා ඉපදීමට දශකයකට පමණ පෙර ඉතා අසීරු කාලයකදීය.
අවසානය.
2 යූයි මිසුකි
හිරෝටෝ මිසුකි මහතා ටෝකියෝ හි මුදල් අමාත්‍යාංශයේ නිහඬ රැකියාවක මධ්‍යම මට්ටමේ නිලධාරියෙකු ලෙස දිවා කාලයේ දීත්, රාත්‍රි කාලයේදී ස්වදේශ ආරක්ෂක අංශයේ කොටසකත් සේවය කරමින් සිටියේය. 1944 දී, ඔහුට වයස අවුරුදු විසි හතක් වන විට, ඔහු තම කාර්යාලයේ කොරිඩෝවෙහි අනිත් පස වැඩ කරන සගයකු සමඟ ආදරයෙන් බැඳී සිටි අතර, එවිට ක්‍රියාත්මක වෙමින් පැවති ඇමරිකානු ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තේ නම්, ඇයව තම බිරිඳ බවට පත් කර ගැනීමට ඔහු පොරොන්දු විය. හිරෝටෝ සහ ඔහුගේ පෙම්වතිය වන සුසුමේ, සමාන සමාජ පන්තියකට අයත් අය වූ අතර, දෙදෙනාම ෂින්ටෝ දහම ඇදහූවන්ද වූ අතර ඔවුන් දෙදෙනාම හිරෝහිතෝ අධිරාජ්‍යයා දෙවියෙකු ලෙස සැලකූහ. එලෙසම ජපානය මෙම යුද්ධයෙන් පරාජය කළ නොහැකි බව දෙදෙනාම විශ්වාසය ඇති කරගෙන සිටියෝය - ජපානය මෙතෙක් කර ඇති විශාලතම යුද්ධය.
ඔවුන් වැරදි විය හැකි බවට ලැබුණු පළමු සංඥා වූයේ ඔවුන්ගේ ආදරණීය, පුරාණ අගනුවර වන ටෝකියෝහි වීදිවලින් තරුණයන් අතුරුදහන් වීම සහ ටෝකියෝ මතට ඇමරිකානුවන් විසින් අනුකම්පා විරහිතව ගිනි බෝම්බ හෙලීමයි. 1945 මාර්තු 9 වන දින රාත්‍රියේදී ගිනි අවුලුවන බෝම්බ 700,000 කට ආසන්න ප්‍රමාණයක් බිම හෙළීමෙන් මිනිසුන් 100,000 ක් මියගොස් 110,000 ක් තුවාල ලැබූ අතර විශාල වශයෙන් කඩදාසි හා උණ බම්බු මගින් සෑදු ගොඩනැගිලි හරහා වේගයෙන් ව්‍යාප්ත වූ ගිනි ජාලාවන් නිසා නගරයෙන් සියයට හතළිහක් විනාශ වීය.
ඇගේ මනස කම්පනය වෙද්දී සුසුමේගේ ඇදහිල්ල බිඳ වැටෙන්නට පටන් ගත්තේය. ජුලි 20 වන දින තවත් නරක රාත්‍රියකට පසු, විශාල වට්ටක්කා බෝම්බයක් - පැමිණීමට නියමිතවූ පරමාණු බෝම්බවල පූරෝගාමියා - ඇය ජීවත් වූ ඇගේ දෙමව්පියන්ගේ නිවස අසල බිම පතිතවූ විට, ඇය රැගෙන යන ලෙස හිරෝටෝගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියාය. ජුලි 21 වන දින ඇගේ නිවසේ පැවති රැස්වීමකදී ඇයට එය තවදුරටත් දරාගත නොහැකි බව ඇය දණින් වැටී ඔහුට පැවසුවාය. ඔහු ඇයව ඉතා ඉක්මණින් රැගෙන නොගියහොත්, ඇයට තනිවම පිටත්ව යාමට හෝ ‘ඉවතට යා හැකි එකම ගෞරවනීය මාර්ගය’ තෝරා ගැනීමට ඇයට සිදුවනු ඇති බව ඇය පැවසුවාය. ඇගේ දෙමව්පියන් ඔවුන්ට ආශීර්වාද කළ අතර ඉතා ඉක්මන් ෂින්ටෝ විවාහ උත්සවයක් සංවිධානය කරන ලදී.
“නමුත් අපි කොහේ කියලා යන්නද?” හිරෝටෝ ඇසීය. "අපේ මේ රටේ දැන් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා මට පැහැදිලි අදහසක් නැහැ. නමුත් මම හිතන්නේ දකුණ ආරක්ෂිතයි - එයාලා බෝම්බ දාලා සමතලා කරන්න හිතන් ඉන්න ටෝකියෝවෙන් ඈත ඕනෑම තැනකට, ඒ ගොල්ලෝ මිනිස්සු ඉද්දීම එහෙම කරයි වගේ.” බියෙන් තැතිගත් තම තරුණ පෙම්වතියගේ විශ්වාසය ඇති කිරීම සඳහා හිරෝටෝ තම තේ කෝප්පය පානය කළේ තම නොබෙදුණු සැලකිල්ල දැනට ඇති ප්‍රශ්නයට ලබා දෙන බවක් මවා පාමිනි. කෙසේ වෙතත්, ඔහුට කිසිදු හෝඩුවාවක් හෝ පැහැදිලි පිළිතුරක් නොතිබුණි. ඔහුට දැකිය හැකි වූයේ එක් විකල්පයක් පමණි.
“මගේ තාත්තාටයි අම්මටයි දකුණේ සුවපහසු ගොවිපලක් තියනවා”, ඔහු හිතා බලා පැවසීය. “අපිට එහෙට යන්න පුළුවන්… එයාලා ඒ පැත්තේ යුද්ධය කරනවා දැකලා නැහැ.”
"නියමයි නේ!" සුසුමේ ඔහු දෙස ගෞරවයෙන් සහ ප්‍රීතියෙන් බලමින් ප්‍රශංසා කළේය. “ඒක කොහේද, අනේ අපිට කියන්න?”
“හොඳයි, දුම්රිය ධාවනය වෙනවා නම් ඒක පැය දොළහක් විතර දුරින්…” ඔහු පැවසුවේ සිනහ සෙමින්, තම මනාලිය වීමට සිටින කෙනාව විහිළුවට ලක් කරමිනි. “අපිට මෝටර් රථයක් සහ පෙට්‍රල් තියෙනවා නම් ඒක පැය නවයක් පමණ දුරින් තියෙන්නේ, ඒත් ඒ කිසි දෙයක් අපිට තවදුරටත් නැහැනේ...ඉතින් ඔයාට යන්නම ඕනේ නම් එහෙට ඇවිදගෙන යන්න දවස් දොළහක් හරි දහහතරක් හරි ගත වෙයි. ඔයාට තවමත් එහෙ යන්න ඕනෙද?”
"ඔයා මාත් එක්ක ඉන්නවා නම්, මගේ ආදරය, මාසයක් ගියත් මට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඇත්තටම ඒක කොහේද?"
“හිරෝෂිමා ඉඳන් සැතපුම් දහයක් උතුරට. ඒක ලස්සනයි ඒ වගේම හරිම නිහඬයි!” ඔහු පිළිතුරු දුනි. “අපිට එහෙ ආරක්ෂිතව ඉන්න පුළුවන්, අපි එයාලා එක්ක ඉන්න එක ගැන මගේ දෙමාපියන් සතුටු වෙයි. මගේ අනාගත මව සහ මාමණ්ඩිය, ඔයාලත් අපිත් එක්ක එනවාද?”
මහල්ලා තම බිරිඳ දෙස බැලීය.
“නෑ පුතේ. ඔයා අපේ දුවව බලාගන්න, දරුවන් ගොඩක් හදා ගන්න. අපේ ඉරණම, හොඳ හෝ නරක වේවා, පවතින්නේ පාලක අධිරාජ්‍යයා සහ ඔහුගේ අගනුවර මතයි. අපි මෙහි නැවතිලා ඉන්නවා. කොහොම වුනත්, අපට හිරෝෂිමා වලට ඇවිදගෙන යන්න ඕනේ වුනත් අපට යන්න බැහැ, ඒක අපි දෙන්නට ඉතා දුෂ්කර ගමනක් නිසා.”
“යුද්ධය ඉවර වෙලා දුම්රිය ආයෙත් ධාවනය වෙන්න පටන් ගත්තට පස්සේ අපි ඔයාව බලන්න එන්නම්”, සුසුමේගේ මව ඇයව සැනසීමේ අදිටනින් පැවසුවාය.
ඔවුන් ඊළඟ දින හතරේ වැඩ කළ අතර, පසුව ඔවුන් අසනීප බව පවසා ලෙඩ නිවාඩු ගත්තේ තවත් මාසයක වැටුප ඔවුන් දෙදෙනාටම ලබා ගත හැකි වන අයුරිනි. එම නිවාඩු දවස් හිරෝටෝගේ අනවශ්‍ය දේ විකුණා දැමීමටත්, දෙදෙනා විවාහ වී සුසුමේගේ පවුලේ අයගෙන් සමුගැනීමටත් ඔවුන් යෙදවූහ. ඉන්පසු, ගොවීන් ලෙස තමන්ටත් වඩා විශාල ඇඳුම් වලින් සැරසී, අවුල්වූ කෙස් කළඹීන් යුතුව සහ අවශ්‍ය වුවහොත් ඇඳ ගැනීමට ගත් අතිරේක ඇඳුම් අතර ආහාර අඩංගු පැකට් කිහිපයක් සඟවාගෙන, ජුලි 27 වන සිකුරාදා උදෑසනින්, නිහඬ සාමකාමී ජීවිතයක් සඳහා දකුණට යන සරණාගතයින් සමග ඔවුහු පිටත්ව ගියහ.
පාරේ ගතකල ජීවිතය දුෂ්කර වූ අතර, ඔවුන්ගේ මුදල් ඔවුන් සන්තකයේ සඟවා තබාගෙනද, ඔවුන්ගේ ආහාර බෑග්වල සඟවා තබා තිබුනද, අනෙක් බොහෝ අයට එවැනි කිසි දෙයක් නොතිබිණි. කුසගින්නෙන් පෙළෙන දරුවන්ට ආහාර දීම ප්‍රතික්ෂේප කරමින්, අන් අයගෙන් ඉවත්ව වාඩිවී සිටීම ඔවුන්ට මහත් වේදනාවක් ගෙන දුන්නත්, ඔවුන්ට ඒ ගැන කිසිවක් කල නොහැකි වුයේ ඔවුන්ගේ ආහාර අන් අයට දුනහොත් ඔවුන්ටද වැඩි දිනක් නොගොස් ආහාර සිඟා කෑමට සිදුවන බව ඔවුනට වැටහුණු නිසාය. මඟ දිගේ කඩ සාප්පු තිබුනේ නම් තත්වය එතරම් නරක නොවනු ඇත, නමුත් එම දුක්ඛිත හා දූවිලි සහිත පාර දිගේ මිනිසුන් ගමන් කිරීම බොහෝ කාලයක් තිස්සේ පැවති නිසා කිසිවක් ඉතිරි නොවූ අතර ආහාර ඒ වන විටත් හිඟ වූයේ අවහිර කිරීම් සහ බෝම්බ හෙලීම නිසා ය. ඇසට පෙනෙන තාක් දුරට දැකගත හැකි වූයේ අතහැර දැමූ ගොවිපලවල් සහ විනාශ වූ කෙත්වතුය. පශු සම්පත් නොතිබුණි, සතුන්ව ඒ වන විටත් ආහාරයට ගෙන හෝ විකුණා හෝ අනාගතයේ අවශ්‍ය වුවහොත් ඇපකරයක් ලෙස තැබීමට හෝ සඟවා තිබුණි. වාතයේ තිබූ පිරිසිදු බව හැරුනුකොට ගම්බද ප්‍රදේශ හරහා ගමන් කිරීම සැම ආකාරයකින්ම, ටෝකියෝ හි රැඳී සිටීම තරම්ම මානසික අවපීඩනයක් ගෙනදුනි. වාතය පිරිසිදු විය, නමුත් මිහිරි නොවීය.
දවසේ ප්‍රීතිමත්ම මොහොතක් වූයේ පැය විසි හතරක කාලයක් ගත කරා යන හැඟීමයි. කනගාටුදායක අවස්ථාවන් වූයේ ඔවුන් ගමන් ගත් මාර්ගයේ මියගිය අයගේ මළ සිරුරු මඟහැර ඇවිදීමයි. බොහෝ විට මියගිය පුද්ගලයාගේ දේපළ සඳහා රණ්ඩු දබර පවා ඇති වූ අතර, ඔහුගේ හෝ ඇයගේ ඇඳුම් පවා රැගෙන ශරීරය නිරුවතින් පාරේ කුණු වීමට ඉඩ හරින ලදී, නැතහොත් එයින් දැනටමත් නරක සුවඳක් දැනේ නම් සිරුර ඒ අසල ඇති කානුවකට දමනු ලැබිණි. එය ගිම්හාන කාලය වූ අතර උණුසුම දැඩිවූ බැවින් මැස්සන්ට සහ ඉහඳ පනුවන්ට ඔවුන්ගේ බිහිසුණු වැඩ ආරම්භ කිරීමට වැඩි කාලයක් ගත නොවීය. රාත්‍රිය සිසිල් වූ නිසා ඔවුන් සියල්ලෝ වැඩිපුරම ඇවිද ගියේ රාත්‍රියේ වන අතර කළුවර මාවත්හි අතරමග වැටී තිබූ, කුණුවූ මළ සිරුරු මගින් පැටලී ඇද වැටීමේ අවදානමද ඉන් වැඩි විය. මළ සිරුරු සෑම තැනකම පාහේ වැටී තිබූ නිසා එයින් නැගෙන දුර්ඝන්ධයද තව දුරටත් අනතුරු ඇඟවීමක් නොවීය. ඔවුන් ඇවිද ගිය එම කාලය, ඔවුන් දෙදෙනා තම ජීවිතයේ එක්ව ගත කිරීමට යන කාලයෙන් සති දෙකකටත් වඩා අඩු කාලයක් වන බව නිතර මතක් කර ගැනීමෙන් ඔවුහු තම ධෛර්යය වැඩිකර ගත්හ.
දින එකොළහක් පාරේ ගමන් කිරීමෙන් පසු ඔවුන් සිටියේ හිරෝෂිමා වලට ආසන්නවය.
“එන්න, සුසුමේ, දැන් වෙලාව අටයි, අපේ ඉතුරු වෙලා තියන අන්තිම කෑම ටික කමු. අපිට තවත් පැය අටකින් ගොවිපොළේ ඉන්න පුළුවන්. අපිට දුරකථනයක් තිබුණා නම්, අපිට අම්මාට කියන්න තිබුනා අපිව තේ වෙලාවට බලාපොරොත්තු වෙන්න කියලා. ඒක එයාගේ ජීවිතයේ ලොකුම කම්පනය වෙයි! එන්න, අපිට මෙතන ඉඳලා නගරය බලන්න පුලුවන්ද කියලා බලමු.”