Kitabı oku: «ඇන්ඩ්‍රොපොව්ගේ කොවුලා», sayfa 4
“ඔව්, ටෂ්, මම එකඟයි, නමුත් මට එච්චර කාලයක් බලන් ඉන්න බැහැ. මට දැන් හොඳ ජීවිතයක් ගත කරන්න අවශ්‍යයි. මගේ දෙමව්පියන් හිටියේ නැත්තම්, මම දැනටමත් ගිහින් ඉවරයි! මම ඇත්තටම යන්න කැමතියි, නමුත් ඒක එයාලට කොච්චර වේදනාවක් ගෙනෙයිද කියලා මම දන්නවා… ඒ වගේම මටත් ඒගොල්ලන්ව ගොඩාක් මග ඇරෙයි.”
“සහෝදරිය, ඔයා බටහිරට සදා නොපෙනී යනවා දකින්න මමත් වෛර කරනවා, මොකද මට ඔයාගේ අඩිපාරේ එන්න බැරි නිසා. කොහොම වුනත්, අපි ඒ ගැන කියන්න දන්නේ නැහැ. මොකද, බ්‍රෙෂ්නෙව් සහෝදරයා බටහිර රටවල් සමඟ නිතරම අලුත් දොරටු විවර කරනවා. ඒ නිසා අනාගතයේදී මොනවා වෙයිද කියලා කවුද දන්නේ?”
“මට බටහිර රටක හො ඳ රස්සාවක් තිබුනා නම්, ටෂ්, මම ඔයාගේ ගුවන් ගමන් වලටයි අනිත් හැම දේටමයි මම මුදල් ගෙවනවා. ඔයාට කිසිම වෙලාවක ඒ ගැන කරදර වෙන්න ඕනේ නැහැ.”
“ස්තූතියි, මම දන්නවා ඔයා එහෙම කරනවා කියලා”, ඇය පිළිතුරු දුන්නේ මේසය හරහා ඇයගේ අත තම යෙහෙළියගේ අත මත තබාගෙනය. “සහෝදරිය, ඔයාට උදව් කරන්න මට මොනවා හරි කරන්න පුළුවන් දෙයක් තියෙනවනම් හොඳයි කියලා මම ප්‍රාර්ථනා කරනවා.”
“තියෙනවා, ඔයාට මගේ තැනේ වැඩ කරන්න පුළුවන්නේ! ඔයාට මාත් එක්ක ජීවත් වෙන්න පුළුවන්, අපිට මාසයක් වැඩ කරලා මාසයක නිවාඩු ගන්න පුළුවන් මාරුවෙන් මාරුවට. ඒ රස්සාවෙන් හොඳට පඩි හම්බ වෙනවා, එහෙම නැත්තම්, අනෙක් කෙනාට පරිවර්තකයෙකු විදිහට වැඩ කරන්න පුළුවන්” යනුවෙන් ඇය විහිළුවෙන් පිළිතුරු දුන්නාය.
පසුදා උදෑසන නටාෂා, කුඩා කල සිට සෑම දිනකම කළ පරිදි පෙර දින තම ජීවිතයේ සිදු වූ සිදුවීම් ගැන තම මවට පැවසුවාය.
“නටාෂා ඔයා, යූයි ජීවත් වෙන ඇමරිකානු ධනවාදී මැර ගුහාවට ගිහින් තියනවා, නමුත් ඔයා එයින් ආරක්ෂා වෙලත් තියනවා. අවාසනාවට, යූයි එහෙම නැහැ. එයා හරියට දවල් කාලේ හොඳට කන, ඒ කියන්නේ ඇමරිකානු මුද්‍රා නාට්‍යයි ඒ ගොල්ලන්ගේ ලොකු ප්‍රචාරණ දැන්වීමුයි කන, ප්‍රංශ පාත්තයෙක් වගේ. ඒවා වල අරමුණ තමයි කම්කරු පන්තියේ පුරවැසියන්ගේ මොළය නිෂ්ඵල, වැඩිය හිතන්න බැරි විදිහේ මොළ ගෙඩි වලට පත් කරන එක.”
“මේ උපක්‍රමය සාමාන්‍යයෙන් බොහොම හොඳින් ක්‍රියාත්මක වෙනවා. ධනවාදී ඌරන් එයාලගේ මේ කලාව ඉහළ මට්ටමකට ගෙනැවිත් තියනවා, ඒ උනාට යූයිට බුද්ධිමත් දෙමව්පියන් ඉන්න නිසා එයාට මේ ජාත්‍යන්තර ධනවාදයේ දුම් තිරය හරහා දකින්න පුළුවන් හැකියාව ලබා දීලා තියනවානේ. ඔයා එකට මුහුණ දුන්නේ ඒක පහුකරගෙන ගිහින් නේ, මම දන්නවනේ. නමුත් යූයිට සිද්ධ වෙලා තියෙන්නේ දූෂිත ජලයේ ඉන්න මාළුවෙකු වගේ ජීවත් වෙන්න. ඔයා ජපානයේ ඉන්නකොට එහෙදී දැකපු දේවල් වලට ඔයා කැමතිද?”
“භාණ්ඩ වලටයි සේවා වලටයි තියන විශාල තෝරා ගැනීමට මම කැමතියි කියලා මම පිළිගන්නවා… තව එහෙ තියන සිනමාවට… මම ඒකට නම් අපේ ඒවාට වඩා ගොඩාක් කැමතියි.”
“සමහර විට, නමුත් අපි සංවිධානාත්මක ජාත්‍යන්තර සම්බාධකවලට යටත් වෙලා ඉන්නේ! ඒක සෝවියට් ජනතාව අතර නොසන්සුන්තාවය වපුරන්න ගත්තු ධනවාදී උපායක්. එයාලා අවුරුදු පනහක් තිස්සේ ඒක කරන්න විවිධාකාරයෙන් උත්සාහ කරනවා, නමුත් සාර්ථක වෙන්න තියන අපේ අධිෂ්ඨානය නිසා එයාලට සාර්ථක වෙන්න ඒක ප්‍රමාණවත් නැහැ. කොහොම වුනත්, තේරීම, ඔයා ඒක හඳුන්වන විදිහට, මායාවක් විතරයි. ඔයා ෂැම්පූ එකක් මිලදී ගන්න බටහිර සුපිරි වෙළඳසැලකට යනකොට ඔයාට විවිධ විවිධ වෙළඳ නාමයි ෂැම්පු වර්ග සිය ගණනකටයි මුහුණ දෙන්න වෙලා ඇති. ඒ වුනාට ගොඩාක් ඒවා එකම කර්මාන්ත ශාලාවක හදලා තියෙන්නේ. විවිධ සේවාදායකයින් වෙනුවෙන් එයාලගේ ලේබල් බෝතල් වල ගහලා, වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කරලා ඔයාට ඒත්තු ගන්නන්න උත්සාහ කරනවා අනිත් එකට වඩා මේක හොඳයි කියලා.”
“යථාර්ථය නම්, ඒක අනිකට වඩා හොඳ නැහැ, දෙකම එකමයි. සමහර විට, වෙළඳ දැන්වීම් වලටයි ඇසුරුම් වලටයි බෝතලයේ ඇති දේට වඩා වැඩි වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ බව දන්නේ නැතුව පාරිභෝගිකයා ඒ දෙකටත් මුදල් ගෙවනවා. ඒක හැදුවේ කොහේද කියලා ලේබලයේ සඳහන් කරන්න ඕනේ කියලා, එයාලට බල කරන්න ඕනේ.”
“කොහොම වුනත්, සෝවියට් අලෙවි සැල්වල තේරීම දැන් දියුණු වෙමින් තියනවා, නමුත් අපේ තේරීම සැබෑ තේරීමක්. යූරල්ස් වල, උස්බෙකිස්තානයේ, යුක්රේනයේ හරි මෙහෙ හරි සබන් හදන්නේ බටහිර වගේ පොදු සුත්‍රයක් දෙකක් පදනම් කරගෙන නෙමෙයි. රැඩිකල් ලෙස වෙනස් වෙච්ච සූත්‍ර පදනම් කරගෙනයි. ස්ටාලින් සහ කෘෂ්චෙව් ඉඩ දුන්න ප්‍රමාණයට වඩා ඉඩ දීලා, දැන් ඒ ක්‍රමය නිවැරදි කරලා තියන බ්‍රෙෂ්නෙව් සහෝදරයා අපේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේදී කැපී පෙනෙන ප්‍රගතියක් ලබලා තියනවා, එහෙම නෙමෙයිද?”
“ඔව්, අම්මා, එයා ප්‍රගතියක් ලබලා තියනවා. දැන් තත්වය මීට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා තිබුන තත්වයට වඩා හොඳයි නේ.”
“ආ ඔය කියන්නේ. එහෙම නම්, අපි ලෝකයේ තනිවම සිටියත්, මහිමාන්විත සෝවියට් සංගමයේ ජනතාව වන අපිට ධනවාදයේ ග්‍රහණයෙන් තවමත් ගැලවෙන්න බැරිවෙලා තියන වෙනත් රටවල් සිය ගණනකට එරෙහිව සාර්ථක වෙන්න පුළුවන් බවට ඒක සාක්ෂියක්.”
“ඔව්, අම්මා, මම දන්නවා, ඔයා දේශනා කරන්නේ වෙනස් වෙච්ච අයටමනේ.”
“මම දේශනා කරන්නේ නැහැ නටාෂා! ධනවාදයේ පූජකයින්, ගෝල බාලයන් කරන්නේ ඒකයි. පූජකයන්ට අපගේ දර්ශනය පතුරුවන්න නැවත ඉඩ දීමෙන් ස්ටාලින් කරපු වැරැද්ද බ්‍රෙෂ්නෙව් සහෝදරයා පෙන්වලා දීලා තියෙනවා.”
“ඔව්, අම්මේ, මම දන්නවා. මට දැන් මගේ කාමරයට යන්න පුළුවන්ද මගේ පාඩම් වැඩ කරගන්න?”
“ඔව්, ඇත්ත වශයෙන්ම, මමත් දැන් එලියට යන්න කොහොම හරි ලෑස්ති වෙන්න ඕනේ”.
“ඔහ්, තව එකක්, අම්මේ. යූයි යෝජනා කරපු දේ ඔයා කොහොමත් බලාපොරොත්තු වෙන එකක් නැහැ… එයා කිව්වා මම එයාගේ තැන ගන්න ඕනේ කියලා… ඔයා දන්නවානේ, එයා වෙනුවෙන් වැඩට යන්න! ඒක තමයි හිනා යන වැඩේ, එහෙම නේද? එයා ඇත්තටම විහිළුවක් කළේ, නමුත් මම ජපාන මුදල් අමාත්‍යාංශයේ වැඩ කරන බව හිතන්න. එයා මනසින් ඇද වැටිලා හිටියත් එයාට තාමත් විහිළු කරන්න පුළුවන්. පස්සේ හම්බවෙමු අම්මේ, සුන්දර දවසක්!”
“ඔයාටත් එසේම වේවා, නටාෂා. මම ඔයාව තේ බොන වෙලාවේදී දකින්නම්, එහෙම නේද?”
“ඔව්, අම්මේ, යූයි මාත් එක්ක ඉඳි ඒ වෙලාවට.”
පැය කිහිපයකට පසු, මරීනා ප්‍රාදේශීය කර්මාන්ත ශාලාවක දේශනයන් අතර කෝපි කෝප්පයක් සහ කේක් කැබැල්ලක් තනිවම භුක්ති විඳිමින් සිටියදී, නටාෂාගේ වචන නැවත ඇය වෙතට පැමිණ ඇගේ මනසේ රෝද කැරකැවීමට පටන් ගත්තේය. මුලදී, එය සිදුවීමේ හැකියාව ග්‍රහණය කර ගැනීමට නොහැකි තරමට විශාල වූ නමුත් එම අදහසත් සමග ඇයට තනියෙන් සිටීමට නොහැකි වුවාය. එය විසින් දහවල් කාලය මුළුල්ලේම ඇයගේ අවධානය වෙනතකට යොමු කර තිබුණි. ඇගේ අවසන් දේශනය හමාර වූ විට ඇය සතුටු වූයේ ඇයට අල්මා ආටා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පිහිටි සිය කාර්යාලයට ගොස් මදක් විවේක ගත හැකි වන බැවිනි. තමාට කරදර බාධා නොකරන ලෙස ඇය සිය ලේකම්වරයාට උපදෙස් දුන්නාය.
එවැනි පියවරක් ඇත්තෙන්ම නිර්භීත වූ අතර අවදානමක් නොතිබුනාද නොවේ. නමුත් ප්‍රතිඵලය අතිමහත් විය හැක. එය අල්මා ආටා කොමියුනිස්ට් පක්ෂයෙහි ඇයගේ නායකත්වය සහතික කරනු ඇති අතර මධ්‍යම කාරක සභාවෙන්ම ඇයට පැසසුමට ලක්විය හැකිය. එමඟින් නිවැරදි පුද්ගලයින් ඇයගේ නම අවම වශයෙන් හෝ අසා ඇති බව සහතික කරනු ඇත. ඇය එහි ප්‍රායෝගිකත්වය පිලිබඳ සිතා බැලුවාය. නමුත් ඇගේ දියණියට එය කල හැකි බවට ඇයට කිසිදු සැකයක් නොතිබුණි. කෙසේ වෙතත්, පළමුව නටාෂාට මාතෘ භූමියට ඇති ආදරය වෙනුවෙන් කැපකිරීම් කිරීමට එකඟ විය යුතුවූ අතර, නැතහොත් එය පිළිගැනීමට ඇය එඩිතර වන්නේ තම මවට ඇති ආදරය වෙනුවෙන්ද?.
ඇය හොඳ ගැහැණු ළමයෙක් වුවද, නටාෂා මෙම යෝජනාවේ ඇති සංවේදීතාවය දකිනු ඇතැයි ඇය තර්ක කළාය. නමුත් ඇයට එය මුලින්ම පක්ෂ කමිටුව සමඟ සාකච්ඡා කර අල්මා ආටා කොමියුනිස්ට් පක්ෂයෙහි ඉහළ පෙළේ සිටින උසස් නිලධාරින් සියල්ලන්ටම එය ඇගේ අදහසක් බව දැන ගැනීමට වගබලා ගත යුතු බවද තේරුම් ගත්තාය. ඇය සිය අදහස් සහ යෝජනා දළ සටහන් කඩදාසි පත්‍රයක ලියා, එහි දිනය මුද්‍රා කර, ලේකම්වරයාගේ අත්සනින් දිනය තහවුරු කර, පසුව ලියුම් කවරයක මුද්‍රා තබා එය තම සේප්පුවෙහි ආරක්ෂාව සඳහා රැඳෙවුවාය. ගැඹුරු හුස්ම කීපයක් ගත් ඇය කොරිඩෝව දිගේ ඇවිද, සභාපතිගේ කාර්යාලයට ගොස්, ඔහු නිදහස් අවස්ථාවක සිටිනවාදැයි ඔහුගේ ලේකම්ගෙන් විමසා බලා කාර්යාලයේ දොරට තට්ටු කළාය.
“මේක අදහාගන්න බැරි වාසිදායක අවස්ථාවක්, මරීනා සහෝදරිය. මේක අහලා මම සම්පුර්ණයෙන්ම අවුල් වුනා කියලා මම පිලිගන්නවා. මෙච්චර උසස් භාරදුර මේ වගේ කාරණයක් එක්ක මම කිසිම දවසක කටයුතු කරලා නැහැ. ඔයා ඉදිරිපත් කෙරූ කරුණු ගැන ඔයාට සම්පූර්ණයෙන්ම විශ්වාසද?”
“ඔව්, සහෝදරයා, ඇත්තෙන්ම විශ්වාසයි. ගැහැනු ළමයින් දෙදෙනාව ඔයාම ගොඩක් සැරයක් දැකලා තියනවානේ. ඉතින් ඒ දෙන්නාට ඒක කරන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතන්නේ නැද්ද?”
“මම පිලිගන්නවා. රටවල් දෙකකින් කිසිම විදිහකින් සම්බන්ධ නොවෙච්ච ගැහැනු ළමයින් දෙන්නෙකුට එකම සමානකම පිහිටීම තරමක් ගුප්තයි කියලා. ඒ දෙන්නා හරියට එකම කරලේ තියන ඇට දෙකක් වගේ, නමුත් වැඩ කරන කොට යූයි ගේ සම වයසේ යාළුවන්ගෙන් එන පීඩනය එක්ක? ඒක එහෙමම නෙමෙයි. ඒක ටිකක් ව්‍යාකූල එකක්… ඔයාට මේක කරන්න, යූයි ගේ කැමැත්ත තියෙනවාද?”
“නැහැ, සහෝදරයා, මේ වෙලාවේ ඇත්තෙන්ම මේක යූයි දැරිය මගේ දුවට අහම්බෙන් කළ ප්‍රකාශයක අනුමානයක් විතරයි. සභාපතිතුමනි, එය තවදුරටත් ඉදිරියට ගෙන යාමට පෙර මට ඔබෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය වුනා.”
“ඔව්, ඔයා ගොඩාක් ඥානවන්තයි. මෙම කාරණයට විශාල අනාගතයක් තියනවා. අපි ඉතා ප්‍රවේශමෙන් ඉස්සරහට යන්න ඕනේ. ළමයා තව කොච්චර කාලයක් මෙහේ ඉන්නවද?”
“රාත්‍රි හයක්, සහෝදරයා.”
“හරි, ඒ කාරණය මාත් එක්ක තියන්න. හොඳයි, මරීනා සහෝදරිය, මට පුළුවන් ඉක්මනින්ම මම ඔයත් එක්ක ආයෙත් සම්බන්ධ වෙන්නම්.”
මරීනා තමා නිවැරදි දේ කර ඇති බව දැන කාර්යාලයෙන් පිටව ගියේ, එය ඇයගේ වයසක නායකයාගේ හිසටත් ඉහලින් සිටින තැනැත්තා ගේ හිස මත තැබීමට හැකිවූවා නම් හොඳ යයි ප්‍රාර්ථනා කරමිනි. මන්ද එය ඔහුට හැසිරවීමට අපහසු විශාල කරුණක් වුවද ඔහුටද දැන් කීර්තියෙන් කොටසක් අවශ්‍ය වනු ඇති බැවිනි. සමහර විට එය ඇයගේ මට්ටමේ පුද්ගලයින්ට බල නොපාන්නාවූ තවත් හොඳ පරණ තාලයේ පිරිසිඳු කිරීමක් සඳහා මාර්ගය පාදනු ඇතැයි සිතුවාය.
ඇයගේ සියලු සංවේදී ඉන්ද්‍රීයන් ඇයට කියා සිටියේ මෙය ඇගේ වෘත්තියට අවශ්‍ය කරන තල්ලුව ලබා දියහැකි මහඟු අවස්ථාවක් බවත්, එලෙසම සිතා ගත්තේ, කුමන තත්වයක් යටතේදී වුවත් එය ඇගේ ඇඟිලි අතරින් ලිස්සා යාමට ඉඩ නොතබන බවත්ය.
මූලික කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා අවසරය දින කිහිපයකට පසු පැමිණි විට, ජපාන කොමියුනිස්ට් පක්ෂයේ සංචාරය බොහෝ දුරට අවසන් වී තිබූ නමුත් මරීනා සිය දියණිය පසෙකට කැඳවා ගත්තාය.
"යූයි ගේ රැකියාව එයාට හරිම ඒකාකාරීයි කියලා, එයා වෙනුවට ඔයාට වැඩට එන්න කියලා ඔයා මට කියුව දේ ඔයාට මතකද?”
“ඔව්”, නටාෂා පිළිතුරු දෙමින් පැවසුවේ, “ඒ ගැන දැන් මොකක්ද? ඒක විහිළුවක් විතරයි… ” යන්නයි.
“හොඳයි, සමහර විට අපිට ඒ මත යමක් ගොඩනගා ගන්න පුළුවන් වෙයි… ඔයා හිතන්නේ මොකක්ද ඒ ගැන?”
“මොකක් මත ගොඩ නඟන්නද? ඔයා මොනවා ගැනද කතා කරන්නේ කියලා මට කිසිම අදහසක් නැහැ අම්මේ.”
"ඇත්තටම? ඒක කණගාටුදායකයි නේ, නමුත් ඔයා තවමත් තරුණයි. ඔයාගේ යාළුවා යූයි ට ජපන් රජයේ හොඳ රස්සාවක් තියනවා, නමුත් එයා ඒකට වෛර කරනවා. එයා යෝජනා කරලා තියෙන්නේ ඔයාට එයාගේ ස්ථානය ගන්න කියලයි, හරිද? දැන් ඔයා හිතන්නේ මොකක්ද?”
“සමාවෙන්න අම්මේ, ඒත් ඔයාට පිස්සු හැදිලාද? සෙනසුරාදා හවස් වරුවක හිනාවෙන්න යූයි එක්ක අනන්‍යතාවය මාරු කර ගන්න එක, වෙන දෙයක්, නමුත් මේක? අර්, මොකක්ද මේක, මට නිකන් මොලේ අවුල් වෙලා වගේ. මට යම් ආකාරයක අදහසක් තියනවා, නමුත් මට එය ඔයාගෙන්ම අහන්න ඕනේ. ඔයා හරියටම යෝජනා කරන්නේ මොකක්ද?”
“ම්ම්ම්, හොඳයි, පළවෙනියෙන්ම, මේ අදහස සෝවියට් ඉතිහාසයේ මෙතෙක් කාලයක් නොතිබුණු දෙයක් බව ඔයා දැන ගන්න එක මට අවශ්‍යයි. ඒ කියන්නේ ඒක අලුත්ම සංකල්පයක්. කොහොම හරි, ඔයා යූයි ගේ ස්ථානය ලබාගෙන, එයාගේ මුළු අනන්‍යතාවයම ජපානයේදී භාර ගත්තා නම්, ඔයාට පුළුවන් එයාලගේ රහස් වලින් අපව පෝෂණය කරන්න.”
“ඔත්තුකරුවෙක් වෙන එකද ඔයා අදහස් කළේ? ගැහැණු ජේම්ස් බොන්ඩ් කෙනෙක්?”
“ඔව් සහ නැහැ… ඔත්තුකරුවෙක්, ඔව්, ජේම්ස් බොන්ඩ්, නැහැ. ඔයා නිකම්ම යූයි බවට පත්වෙනවා, එයා අතුරුදහන් වෙනවා.”
“‘අතුරුදහන් වෙනවා’ කියලා ඔයා අදහස් කරේ මොකක්ද, අම්මේ?”
“අනේ භයානක දෙයක් නෙමෙයි, මම ඔයාට සහතික වෙනවා. නමුත් මට විශ්වාසයි, සෝවියට් රජයට පුළුවන් වෙයි එයාට සුවපහසු නව ජීවිතයක් හොයලා දෙන්න කියලා.”
“අම්මේ, මම දන්නවා සහතික වශයෙන්ම යූයි ට මෙහේ ජීවත් වෙන්න ඕන නෑ කියලා. එයාගේ හදවත බලාගෙන ඉන්නේ බටහිර කොහේ හරි ජීවත් වෙන්නයි.”
“අනේ, මම ඒ බවක් දැනගෙන සිටියේ නැහැනේ, නමුත් මාත් එක්ක ඒ දේ තියන්න කෝ. ඒවාට ක්‍රම සහ විධි තියනවා කියලා මට විශ්වාසයි”, ඇය පැවසුවේ සභාපතිවරයා සමඟ ඒ පිළිබඳව උදෑසන සාකච්ඡා කිරීමට මානසික සටහනක් තබමිනි. “මට විශ්වාසයි අපිට පුළුවන් වෙයි එයා වෙනුවෙන් යමක් ලෑස්ති කරන්න. ඊළඟ පියවර දැන් ඔයාට තමයි ඇවිත් තියෙන්නේ. ඔයා ආයෙත් ඒ කාරණය ගැන එයත් එක්ක කතා කරන්න ඕනේ.”
ඇගේ මව මේ කාරණය ගැන බරපතළව සිතා ඇති බව තේරුම් ගත් විට, ඇයගේ එම යෝජනාව නටාෂාට වහලයේ පරාලයකින් පහරක් වැදුනාසේ දැනුනාය. හැකි ඉක්මනින් තම මිතුරා සමඟ ඒ ගැන කතා කිරීමට ඇය පොරොන්දු විය.
“මට කණගාටුයි, නටාෂා, නමුත් ඔයාට නිකම් එයා ගාවට ගිහින් අනන්‍යතාවය මාරු කර ගන්න ඉදිරිපත් වෙන්න බැහැ. ඊට වඩා ගොඩක් දේවල් තියනවා… සමහර විට, ඔයාට එයත් එක්ක ඒ ගැන විහිලු විදිහට කතා කරන්න පුළුවන්… මෙන්න මේ වගේ දෙයක් කිව්වොත්, ‘මං ගැන එදා ඔයා කියපු දේ මතකද, අර ඔයා වෙනුවෙන් වැඩට යන එක? මම ඒ ගැන කල්පනා කරනකොට මට මට හරියට හිනා ගියා. ඒ අදහස නිකං මාව කිචි කැව්වා වගේ. ඔයා ඇත්තටම හිතන්නේ මට අනිත් අයව රවට්ටලා ඒක කරන්න පුළුවන් වෙයි කියලද’?”
ඇය ඇත්තෙන්ම එලෙස කළාය. ඇය එම කාරණය ගැන තමාටම සාධාරණීකරණය කර ගත්තේ යූයිට රටින් පිටතට යාමට අවශ්‍ය බවත්, ඇයට, ඇගේ මව සහ මාතෘ භූමිය වෙනුවෙන් පමණක් වුවද ඇතුලට යාමට අවශ්‍ය බවත් සිතමිනි. ඇගේ ප්‍රධාන ප්‍රමුඛතාවය වූයේ යූයි සමඟ ඇති ඇගේ මිත්‍රත්වය අනිසි ලෙස භාවිතා නොකිරීමයි.
කෙසේ වෙතත්, එය දුෂ්කර විය. නටාෂා යූයි සමඟ කිහිප වතාවක්ම ඒ ගැන කතා කිරීමට උත්සාහ කළ නමුත් යූයි ඇය කීමට උත්සාහ කරන්නේ කුමක්ද යන්න තේරුම් ගත් බවක් පෙනෙන්නට නොතිබුණි. එබැවින් ඇය තම මවගෙන් උපදෙස් පැතුවාය. ඇය උපරිමයෙන් උපදෙස් දුන් අතර අවසානයේ ඇයව පක්ෂයේ සභාපති වෙතද ගෙන ගියාය. කෙසේ වෙතත්, ඔහුටද කාර්යය ඉටුවන අන්දමේ පැහැදිලි උපදෙසක් දීමට හැකිවූයේ නැත. දින කිහිපයකට පසු, ජපාන කොමියුනිස්ට් පක්ෂ කණ්ඩායම ආපසු සිය රටට පැමිණියෝය. ඊළඟ දවසේ සභාපති විසින් මරීනාව සහ නටාෂාව තම කාර්යාලයට කැඳවන ලදී.
“කරුණාකර, දෙදෙනාම ඉඳ ගන්න. ඔයාලා දන්න විදිහට, යූයි සමඟ තියන මේ කාරණය අපි ඉතාමත් සියුම් ලෙස හසුරුවන්න ඕනේ. ඒ වගේම ඔයාලා දෙන්නට අර්ථවත් උපදෙස් ලබලා දෙන්න මේ විදිහේ අත්දැකීමක් කිසිවෙකුට නැහැ කියලත් මම පිළිගන්නවා. මම සමහර අයව මේ කාරණය සම්බන්ධව තියන රවුමේ ලඟින් තියාගෙන හිටියා. ඒ නිසා අද උදේ මට ක්‍රෙම්ලිනයෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. ඔයාලා දෙන්නට දවස් තුනක් ඇතුලත ඇන්ඩ්‍රොපොව් සහෝදරයා ඉදිරියේ පෙනී සිටින ලෙස ඔයාලගෙන් ඉල්ලලා එවලා තියනවා.”
ඔහු තම මේසයෙන් විදුලි පණිවුඩයක් ගත්තේය. “ඔව්, මෙන්න. ඔයාලා අනිද්දා පියාසර කරනවා. අල්මා අටා ගුවන්තොටුපලේදී මෙම විදුලි පණිවුඩය ඉදිරිපත් කරන්න, එතකොට ඔයාලා ගැන සැලකිලිමත් වෙලා ඉතුරු වැඩ ටික කෙරෙයි. රතු චතුරශ්‍රය ගාව තියන මොස්කොව්ස්කායා හෝටලයේ ඔයාගේ නමින් කාමරත් වෙන් කරලා තියනවා. මේ රැස්වීම කොච්චර වැදගත් වෙනවද කියලා ඔයගොල්ලන්ට ඒ ගැන පැහැදීලි කිරීමක් කරන්න අවශ්‍ය නැති බව මට විශ්වාසයි. ඇන්ඩ්‍රොපොව් සහෝදරයාගේ කීර්තිය හැමෝම හොඳින් දන්නවා. මම ඔයාලත් එක්ක යන්න කැමතියි කියලා මට කියන්න බැහැ, නමුත් මම ඔයාලා දෙන්නටම සුබ පතනවා.”
මරීනා සහ නටාෂා ඔහුගේ කාර්යාලයෙන් පිටව ගියේ මහත් කම්පනයට පත් වෙමිනි.
“හිත කලබල කරගන්න එපා, අම්මේ, ඒක නරක ආරංචියක් නම්, එයාලා අපිට මොස්කව් වලට එන්න කියන්න කරදර වෙන්නේ නැහැනේ. අපිත් එක්ක ගනුදෙනුව එයාලා මෙහෙදීම කරනවනේ.”
මරීනා තවමත් විදුලි පණිවුඩය අල්ලාගෙන සිටියාය. “මොකක්? ඔහ්, ඔව්, ඒ විදිහට කතා කරන්න එපා, නටාෂා! හැම දෙයක්ම හොඳින් වේවි. මේක ශුභ ආරංචියක් කියලා මගේ ඇටකටු තුළ හැඟීමක් තියනවා.”
∞
ඔවුන් දෙදෙනාම මීට පෙර මොස්කව් නුවරට ගොස් නොතිබූ අතර ඔවුන් ඒ ගැන ගෞරව සම්ප්‍රයුක්ත බියකින් පසුවූහ. ඔවුන් පැමිණි දිනට පසු දින රතු චතුරශ්‍රයේ පිහිටි ක්‍රෙම්ලිනයේ ප්‍රධාන දොරටුවේ මුරකරු වෙත ඔවුන් පැමිණියෝය. ලෙනින්ගේ සොහොන් ගෙය අසල රතු චතුරශ්‍රයේ සිටීම පුදුම සහගතය. නමුත් ශාන්ත බැසිල්ගේ ආසන දෙව්මැදුර අසල පිහිටි නියම ක්‍රෙම්ලිනයට ඇතුළු වීම ශක්තිය පිරිහෙන සුළුවිය. ඔවුන් සිත් ඇදගන්නා සුළු ගොඩනැඟිල්ලට ඇවිදගෙන ගියේ වලව්වේ ස්වාමියා ඉදිරියට යන දාසයින් මෙන්, ඒ බව තම බාහිර හැසිරීම් රටාව මගින් පෙන්වමිනි. ඔවුන්ගේ වහල්කම ගැන සාක්ෂි දැරීමට තරම් මිතුරන් එහි නොසිටීම ගැන ඔවුහු සතුටු වූහ.
මෑතකදී ගුවන්තොටුපලවලට හඳුන්වා දුන් විශාල කවයක් වැනි ලෝහ ද්‍රව්‍ය සෙවීමේ නව උපකරණයක් මගින් ඔවුන්ගේ ශරීර පරීක්ෂාවකින් පසු, ඔවුන්ව විශාල කාමරයකට ගෙන ගොස් එහි වාඩිවී සිටින ලෙස ඉල්ලා සිටින ලදී. ඔවුන් එහි පැය දෙකක් පමණ රැඳී සිටි අතර ශාලාවේ තිබූ බොහෝ සිත් ඇදගන්නාසුළු කලා කෘති නිසා ඔවුනට කාලය ගතවීම නොතේරුනි. හදිසියේම, තමා තුල යෝධ ආත්ම විශ්වාසයක් ඇති බවට පෙන්වුවාවූ කුඩා මිනිසෙක් පැමිණ තමාව අනුගමනය කරමින් තමා පසුපස එන ලෙස ඔවුන්ට උපදෙස් දුන්නේය. රත්රන් තහඩුවක ‘කේ.ජී.බී.’ සහ එයට යටින් තවත් පුවරුවක ‘වයි. වී. ඇන්ඩ්‍රොපොව්’ යනුවෙන් සඳහන් දොරක් ඉදිරිපිට ඔවුහු නතර වූහ. එම පුවරු දුටු විගස, නටාෂාට නොවුනත්, මරීනා මෙතෙක් පැවසූ සියලු දේ අමතක වෙමින් ඇයගේ හදවතට භීතියක් සමග ගෞරව සම්ප්‍රයුක්ත බියක් ජනිත විය.
ඔවුන්ට ඇතුලට පැමිණෙන ලෙස ආරාධනා කර ඉඳගැනීමට ආසන පැනවු විට, ඔවුන්ගේ තම කකුල් පන නැතිවීමට පෙර එසේ කිරීම ගැන සතුටු වුහ. කාමරයේ සිටි මිනිසාගේ බියකරු කීර්තිය එපමණ දරුණු විය.
“සුබ සන්ධ්‍යාවක්, සහෘදයිනි” ඔහු කීවේ සිටගෙන මේසය මතට ඇලවී ඔවුන්ට අතට අත දෙමිනි. “මම ඔයාලට බොන්න යමක් ලබා දෙන්නද? ක්‍රෙම්ලිනය ගැන හිතන්නේ නැතුව ඉන්න තරම් ඒක බලවත් කියලා මම දන්නවා. සමහර වෙලාවට ඊළඟ වතාවේ අපි ලුබ්යන්කා වල මගේ කාර්යාලයේදී හමු වෙමු. මටත් එහිදී මම ගෙදර ඉන්නවා වගේ හැඟීමක් දැනෙයි.”
“මගේ මිතුරෙක් ඉන්නවා, එයා මට ජොනී වෝකර් බ්ලැක් ලේබලයේ බෝතලයක් එවලා තියනවා. ඔයාලා ඒක උත්සාහ කරලා බලන්න කැමති නම් මම සතුටුයි. නැත්තම් රතු වයින්? ඉවාන් ඉවානොවිච් සහෝදරයා, මට කුඩා ස්කොච් වීදුරුවක් සහ අපේ අමුත්තන් දෙදෙනා වෙනුවෙන් රතු වයින් වීදුරු දෙකක් ගෙනෙන්න, කරුණාකරලා. ඉන් පස්සේ ඔයාට අපෙන් ඉවත් වෙලා යන්න පුළුවන්”. දොර වැසෙන විට ඇන්ඩ්‍රොපොව් පැවසුවේ, “චියර්ස්. අන්තර්ජාතික සමාජවාදයේ දියුණුව තවදුරටත් ඇති කරන යෝජනාවක් ඔයා ගාව තියනවා කියලා මට කියනු ලැබුවා.”
“ඔව්, සහෝදරයා, මේ ඉන්න මගේ දියණිය නටාල්යාට, ජපාන මුදල් අමාත්‍යාංශයේ ඉහළ පෙළේ මිතුරියක් සිටිනවා, නමුත් ඇය ඉක්මනින් විදේශ කටයුතු කාර්යාලයට මාරුවක් අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. එයාලා දෙන්නා පෙනුමෙන් නිවුන් දරුවන් වෙන්න පුළුවන්, බලන්න, මා ගාව ඡායාරූප කිහිපයක් තියෙනවා. දකුණු පැත්තේ ඉන්න මගේ දුව, අනෙක් ගැහැණු ළමයා එක්ක අනන්‍යතාවය මාරු කරන්න කැමැත්තෙන් ඉන්නවා. යූයි කියන්නේ ඒ ළමයාගේ නමයි. යූයි එයාගේ රැකියාව පිළිකුල් කරනවා, ඇමරිකාවට යන්න තමයි කැමැත්තෙන් ඉන්නේ.”
ඇන්ඩ්‍රොපොව් නටාෂා දෙස විනිවිද යන සුළු බැලුමක් හෙලුවේ ඔහුගේ අතේ රැඳී ඡායාරූපය වලට ඉහළින් ඇස ඔසවාගෙනය. “මේක ඇත්තද, තරුණ සහෝදරිය?”
“ඔව්, ඇන්ඩ්‍රොපොව් සහෝදරයා”, ඇය මඳක් කම්පනයකින් යුතු හඬකින් පිළිතුරු දුන්නාය, “නමුත් කිසිම දෙයක් තවම ස්ථිර නැහැ.”
“නැහැ”, ඇගේ මව ඉදිරියට පැන පිළිතුරු දුන්නාය, “අපිට ඇත්ත වශයෙන්ම, පළමුව අනුමැතිය අවශ්‍යයි, ඇන්ඩ්‍රොපොව් සහෝදරයා. අවසරයකින් තොරව අපි මේ වගේ දෙයක් කිසිම වෙලාවක කරන්නේ නැහැ.”
“ඔව්, මට ඒක තේරෙනවා… ඒ වගේම සැලසුම කොච්චර ඉක්මනින් ඉදිරියට යන්න පුලුවන්ද?”
“අපිට අනුමැතිය ලැබුණු ගමන්ම, ගැහැණු ළමයාට කතා කරන්න අපිට පුළුවන්, සහෝදරයා. නමුත් එයාට ගොඩක් වෙලාවට වෙනත් අවශ්‍යතා තියෙන්න පුළුවන්, අපි තවමත් දන්නේ නැති.”
"ඔව්, මට තේරෙනවා. හොඳයි, මේක තියන්න මාත් එක්ක. දැනට සමු දෙන්නම්, කරුණාකර පැය හතරකින් ආපසු මෙහෙට එන්න. ඔයාලට මෙහෙ රැඳී ඉන්න හරි ප්‍රධාන ගේට්ටුවෙන් පිටත කෙළවරේ තියන ස්ථානයේ සාප්පු සවාරි යෑමට වුනත් පුළුවන්. ඒක ලෝකයේ විශාලතම දෙපාර්තමේන්තු ගබඩාව බව ඔයාලා හොඳින් දන්නවානේ, ඉතා ඉක්මනින් රටේ සෑම ප්‍රධාන නගරයකම ශාඛාවක් විවෘත කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”
ඇන්ඩ්‍රොපොව් ලිවීමට පටන් ගත් අතර ඉවාන් ඔවුන් පිටුපස පෙනී සිටියේය.
“මෙහෙන් එන්න, කරුණාකරලා, සහෝදරීයනි”, ඔහු පැවසූ අතර ඔවුන් නැවත කොරිඩෝවට පැමිණියෝය. "ඔයාලාට මෙහෙ රැඳී ඉන්න හරි, සාප්පු සවාරියේ යෙදෙන්න හරි උපදෙස් දීලා තියනවද?" ඔහු වැඩි පෞද්ගලික උනන්දුවක් නොමැති ස්වරූපයෙන් ඇසුවේය.
“අපිට පැය හතරක් සාප්පු සවාරියේ යන්න පුළුවන් කියලා පැවසුවා.”
“ඔහ්, හොඳයි. එහෙනම් කරුණාකර මෙහෙන් එන්න.” ඔහු ඔවුන්ව කොරිඩෝවෙන් පහළට ගෙන ගොස්, යලි පැමිණිය හැකි අන්දමේ අවසර පත් ඔවුන්ට ලබා දෙන ලෙසත් ඔවුන්ගේ නම් අමුත්තන්ගේ පොතේ සඳහන් කරන ලෙසත් මුරකරුට පැවසීය. “ප්‍රමාද වෙලා පැමිනෙන වට වඩා කල් වේලා ඇතුව පැමිණ ඉන්නේ එක හොඳයි”, යනුවෙන් ඔහු උපදෙස් දුන් අතර පසුව ඔවුන්ට චතුරශ්‍රයට යන මාර්ගය පෙන්වීය.
මරීනාගේ ආත්මාරක්ෂාව පිළිබඳ සහජයෙන් තිබූ තියුණු හැඟීම ඇයට කියා සිටියේ සාප්පු සවාරියේ යෑමට හෝ අවම වශයෙන් සාප්පු සංකීර්ණයට ගොස් කෝපි කෝප්පයක් හෝ පානය කරන ලෙසටය. මන්ද එසේ කරන ලෙසට කේ.ජී.බී. හි ප්‍රබල ප්‍රධානියා උපදෙස් දුන් බැවිනුත් එලෙසම ඔවුන් පසුපස දැනටමත් ඔත්තු කරුවන් යොදවා සිටිනවාද යන්න ගැනත් ඇය නොදැන සිටි නිසාය. කෙසේ වෙතත්, ඇය නටාෂාට මේ සන්බන්ධව පැහැදිලි කිරීමට කරදර නොවීය.
“එන්න, නටාෂා! අපි මෙහෙ ඉන්න නිසා, ලෝකයේ විශාලම වෙළඳසැල වටේ ඇවිදලා බලන්නත් අවස්ථාවක් ඇවිල්ලා තියනවා. ඔයා කැමති නම්, අපිට කෝපි එකක් බොන්නයි කේක් කෑල්ලක් කන්නයි නතර වෙන්න පුළුවන්.”
“හරි අම්මේ, මම ඒකට ලෑස්තියි.”
ඔවුන් නැවත සිටිය යුතු වේලාවට විනාඩි තිහකට පෙර ප්‍රධාන ගේට්ටුව වෙත පැමිණි අතර ඉන්පසු ඇන්ඩ්‍රොපොව්ගේ කාර්යාලයේ පිටත තබා තිබු බංකුවක් මත අසුන් ගැනීමට සලස්වනු ලැබුහ. ඔරලෝසුව පහේ කණිසමට නාද වූ වහාම ඔවුන්ව ඇතුලට ගන්නා ලදී.
“ආ, සහෝදරියනි, ඔබලාව නැවත දැකීම සතුටක්. ඔයාලා සාප්පු සංකීර්ණය නැරඹීම ගැනයි, ඔයාලගේ දවල් ආහාරය භුක්ති විඳීම ගැනයි සතුටු වුනාද? මම දැන් සෑහෙන කාලයක ඉඳන් එහෙට ගිහින් නැහැ. මොකද, ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකරන්න යි. මම එහෙම කලොත් මිනිස්සු මට නිකන් ඉන්න දෙන එකක් නැහැ. නමුත් මට ආරංචියි එහෙ කෑම තවමත් රටේ හොඳම ඒවා බව. ඒ කියන්නේ ලෝකයේ හොඳම, එහෙම නේද?”
"කරුණාකර වාඩිවෙන්න. රතු වයින් වීදුරුවක්?” ඔහුම ඔවුන්ට එය පිළිගැන්වූ අතර තමා වෙනුවෙන් ද්විත්ව ජොනී වෝකර් වත් කර ගත්තේය.
“ස්තූතියි, ඇන්ඩ්‍රොපොව් සහෝදරයා, ඔයා ඉතා කරුණාවන්තයි”, මරීනා පැවසුවාය.
“විකාර,” ඔහු කාරුණිකව පිළිතුරු දුන් අතර, “බ්‍රෙෂ්නෙව් සහෝදරයා වෙනුවෙන්!” යනුවෙන් ඊට වඩා අඩු ස්වරයකින් පවසා, නමුත් මුහුණේ සිනහව කිසිම අඩුවකින් තොරව, ඔහුගේ වීදුරුව එසෙවුවේය. “ඒක මගේ කුඩා විහිළුවක් විතරයි. ඔයා එයාට කියන්නේ නැහැ නේද මම එහෙම කියනවා කියලා?”
“ඔහ්, අනේ නැහැ සහෝදරයා, කවදාවත් නැහැ”. කාන්තාවන් දෙදෙනා එකිනෙකා දෙස බැලූ නමුත් තම ඇහිබැම ඉහළ නැංවීමෙන් වැළකී සිටියහ.
“කොහොම උනත්, මේ කටයුත්ත ගැන කතා කරනවා නම්, මම ඔයාගේ යෝජනාව අපගේ ආදරණීය නායකයාට ඉදිරිපත් කරා. ඔහු සහ ඔහුගේ උපදේශකයින් ඒකට කැමතියි. ඇත්ත වශයෙන්, අපි හැමෝම කැමතියි. සුභ පැතුම්! මේ සැලැස්මට ‘යූරිකෝ මෙහෙයුම’ කියන කේත නාමය ලබා දීලා තියෙනවා. ඔයාලා ඔයාලගේ සාකච්ඡා පටන් අරගෙන ඉතා පරිස්සමින් ඉස්සරහට යන්න ඕනේ. ඒ වගේම නිතිපතා මාව දැනුවත් කරන්නත් ඕනේ. මේක තමයි මේ තියන දුරකථනයේ අංකය”, ඔහු එසේ කියා සිටියේ තම දකුණත පිහිටි දුරකථන හතරෙන් එකක් ස්පර්ශ කරමිනි. “මම ඉන්න ඕනෑම තැනක - නිවසේ ලුබියන්කා වල, දවල් හරි රාත්‍රී හරි ඕනෑම වේලාවක එම ඇමතුම මට සම්බන්ධ කරන්න පුළුවන්.”
“මට යම් විදිහකින් ඔයාලගේ ඇමතුම ගන්න බැරිනම් කවුරු හරි කෙනෙක් පණිවිඩය අරගනියි. ඒ කෙනා ඔයාට දෙන එයාගේ නම අනිවාර්යෙන් සටහන් කරගෙන ඔයාගේ පණිවිඩය සඳහන් කරන්න. මට පුද්ගලයාගේ නම අවශ්‍ය වෙන්න පුළුවන්, ඒ නිසා ඒක ලියලා තියාගන්න. නමුත් ඔයාලා දෙන්නම මේ දුරකථන අංකය ඔයාලගේ මතකයට දමා ගන්නවා නම් මම ඉතා කැමතියි.”
කාන්තාවන් දෙදෙනාම ඔවුන්ව පුහුණු කර තිබූ ආකාරයට අවශ්‍ය මානසික ක්‍රියාවන් ආරම්භ කළ අතර එම අංකය මනසේ තැන්පත් කර මරීනා එම සටහන නැවත මේසය මත තැබුවාය. ඇන්ඩ්‍රොපොව් තම හිස සලා එය පිළිගත්තේ සුළු සිනහවක්ද සමගිනි.
“දැන්, මෙවැනි රහසිගත මෙහෙයුම් වල ස්වභාවය නම්, ඒවා එකිනෙකට හාත්පසින් වෙනස් වෙන එක, මොකද ඉන්න මිනිස්සුයි ඒ වගේම තත්වයන් නිතරම වෙනස් වන නිසා. ඒ නිසා ඒවා මෙම කාර්යාලයෙන් කළමනාකරණය කරන්න බැහැ. කොහොම වුනත්, ඉතා දුෂ්කර තත්වයන් යටතේ විදේශයන්හි සිට ක්‍රියාත්මක වන සහෝදරවරුන් සිය ගණනක් අපි ගාව ඉන්නවා. ඒ නිසා ගැහැණු ළමයා, ඔයාගේ මානසික ධෙෙර්යය කෙලින් තියාගෙන ඔයා මේක කරන්නේ රුසියානු මවගේ ආදරය සහ සෝවියට් ජනරජයේ ආදරය වෙනුවෙන් කියලා මතක තියා ගන්නවා නම්, ඔයාගේ සාර්ථකත්වයට තියන ඉඩකඩ වැඩියි. මම දන්නවා, මරීනා ඇන්ටොනෝවා සහෝදරිය, ඔයා අවුරුද්දකට දෙසැරයක් ජපානයට යන සංස්කෘතික දූත පිරිසකට නායකත්වය දෙනවා කියලත්, දැරියගේ දෙමාපියන් ඔයාගේ පුද්ගලික මිතුරන් කියලත්.”
“සමහර විටක ඔයා දන්නවා ඇති, මීට වසර හතරකට ඉස්සර මම සමාජවාදී රටවල කොමියුනිස්ට් හා කම්කරු පක්ෂ සමඟ සම්බන්ධතා පැවැත්වීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා බව? එයට ඇත්ත වශයෙන්ම ජපානය ඇතුළත් වුනේ නැතිවුනත් ඒකෙ කාර්යය එකම දෙයක්.”
“ඔව්, සහෝදරයා, ප්‍රශ්න දෙකටම ඔව්.”
“ඔව්, සහෝදරිය, ඔයාගේ යෝජනාව පිළිගැනීමට අපිව පෙළඹවීමට ජපානයේ කොමියුනිස්ට් පක්ෂය සමඟ ඔයා කළ සේවය බොහෝ වැදගත් අංගයක් ඉටු කරලා තියනවා. ඉතින්, ඔයාගේ වයින් ටික බීලා ඉවර කරලා දැන් පිටත්වෙලා යන්න. නමුත් මාව නිරතුරුව දැනුවත් කරන්න. මරීනා ඇන්ටොනෝවා සහෝදරිය, අල්මා ආටා කොමියුනිස්ට් පක්ෂයේ ඔයාගේ ඉහළ නිලධාරීන්වත් මේ කාරණය සම්බන්ධව යාවත්කාලීන කරලා තියා ගන්න ඔයාට අවශ්‍ය වෙයි. නමුත් ඔයා මට මුලින්ම දුරකථන ඇමතුම දෙන එක වඩා හොඳයි, එතකොට ඔයාගේ තොරතුරු වල වලංගුභාවය අපට පරීක්ෂා කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම, දැනටමත් වැඩිපුර වැඩ කරන අල්මා ආටා කොමියුනිස්ට් පක්ෂයේ සහෝදරවරුන්ට ඔවුන්ට අවශ්‍ය නොවන තොරතුරු ලබාදීලා තවත් කරදර කිරීමෙන් පලක් නැහැ, නේද? ඉතින්, ඔයා මට මුලින්ම කියන්න, ඊට පස්සේ ඔයාගේ සගයන් දැනගත යුතු දේ මොනවාද කියලා අපි ඔයාට කියන්නම්.”
“සහෝදරියනි, ඔබ දෙදෙනාටම මම කියපු දේ හොඳ හැටි තේරුම් ගියාද?”
“ඔව්, ඇන්ඩ්‍රොපොව් සහෝදරයා”, ඔවුන් දෙදෙනා එකවරම, සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ වඩාත් බියකරු මිනිසා, කේ.ජී.බී. සංවිධානයේ ප්‍රධානියා සහ බිහිසුණු ලුබියන්කා බන්ධනාගාරයේ ප්‍රධානියා වන තැනැත්තාට, පිළිතුරු දුන්හ. යූරි ව්ලැඩිමිරොවිච් ඇන්ඩ්‍රොපොව්ගේ වැරදිපස සිටීම කිසිවෙකුට දරාගත නොහැකි කාරණයක් විය.
“හොඳයි, දැනට අපි එහෙම කරමු. ඔයාලව හමුවීම ඉතාම සිත්ගන්නා සුලුයි. ඔහ්, අන්තිම කාරණය, මරීනා සහෝදරිය මෙය ඔයාගේ දියණිය බටහිරට යවා ගැනීම සඳහා සුක්ෂමව සකස් කරපු උපක්‍රමයක් නම්, එහි ප්‍රතිවිපාක තියනවා, ඒවා ඉතා දරුණු වෙයි. මම කියන දේ හැමවිට කරන මනුෂ්‍යයෙක් කියලා බොහෝ අය සහතික වෙන බවත් මට ඔයාලා දෙන්නට පොරොන්දු වෙලා කියන්න පුළුවන්.”
ඔහු නැවත ලිවීමට පටන් ගත්තේය; සම්මුඛ පරීක්ෂණය අවසන් වූ අතර ඉවාන් ඉවානොවිච් ඔවුන් එනතුරු බලා සිටියේය.
“නටාෂා, ඔයා හොඳින්ද?” ඔවුන් ආරක්ෂිතව පිටතට පැමිණි මොහොතේදීම ඇගේ මව ඇසුවාය.
“ඔව්, අම්මේ, නමුත් මම මෙතෙන්ට කැමති නැහැ. මට පුළුවන් ඉක්මනට එම මිනිහාගෙන් ඈත්වෙලා මගේ ආදරණීය පැරණි අල්මා අටා වල තියන අපේ පොඩි මහල් නිවාසයට යන්න ඕනේ.”
නමුත් ඇයගේ මව එයට එකඟ වීමේ පිළිතුරක් නොදී “අපිට අද රෑ මෙහේ නවතින්න වෙනවා. නමුත් අපි හෙට පළමු ගුවන් යානයෙන්ම යමු” යනුවෙන් පිළිතුරු දුන්නාය.
6 යූරිකෝ මෙහෙයුම
සාකච්ඡා දුරකථනයෙන් හෝ ලිපියක් මගින් හෝ සිදු කළ නොහැකි බව පැහැදිලිය. යූයි පූර්ණ කාලීනව සේවය කරන බැවින් නටාෂාට ටෝකියෝවට යාමට සිදුවනු ඇත. සෝවියට් සැලැස්ම ගැන යූයි තවමත් කිසිවක් නොදැන සිටි සියුම් ගැටලුව ද ඒ අතර විය. එමනිසා, මරීනාට සහ නටාෂාට කළ යුතුවූ පළමු දෙය නම්, ඔවුන්ගේ යෝජනාවේ සෑම කෝණයක්ම ඔවුන්ට හැකි උපරිමයෙන් සෝදිසි කර සකස් කර ගැනීමයි. ඒ සඳහා ඔවුන්ට තිබුනේ ඔවුන් දෙදෙනා ගේ පාර්ශවයෙන් දන්නා දේ පමණකි. ඔවුන් නැවත නැවතත් එම යෝජනාව සහ සැලැස්ම සලකා බැලූ අතර ඔවුන් දෙදෙනා මාරුවෙමින් එක් එක් අයගේ භූමිකාවන් කර බැලූහ. මිසුකිවරුන් විසින් මතු කළ හැකි සෑම සැකයක් හා කනස්සල්ලකටම පිළිතුරු සැපයීමට හෝ අවම වශයෙන් යෝජනා හෝ ලබා දිය යුතු බව ඔවුහු දැන සිටියහ.
ඉන්පසු ඔවුන් දෙදෙනාම එම සැලසුමේ අඩංගු සියලු දේ දෙදෙනාම එකම ස්වරයෙන් ගායනා කරනු පිණිස හොඳින් අධ්‍යනය කොට ඉගෙන ගත්තෝය.
යූරිකෝ මෙහෙයුම ගැන පියොටර්ට මුලදී නොකියන්නට ඔවුන් තීරණය කළ නමුත් ඔවුන්ට ඇන්ඩ්‍රොපොව්ට දුරකථන ඇමතුමක් ලබා දී නටාෂාට ටෝකියෝවේ මාස නවයක නිවාඩු කාලයක්, මාස තුන බැගින් වූ කොටස් වශයෙන් ලබා ගත යුතුව තිබුණි. ඇන්ඩ්‍රොපොව් ඊට එකඟ වූ අතර කොන්සල් කාර්යාලයේ පිහිටි ඔහුගේ දෙපාර්තමේන්තුව හරහා නටාෂා සඳහා හොංකොං හි එච්.එස්.බී.සී. බැංකුවේ ගිණුමක් විවෘත කළේය. සෝවියට් හිමිකාර සමාගමකට අයත් වෙළඳ ආයතනයකින් සතියකට ඇමරිකානු ඩොලර් දහසක් සමඟ අරමුදල් නටාෂා ගේ එම ගිණුමට බැර කරන ලදී.
එය වාසනාවක් විය, මන්ද ජපානයේ සාමාන්‍ය ජනයා උපයා ගත් දේ හෝ ජපානයේ ජීවන වියදම කොපමණ දැයි ඇන්ඩ්‍රොපොව් දැන සිටිය නොමැති බැවිනි. ඔහුට පෙනුන ආකාරයට සතියට ඩොලර් දහසක් යන්න, ගැහැණු ළමයා කිරීමට එකඟවූ දේ සමඟ සන්දන්දනයෙදී ඉතා කුඩා ගණනක් විය. කොතරම් කුඩා ගණනක්ද යනු, අනුමැතිය සඳහා ඔහුට ඇඳෙන් නැගිටීමටවත් අවශ්‍ය නොවූ ගණනක් විය.
මෙහෙයුමේ සාර්ථකත්වය සඳහා නටාෂා තනිවම ජපානයට යාම වඩාත් සුදුසු යැයි සිතූ අතර, ඇගේ මව පසුබිමෙහි සිට ව්‍යාපෘතිය සඳහා වැඩි වැඩ කොටසක් කළාය. බලාපොරොත්තු වූ දවස පැමිණි විට මරීනා නටාෂා සමඟ ගුවන්තොටුපළට පැමිණ යම් පමණකට කැළඹි සිටි ඇයට සුබ පතමින්, “ඔයා හොඳින් වැඩේ කරයි, කිසි දෙයක් ගැන කරදර වෙන්න එපා. ඒක බලාපොරොත්තු වෙච්ච නැති විදිහට අවුල් වෙලා ගියොත්, කියන්න ඒක විහිළුවක් කියලා.”
“හොඳයි, අම්මේ, මම මතක තියා ගන්නම්…”
“ඔයා තනියම ගුවන් යානයෙන් පියාසර කරන එක ගැන කරදර වෙනවද, නැහැ නේද?”
“පොඩ්ඩක් විතර නොසන්සුන්, ඒ ගැන කරදර වෙන්න එපා. ඒ උනාට මම හොඳින් ඉන්නවා… ඒක මේ මම තනියම ගමන් කරන පළමු සැරේ හින්දයි.”
“ඔයා මීට ඉස්සර මේ ගුවන් මාර්ගයේ ගිහින් තියනවානේ. ඔයා හොඳින් ඉඳියි, දැන්, ඔයාගේ අම්මට හාදුවක් දීලා ඔයාගේ ගමන පිටත් වෙන්න.”
ටෝකියෝ ගුවන් තොටුපලේදී නටාෂා ගුවන් යානයෙන් ගොඩ බැසූ පසු යුයි ට හමු වුවාය. “මම හිතුවේ ඔයා උගන්වනවා කියලයි… ඔයාව අයෙත් දැකීම හරිම සුන්දරයි, ටෂ්.”
“ඔව්, ඔයාව දැකීමත් එහෙමයි යූයි. මම උගන්වමින් තමයි හිටියේ. ඒ උනාට විෂය මාලාවේ පොඩි වෙනසක් වුනා, ජපන් භාෂාව උගන්වපු එක කථිකාචාර්යවරයෙක් මොස්කව් වලට උසස් කරලා. ඒ නිසා එයාලා ඇයගේ තැන ගන්න මාව පුහුණු කරනවා. එයාලා මාව මෙහි එව්වා මට ජපානය ගැනයි එහි සංස්කෘතිය ගැනයි වැඩිදුර දැන ගන්න කියලා. ඒක විශිෂ්ටයි නේද?”
“නරක නම් වෙන්න බැහැ, එහෙම නේද? ඔයාට මාස තුනක් තියනවාද?”
“අවම වශයෙන්, නමුත් සමහර විට වැඩි කාලයක් වෙයි, ඒත් ඒ කොටස තියෙන්නේ මගේ අතේ නෙමෙයිනේ. ඉන්න, මගේ දේවල් හෝටලයට අරගෙන යමු, ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන්.”
“ඔයා එතකොට මගේ මහල් නිවාසයේ නෙමෙයිද නවතින්න ඉන්නේ? මම හිතුවේ ඔයා එහෙම කරයි කියලා.”
“මට පුළුවන්, නමුත් මම හෝටල් කාමරයත් තියා ගත්තොත් වඩා හොඳයි වගේ… ඔයා දන්නවා, මම සෝවියට් ජාතිකයෙක්, ඔයා සිවිල් සේවයේ… ඉතින් අපිට ඔයා වෙනුවෙන් අනවශ්‍ය රැළි ඇති කරන්න අවශ්‍ය නැහැ නේද?”
“නැහැ, හොඳ අදහසක්. මම හිතනවා ඔයා හෝටලයට මුදල් ගෙවන්නෙත් නැහැ කියලා?”
“නැහැ, මම පෞද්ගලිකව නෙමෙයි.”
ඔවුන් කෑම වේලක් සඳහා ගිය නමුත් ඒ අතරතුර නටාෂා ඇගේ සංචාරයට සැබෑ හේතුව කථා බහට නොගෙනාවාය. මන්ද යූයි විදේශ කාර්යාලයට අයදුම් කිරීමට තවත් මාස නවයක පමණ කාලයක් තිබූ බැවිනි. ඔවුන් සති ගණන් එකට ගත කළේ හොඳ කාලයක් ගත කරමිනි. සෑම උදෑසනකම යූයිට පෙරදින රාත්‍රියේ බීමත නිසා ඇතිවෙන්නාවූ හිසරදයක් සමඟ වැඩට යාමට හෝ වැඩි නින්දක් නොලබා වැඩට යාමට හෝ සිදුවිය. නටාෂා ඇය සමඟ කතාබහ කළාය. එලෙසම ඇය ගැන දුක් වූවාය. කලකිරීම යූයි ගේ සිත තුල වැපිරීම ඇගේ හොඳම ආරම්භක ක්‍රීඩා සැලැස්ම විය. ඒ පිලිබඳ ඇගේ මව උපදෙස් දී තිබූ අතර එය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබුණි.
"මාස නවයක උමග අවසානයේ ඒක විදේශ කාර්යාලයේ ආලෝකය දිහාවට යොමු වෙලා තිබුනේ නැත්තම්, මම මේ මගුල හෙට ඉඳලම නවත්තනවා!" ඇය බොහෝ විට පැවසුවාය. එය නටාෂාගේ කනට සංගීතය මෙන් විය. එබැවින් මසකට පසු, නටාෂා ස්වල්පය බැගින් උෂ්ණත්වය වැඩි කිරීමට උත්සාහ කළාය.
“ඔයා දන්නවනේ, යූයි, ඒක හරිම විහිලුවක්”, ඇය කදිම අවන්හලක ආහාර වේලක් ගන්නා අතරේදී දෙවන වයින් බෝතලයද විවෘත කරමින් පැවසුවාය, “නමුත් ඔයා ඔයාගේ රස්සාව ගැන සතුටු වෙන්නේ නැහැ, නමුත් මම සෝවියට් දේශයේ ඉන්න ගොඩාක් ආසා කරා. නමුත් දැන්, මම ඔයාගේ මේ ජීවන රටාවට හුරු වෙලා ඉන්නවා. මට අවශ්‍ය තාක් කල් මෙහි ඉන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. කාරණය නම්, යම් කිසි දවසක එයාලට මාව මතක් වෙලා මට එන්න කියලා කැඳවයි. එතකොට මට පොඩි මොහොතක දැනුම් දීමෙන් ගෙදර යන්න වෙනවා.”
“මට ඔයාගේ රස්සාව ලැබුනා නම් කියලා මම ප්‍රාර්ථනා කරනවා, ඔයා ඒ ගැන ගොඩක් වෙලාවට විහිළුත් කරලා තියනවා… ඔයාට ඒක ඕනේ නැහැ කියලා, එහෙම නේද? ඔයාට ඕනේ නම් මගේ එක ගන්න පුළුවන්!”
“ඔයාට රස්සාවක් නැහැනේ… නමුත් අපට ඒක කරන්න පුළුවන් විදිහක් හොයා ගන්න පුළුවන් නම් හෙට ඉඳන් උනත් මේ රස්සාව ඔයාගේ”. ඔවුන් දෙදෙනාම සිනාසෙමින්, තම වයින් වීදුරු එකට වද්දවා ඒවා බිව්වෝය. යූයි නැවතත් වීදුරු පිරෙවූවාය. “ඒ වුනත්”, යූයි සුසුම්ලමින් පැවසුවාය, “මම අහම්බෙන් හරි මේ අවස්ථාව ගත්තා කියන්නකෝ, නමුත් මට මගේ ජීවිත කාලය පුරාම අල්මා අටා වල ජීවත් වෙන්න බැහැ… තරහා නැහැනේ ඔයා. මට යන්න ඕනේ ඇමරිකාවට.”
“ඔහ්, ඔයා දැන් ඔයාගේ හිතත් හදාගෙනද ඉන්නේ එහෙනම්?”
“ඔව්, එක්සත් රාජධානිය ගොඩක් පැරණි විලාසිතාවක්, කැනඩාව ගොඩාක් සීතලයි, එතකොට වෙන්න ඕනේ එකේම තැන කැලිෆෝනියා! මෙන්න මම එනවා!”
“අපිත් මොන දෙන්නෙක්ද නේද? මම ජීවත් වන්නේ අල්මා අටා වල, නමුත් මට ඕනේ නැහැ එහේ ඉන්න. මෙහෙ ජීවත් වෙන්න තමයි කැමති. ඔයා මෙහේ ජීවත් වෙන්නේ, නමුත් කැලිෆෝනියාවට තමයි කැමති … සිත්ගන්නා සුළුයි නේද? අපි හැම විටම එක හා සමානයි, එහෙම නේද? එකම උපන් දිනය, එකම බාහිර පෙනුම, එකම විදිහට තමයි හිතන්නේ, පවුලේ එකම දරුවන්, අපි දෙදෙනාම හොඳ වාග් විද්‍යාඥයින්… අපි බොහෝ ආකාරවලින් සමානයි නේද?”
“ඔව්, ඒවා ගොඩක් අහඹු සිදුවීම්, නමුත් සිත්ගන්නා සුළුයි. ඒ උනාට වැඩ කරන පැත්ත තමයි එපා වෙන්නේ. ඒකෙ කිසිම සිත් ඇදගන්නා බවක් නැහැ, ඔයාට ඒ ගැන මොනවත් ලස්සන අදහස් නැත්නම්”.
“මට පොඩ්ඩක් ඉඩ දෙන්න… ආහ්, දැන් ඔයා ඒක කිව්ව නිසා, සහෝදරිය, මට ආවා අදහසක්.”
“හොඳයි, කියන්නකෝ බලන්න, මම අහගෙන ඉන්නම්. නමුත් ඉස්සෙල්ලාම තවත් වයින් බෝතලයක් ගේන්න කියන්න.”
නටාෂා තම සැලැස්ම විහිළුවක් ලෙසට, එම මොහොතට සුදුසු යැයි හැගුන ආකාරයට විස්තරාත්මකව එලි දැක්වූ නමුත්, තම මිතුරිය නිසි ලෙස අවධානය යොමු කිරීමට නොහැකි මට්ටමේ බීමත් කමකින් සිටිනු බව දුටු විට එය අතහැර දැමීමට තීරණය කළාය. නටාෂා ද තරමක් මත්පැන් පානය කළ නමුත් ඇය බිල්පත ගෙවා යූයිගේ මහල් නිවාසයට කුලී රථයක් කැඳවන ලෙසට වේටර්වරයාට නියම කළාය. නිවසට පැමිණි ඔවුන් දෙදෙනා මහන්සියත්, වෙරි මතත් නිසා ස්නානය නොකර නින්දට ගීයෝය. යූයි පසුදා, සෙනසුරාද, උදෑසන දහයට පමණ අවදිවන විට, නටාෂා උදෑසන ආහාර පිරිනැමූ ට්‍රොලිය අසල වාඩිවී ඒ වන විටත් උදේ කෝපි බොමින් සිටියාය.
"සුභ උදෑසනක්! ඔයාගේ ඔළුව කොහොමද?”
යූයි කුඩා පුටුවක වාඩිවී මේසය මත ඇගේ දෑත් තබා ඒ මත සිය හිස තැබුවාය. “ඔහ්, මට නම් තාම හරිම අමාරුයි වගේ… මට මේ බීමතින් තියන ඔලුවේ අමාරුව යන්නත් එක්ක තව ටිකක් බොන්න ඕනේ, මගේ ආදරණීය සහෝදරිය. මට තියන ආදරය නිසා ශිතකරණයේ තියන බියර් එකක් දෙනවද? මට වීදුරුවක් ඕනේ නැහැ, නමුත් මං වෙනුවෙන් ඔයාට බියර් ටින් එක ඇරලා දෙන්නත් පුලුවන් නේ… හිමීට හා ලස්සනට. මම හිතන්නේ නැහැ මට ශක්තිය තියෙයි ඒක කරගන්න කියලා.”
Ücretsiz ön izlemeyi tamamladınız.